'ඉසුරුමුණිය' යැයි වරදවා හඳුන්වන 'දක්‌ණ මේඝගිරි විහාරය'

2015-05-21 10:23:00       696
feature-top
අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් යැයි පිළිගැනෙන වත්මන් ඉසුරුමුණිය යනු ඉසුරුමත් පවුල්වලින් පැවදි වූවන් උදෙසා දේවානම්පියතිස්‌ස රජතුමා විසින් කරවනු ලැබූ විහාර කර්මාන්තයෙකැයි බොහෝ දෙනා පිළිගනිති.

 විශේෂයෙන් ම මහින්දාගමනයත් සමග ඇති වූ ආගමික පුනරුදය කරණකොට ගෙන බිහි වූ විහාර හා ලෙන් පූජා "රැල්ල" සමගින් බිහි වූ විහාරයක්‌ ලෙසින් මේ විහාරය හඳුන්වයි.

දේවානම්පියතිස්‌ස රජතුමා විසින් ඉදිකරවන ලද විශාල වාරි කර්මාන්තයක්‌ වූ තිසා වැවට දකුණින් පිහිටා ඇත. තිසා වැවත් රන්මසු උයනත් අතර භූමියෙහි පිහිටා ඇති මේ විහාරය මෑතක දී කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ වශයෙන් මූලාශ්‍රයන්හි එන "දක්‌ණ මේඝගිරි" නම් විහාරයක්‌ ලෙස හඳුනාගෙන තිබේ.

 මේ විහාරය පිහිටා ඇත්තේ රන්මසු උයනේ සීමාවේ හෙයින් මෙම විහාර භූමිය ද රන්මසු උයනටම නතුව තිබෙන්නට ඇත. අප "ඉසුරුමුණිය" යැයි වරදවා හඳුන්වන "දක්‌ණ මේඝගිරි විහාරය" ද දේවානම්පියතිස්‌ස සමයේ කරවන ලද්දකි. එසේම සැබෑ ඉසුරුමුණිය විහාරය නොහොත් "ඉස්‌සරමනා වෙහෙර", වෙස්‌සගිරිය වශයෙන් ද හඳුනාගෙන ඇත.

එම වෙස්‌සගිරිය අනුරාධපුර කුරුණෑගල පාරේ තිසා වැවට නුදුරු බිමක පිහිටි අක්‌කර විස්‌සක පමණ වපසරියකින් යුත් බිමකි. මේ ගැටළුව විසඳීමට ඉතිහාසඥයන්ට හැකි වී තිබුණ ද ඒ බව දැන දැනම වරදවා කතා කිරීමට අප හුරු වී ඇති නිසාම මින් මතු ද මේ දක්‌ණ මේඝගිරි විහාරය, ඉසුරුමුණිය ලෙසම හැඳින්වෙයි.

 වංශ කතා අනුව ඉසුරුමුණිය විහාරය 500 ක්‌ භික්‍ෂුන් වහන්සේ උදෙසා වෙන් වී තිබී ඇත. විහාරය පර්වතයක්‌ ආශ්‍රය කරගනිමින් නිර්මාණය කර ඇති අතර පර්වතය පාමුල පොකුණකි. මෙම විහාරයේ ඉතිහාසය ගවේෂණයේ දී ඉළනාග (ක්‍රි.ව. 35-44) රජුගේ පුත් චන්ද්‍රමුඛසීව (ක්‍රි.ව. 44 - 52) රජු විසින් "මණිකාරගාමයෙහි" ආදායම ද විහාරයේ නඩත්තුවට පූජා කොට ඇතැයි හෙළි වෙයි. වසභ රජුතුමා විසින් මෙම ඉසුරුමුණියට උපෝසථාඝරයක්‌ ද, වෝහාරිකතිස්‌ස රජු විසින් විහාරය වටා පවුරක්‌ ද බඳවා සඟසතු කොට ඇත.

ඒ අනුව අප නිගමනය කරන පරිදි මෙම විහාරය ක්‍රි.ව. දෙවැනි ශත වර්ෂය තෙක්‌ම උපරිම රාජානුග්‍රහය ලබා ඇත. රසවාහිනියේ එන පරිදි දුටුගැමුණු පුත් සාලිය කුමරු මෙම විහාරයේ ශීලය සමාදන් වී ඇති අතර දුටුගැමුණු රාජානුග්‍රහයෙන් විහාරය විශාල කරවා ඇත. අටමස්‌ථාන පූජා භූමි අතරින් එකක්‌ ලෙස ද බහුමානයට පත්ව ඇති මෙහි පැරැණි විහාර පර්වතයේ නැගෙනහිර කොටසේ, පර්වතය හෑරීමෙන් පසු කුඩාවට නිමවා ඇත. විහාරයේ ද්වාර උළුවස්‌ස හා මකර තොරණ ශෛලමය නිර්මාණවන අතර මකර තොරණේ කැටයම් අනුව කිතු වසින් දසවන ශතවර්ෂයට අයත් බවට ඉතිහාසඥයෝ තහවුරු කර ඇත.

ඉසුරුමුණිය සම්බන්ධව කතා කිරීමේ දී බොහෝ ප්‍රවේශම් විය යුතු ය. මන්ද ඉසුරුමුණි විහාර දෙකක්‌ පවතින හෙයිනි. යම් තැන්වල වෙස්‌සගිරියට කරන ලද පූජා ද ඉසුරුමුණියට කරන ලද පූජා ලෙස හඳුනාගත හැකි වීම නිසා ඉතිහාසය වෙනස්‌වීමේ අවදානමක්‌ ද පවතියි. ඉසුරුමුණිය ලෙසින් අප කතා කරන විහාරයේ ප්‍රසිද්ධිය කෙරෙහි බලපා ඇති ප්‍රධානතම සාධක මෙසේ ඉදිරිපත් කළ හැකි ය.
1. දිය කෙළින ඇත් රූප
2. "පෙම් යුවළ" කැටයම
3. "සඳ කිඳුරු" කැටයම
4. "රජවාසල දර්ශනය" කැටයම
5. "අශ්ව හිස හා මිනිස්‌ රුව" කැටයම

මෙම නිර්මාණ පල්ලව හා ගුප්ත යන කලා සම්ප්‍රදායන්ට නෑකම් දක්‌වන ස්‌වභාවයක්‌ ප්‍රකට කරන අතර බොහෝ විද්වතුන් මේ නිර්මාණ සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සපයා ඇත.

දිය කෙළින ඇත් රූප

ඉසුරුමුණි පර්වතය පාමුල ඇති ජල තටාකයේ ගිලෙමින් සිටින හස්‌තීන් නිරූපණය කෙරෙන මෙම කැටයම පර්වතයේම අර්ධ උන්නතව නිර්මාණය කර ඇත. ඇතුන් සිව් දෙනකු මෙහි නිරූපණය කර ඇති අතර ඔවුන් විවිධාකාරයේ ඉරියව් ප්‍රකට කරයි. නෙළුම් පත්‍ර හා කැකුළු ද ඒ අතරම නිර්මාණය කර තිබේ.

 මේ හා සමාන ම හස්‌ති රූ රන්මසු උයෙන් ද දැක ගත හැකි ය. එහි ද පොකුණක නෙළුම් මල් මධ්‍යයේ දිය කෙළියේ යෙදෙන හස්‌ති රූප වෙයි. ශිල්පීය ලක්ෂණ අනුව පල්ලව නිර්මාණ කුසලතාවන් ප්‍රකට කෙරෙන අතර මහාචාර්ය පරණවිතානයන් මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් ඉන්ද්‍ර දෙවියන්ගේ රථයවන ජලයට අධිපති ඓරාවණ නම් හස්‌තියා නිරූපණය කිරීම මෙහි අභිප්‍රාය බව සඳහන් කරයි. ඉන්දියාවේ මහා බලිපුරම්හි ද මෙවැනිම හස්‌ති රූප ඇත. එම නිර්මාණයක්‌ ක්‍රි.ව. 7-8 සියවස්‌වලතදී රජ කළ පල්ලව රජෙකු වූ නරසිංහ වර්මන්ගේ යුගයට වැටෙයි. ඒ අනුව පල්ලව සම්ප්‍රදායේ ආභාෂය ඇති "දිය කෙළින ඇතුන්" ක්‍රි.ව. 6-7 සියවස්‌වල නිර්මාණය කරන ලදැයි පිළිගැනීමට සිදු වේ.

 මේ අනුව මෙය 6-7 සියවස්‌හි ලා ගිණිය හැක. එහෙත් මෙයින් ගම්‍යවන අර්ථය විමසිය යුතුය. මහාචාර්ය පරණවිතාන ඇතුළු විද්වතුන් දරන අදහස වන "ඓරාවණ" මතය තහවුරු කළ නොහැකිය. "ඓරාවණ" සංකේතවත් කළ යුතු වූයේ නම් එක්‌ ඇතෙක්‌ පමණක්‌ නිර්මාණය කළ යුතුව ඇත. රන්මසු උයනේ ඇත් රූපවලින් ද ඓරාවණ නිරූපිත බව කිව නොහැක්‌කේ එහි ද ඇතුන් කිහිප දෙනකුම නෙළා ඇති නිසාය.

 මේ අනුව අප විසින් ඉදිරිපත් කරනු ලබන අදහසවන්නේ එම හස්‌ති රූප මගින් ස්‌වාභාවික අලංකරණයක්‌ නිරූපණය කිරීම අපේක්‍ෂා කරන ලද බවයි. ස්‌වභාවිකත්වය වඩාත් ඔප නැංවීමට ශිල්පියා දක්‌වා ඇති ප්‍රයත්නය අනුව ඉන් සජීවී බව මතු කිරීමේ තැත හෙළිවෙයි. ජලයට වැද තුටු වෙන ඇත් රූ මගින් සෞභාග්‍ය අපේක්‍ෂා කිරීමත්, කලාත්මක අගය රඳවා තැබීමත් අපේක්‍ෂා කොට ඇත. විශේෂයෙන්ම ඇත් රූ මගින් බලාපොරොත්තු වන සෞභාග්‍ය, ජලයත්, සමග එකතු වීමෙන් බහුල වන ආකාරය ඉන් ප්‍රකට කෙරෙයි.

අනෙකුත් නිර්මාණ සහ "දිය කෙළින ඇත්තු" කිසිදු සබඳතාවක්‌ නොදක්‌වන බව පෙනී යයි. රන්මසු උයනේ "ඇත් රූ" ද මෙම නිර්මාණය හා සමකාලීනවන අතර ජලය ඇති තැන්වල ඇත් රූ නෙළීමේ සම්ප්‍රදායක්‌ පැවතුනේ දැයි කල්පනා කර බැලීම අගනේ ය.

පෙම් යුවළ

 අඩි 03 අඟල් 01 ක උසින් ද, අඩි 02 අඟල් 03 පළලින් ද, යුක්‌තවන "ඉසුරුමුණි පෙම් යුවළ" ලෙසින් සුපතළ කලා නිර්මාණය අද ඉසුරුමුණියේ කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම නිර්මාණය කෞතුකාගාරයට ලැබුණේ විහාරය වටා වූ ප්‍රාකාරයේ තිබිය දී ය.

 කාල නිර්ණය අනුව මේ කලා කෘතිය ක්‍රි.ව. 06 වැනි ශතවර්ෂයට අයත් බව තහවුරු කොට ඇත. නිර්මාණයේ කලා ලක්ෂණ අනුව ගුප්ත අධිරාජ්‍ය සමයේ භාරතයේ පැවති කලා සම්ප්‍රදාය ප්‍රකට වෙයි. ශිල්පියා සජීවී බව ආරක්ෂා කරගැනීමට බොහෝ සෙයින් තැත් කොට ඇති ආකාරය නිර්මාණයේ ඉරියව්වලින් ගම්‍ය වේ.

 නිර්මාණයෙන් නිරූපිත පුරුෂයා තුළින් ප්‍රතාපවත් බවක්‌ ප්‍රකටවන අතර ඔහුගේ හිඳ ගැනීම් විලාසය ද තේජාන්විත බවක්‌ ප්‍රකට කරයි. පුරුෂයාගේ දකුණු බාහුවට ඉහළින් කග පතක මිටක්‌ හා පළිහක්‌ නිර්මාණය කර ඇත. දැඩි කාය ශක්‌තියකින් යුක්‌ත බව පුරුෂ රුව තුළින් ප්‍රකට වෙයි. එසේම ස්‌ත්‍රී රූපය ස්‌ත්‍රී කෝමලත්වයෙන් යුක්‌තව ලැඡ්ජාශීලී අයුරින් නිරූපණය කොට ඇත.

 වළලුකර දක්‌වා සළුවක්‌ හැඳ සිටින අතර, උඩුකය දුහුල් වස්‌ත්‍රයකින් වසා ඇති බව සිතිය හැක. ආභරණ පළ ඇති අතර පුරුෂයා හා ප්‍රේමයෙන් වෙලෙන අවස්‌ථාවක්‌ නිරූපණය වේ. දකුණත පුරුෂයාගේ සිරුරේ ස්‌පර්ශවන සේ තබාගෙන ඇති අතර එම අතින් ත්‍රිපාතක මුද්‍රාව නිරූපිත ය. මෙම ස්‌ත්‍රියගේ හා පුරුෂයාගේ කැටයමින් ප්‍රකාශිත මුද්‍රා පිළිබඳ "කලාව ඇගයීම" නම් කෘතියේ දී සිරි ගුණසිංහ මෙසේ සඳහන් කරයි.

1. පුරුෂයාගේ ශීර්ෂයෙහි නිහංචිත මුද්‍රාව - ස්‌ත්‍රියට ආදරය කරන බව
2. පුරුෂයාගේ දකුණතේ මයුර මුද්‍රාව - ස්‌ත්‍රිය නිසා ආඩම්බර වන බව
3. ස්‌ත්‍රියගේ හිසේ අංචිත මුද්‍රාව - ආලයෙන් සිටින බව
4. ස්‌ත්‍රියගේ දකුණතේ ත්‍රිපාතක මුද්‍රාව - අභිරමණයට කැමති බව
5. ස්‌ත්‍රියගේ ඇස්‌වල නිමිලිත මුද්‍රාව - පුරුෂයාට අයත් වන බව

More News »