කොළඹ සැඟවුණු මැණික සාන්ත පීතර පල්ලිය (හමුදා පල්ලිය)

2015-05-14 11:36:00       686
feature-top
මේ කොළඹ සැඟවුණු මැණික් අතරින් වටිනාම එකක්. ශාන්ත පීතර හමුදා පල්ලියේ කුඩා මුහුණත පිහිටා තිබෙන්නේ කොළඹ කොටුවේ දැවැන්ත ගොඩනැගිලි අතර ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට අල්ලපු වැටේ, කොළඹ වරාය ඉදිරිපිට. පිටතින් එය එතරම් පල්ලි පෙනුමකින් යුක්ත නැහැ. 1700 සියවසේදී එය හදා තිබෙන්නේ ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ මන්දිරය ලෙස නිසා වෙන්න ඇති එහෙම වී තිබෙන්නේ. ඒත්, බ්‍රිතාන්‍යයන් කොළඹ අත්පත් කරගත් පසු එය එංගලන්ත සභාවේ දේවස්ථානයක් බවට පත්වුණා.

එය පිහිටා තිබෙන්නේ වරාය ඉදිරිපිට ඉතාම සංවේදී ස්ථානයක. යුද කාලයේදී එයට පිවිසෙන්න ලැබුණේ දැඩි ලෙස රැකවල් කරනලද මුරකපොළු ගණනාවක් පසුකරලායි. ඒත්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සිට ශාන්ත පීතර පල්ලිය දක්වා අවකාශය දැන් විවෘතවෙලා. එහි මුරකපොළු නැහැ. මේ කොළඹ කොටුව සාමාන්‍ය තත්වයට පත්වීම සංකේතවත් කරන පුංචි නිදසුනක්.
එය පිහිටා තිබෙන්නේ වරාය ආසන්නයේ නිසා එය ඉතිහාසය පුරාම නාවිකයන්ගේ පුදබිමක් බවට පත්වී තිබෙනවා. එය තවමත් මුහුදු යාත්‍රිකයන්ගේ පල්ලිය කියා හැඳින්වෙන අතර ජාත්‍යන්තර මුහුදු යාත්‍රිකයන්ගේ සභාව විසින් දූතමෙහෙයක් පවත්වාගෙන යනවා අල්ලපු වැටේ. දශක ගණනාවක් තිස්සේ මේ පල්ලිය නාවිකයන් නොවන අයට විවෘත තැනක් වුණේ නැහැ.
දැන් ඔබට බාධා රහිතව ඉරිදා දේවමෙහෙයට සහභාගිවෙන්න පුළුවන්. ඒත්, යුද්ධය විසින් එහි ක්‍රියාකාරිත්වය සෑහෙනදුරට වෙනස් කරලා. අප ඉරිදා දිනෙක එහි ගොඩවනවිට තරුණ පූජකවරයකු විසින් පවත්වනු ලබමින් සිටි මෙහෙයට සහභාගිවෙමින් සිටියේ තිදෙනායි. වසර ගණනාවක් පිවිසීම අවුරා තිබුණු මෙහි දේවමෙහෙයක් පැවැත්වෙන එකත් ලොකුදෙයක්. මීසම්වාසීන් හිඟවුණත් පල්ලියේ ඇතුළතනම් ඉතාම සුන්දර දර්ශනයක්.
1804 සිට පවතින ඇංග්ලිකානු පල්ලියක් ලෙස සැලකුවත් එය කොළඹ ඇති පැරණිම අඛන්ඩ ඉතිහාසයක් ඇති පූජනීය ස්ථානය. එහි ආගමික වටිනාකමට වැඩියි එහි ඇති ඓතිහාසික වටිනාකම. එය පුරවරයේ පැරණිම ගොඩනැගිල්ලක් වන අතර කොළඹ වැසියන්ගේ උරුමයේ කොටසක්. සිතුවිලි සාගරයක කිමිදෙමින් අසුන්ගෙන ඉන්නට ඊට වඩා තැනක් තවත් නැහැ.

සැහැල්ලු වානේ කුළුණු මත නැගී සිටින උස් වහලේ රතු මැටි උළු හැර අන් කිසිවක් නැහැ. පොළවේ අතුරා තිබෙන මාබල් නිසා මේ අවකාශය නිතරම සිසිල්. විනිවිද නොපෙනෙන කවුළු අතරින් ගලාඑන සිහින් ආලෝක කදම්බ සියවස් ගණන් පැරණි බංකු මත මෘදු සෙවණැලි අඳිනවා. ඔබ කිසිදු ආගමක් නොඅදහන්නකුවුණත් ඔබට මේ පැරණි බංකු මත සුවපහසු ලෙස වාඩිවී පුරවරයේ වඩාත්ම ශාන්ත, සුන්දර, පිවිතුරු, පූජනීය අත්දැකීම ලබන්න පුළුවන්. මෙහි පදනම පැරණි පෘතුගීසි පල්ලියක යයි විශ්වාසකරනවා. ඒ නිසා මේ ස්ථානය කොළඹ නගරයේ පැරණිම පූජනීය ස්ථානය ලෙස සලකන්න පුළුවන්.

ඔබ ඇංග්ලිකන් ක්‍රිස්තියානුවෙක්නම් එහි ගියාම මුළු පල්ලියම ඔබේ. ඒත්, ඔබට ඒ ආගම සමග කිසිදු සම්බන්ධයක් නැතත්, එහි ගොස් බැලීම වටිනවා. මන්ද, එය කොළොම්පුරයේ පැරණිම හා ආකර්ශනීයම ගොඩනැගිලි අතරින් එකක්. එය දිගුකාලයක් තිස්සේ අමතක කරදමාතිබෙන විස්මිත, සුන්දර තැනක්. අප එහි නැවත යා යුතුයි. එතැනට ආදරය කළ යුතුයි.

asian mirror


More News »