ලංකාවට තිලකයවද සබරගමුවේ මාලිගාව

2015-05-22 10:28:00       658
feature-top
සබරගමු මහ සමන් දේවාලය යනු සබරගමු පළාතේ පිහිටා තිබෙන අති පූජනීය ස්ථානයකි. පොළොන්නරු යුගයේ ශ්‍රී පාදස්ථානය පිළිබඳ රජවරුන් තුළ ඇති වූ උනන්දුව ද සමන් දෙවිඳුන් පිළිබඳ අවධානය යොමුවීමට හේතු වුවා විය හැකි ය.

 

ශ්‍රී පාදස්ථානයේ පළමුව සමන් දේවාලය ඉදිකරවූයේ ii වන පැරකුම්බා රජු විසින් බව වංශ කතාවල දැක් වේ. සිරිපා වැඳීමට ගිය පැරකුම් නිරිඳු හට එහි සමන් දේව රුවක් නොතිබි බැවින් පසුව ප්‍රතිරාජදේව නම් ස්වකිය අමාත්‍යවරයා ලවා සමන් දෙව් රුවක් සැකසීමට විධාන කිරීමෙන් අනතුරුව එම ඇමතිවරයා ගම්පොල ප්‍රදේශයේ ශිල්පියකු ලවා සමන් දෙව් රුවක් තනවා සමන් ගිරට ගෙන ගොස් ශ්‍රීපාද චෛත්‍යය භුමියෙහි පිහිටවා ඇත. මුල්ම සමන් දෙවොල සිරිපා බිමේ දී තැනුන බවට සාක්ශි ඇති අතර එම දෙවොලට සතර දෙසින් තවත් දේවාල සතරක් සාදා ඇත ඒවා නම්

 

1) බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය

 

2) උතුරින් දැරණියගල මහ සමන් දේවාලය

 

3) දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය

 

4) නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය

 

කන්ද උඩින් බැස්ස කලට පෙනේය උළු මාලිගාව

බිම්බරකින් සෙනග ඇවිත් රුවට සැදෙව් මාලිගාව

රෑ දාවල් අඳුර නැතිව රන් කොත් බබලන සොබාව

ලංකාවට තිලකය ව ද සබරගමුවේ මාලිගාව

 

යන කවියෙන් එදා ගැමි කවියා අගය කර ඇති රත්නපුර මහ සමන් දේවාලය ප්‍රමුඛ දෙවොලක් ලෙස සැළකේ. ඉහත විස්තරයේ සඳහන් ආකාරයට ප්‍රතිරාජදේව ඇමතිවරයා විසින් ශ්‍රීපාදයේ තැන්පත් කළ සමන් දේව රුවට පසුව කුමක් වී දැයි තොරතුරක් නැත. එහෙත් සමන් සිරිත නම් වූ කාව්‍ය සංග්‍රහයේ දඹදෙණි පැරකුම්බා රාජ සමයේ සබරගමු වෙහෙර වැසි ශීලවංශ නම් හිමිනමක් සිරිපා වැඳුමට සමන් ගිරට ගොස් එහි රාත්‍රිය ගත කරද්දී සමන් දෙවිඳු බමුණු වේශයෙන් ඒ හිමි වෙත පැමිණ සමන් දෙවි රුවක් සමීප ගල් ගුහාවක ඇති බවත් එය රැගෙන ගොස් අරමේ තබා ගන්නා ලෙසත් දැන් වූ පසු ඒ හිමි පසුදින පහන් වූ විගස ඒ ලෙන නැරඹූ විට පෙරකී සමන් දෙවි රුව දුටු බවත් සඳහන් වේ. එම සීලවංශ තෙරිඳුන් විසින් මහා පෙරහරකින් එම සමන් දේව රුව සිරිපා මළුවේ සිට කිනිදම, දික්ලෙන, සීත ගඟුල, මාරගල්පොත්ත, දියබෙද්ම, නීලිය හෙළ, දොඩම්බැවිල, පලාබද්දල, බටපොල, ගිලීමලය, මල්වල, රත්මලඇල්ල, ගොඩිගමුව, රත්නපුරය, ගල්කඩුව, සපරගොමුව, සපරගොමු වෙහෙර යන පිළිවෙලින් සමන් දෙව් රුව රැගත් පෙරහැර සබරගමු වෙහෙර දක්වා පැමිණි ආකාරය පෙරකී සමන් සිරිතේ දැක් වේ.

 

සබරගොමු ගමේ විහාරස්ථානය පිහිටා තිබිණු නිසා සබරගොමු වෙහෙර කියා ප්‍රකටව ඇත. මහා පැරකුම්බා රජුගේ කතිකාවත් සංඝ සම්මේලනයටත් සබරගොමු වෙහෙර වැසි භික්ෂුන් වහන්සේ සම්බන්ධ වී ඇත. සබරගොමු වෙහෙරට සමන් දෙවිරුව වැඩම කරවීමෙන් පසු එය සමන් වෙහෙර වූ බව පෙනේ. දඹදෙණි යුගයේ දෙවැනි පැරකුම්බා රජ දවස ආර්යකාම දේව නම් නම් ඇමතිවරයා මැණික් ගැරීමට සබරගමුවට ගිය බවත් තමන්ට වටිනා මැණිකක් ලබා දුන්නොත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ සඳහන් ය.

 

සුරිදුනි සිරි බර

අප මිණි කම් කරන වර

ලදුවොත් මිනි පවර

ගෙයක් කරවමි තුන් මහල් කර

 

මෙම සමන් දෙවොල වඩාත් සංවර්ධනය වී ඇත්තේ කෝට්ටේ කාලයේ විසු vi වැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී ය. එම රජු විසින් පිහිටුවා ඇති ශිලා ලේඛනයේ සඳහන් ව ඇත. මෙම ආකාරයට ඉදි වූ සමන් දෙවොල කෝට්ටේ රාජ්‍ය සමයේ දී මහත් දියුණුවක් ලැබූ බව සඳහන් වේ. මෙම දේවාලය සඳහා ගම්වර ලෙස සබරගොමුව, වෙරළුපේ, රත්නපුරේ, තලාවිටිය, මිල්ලවිටිය, අමුවල බොළුතුඹය, කොලොම්බුගම, පැබොටුව,හංගමුව, ලෙල්ලෝපිටිය, බෝපැත්ත, මානියම්ගම, උග්ගල්බඩ, දැරණියගල, කෙහෙල්බටුවාව, හේනේගම, නාකන්දල, කොලවෙනිගම, කලමැටියාව, කොටහැර, දිඹුල්වල, දෙහිපාවල, මොරහැල, එරත්න, හල්පේ යන ගම් 26 දේවාලයට හා විහාරයට පිදූ බව සඳහන් වේ. දේවාලයේ බණ පිරිත් සඳහා පැමිණෙන භික්ෂූන් වහන්සේ තුන් නම සඳහා සිවුපසය සැපයීමට මෙනේරිපිටිය, උඩුවාතන හා ගැටන්ගම යන තුන් ගම් තුණුරුවන් සඳහා පුදා එම ආගමික නායකත්වය සඳහා පැපිලියාන විහාරයේ ගලතුරුමුල මේධංකර තෙරපාණන්ගේ ශිෂ්‍ය මංගල තෙරණුවන්ට පිරිවෙන් නායකත්වය පැවරු බව සඳහන් වේ. මේ වනවිට සමන් වෙහෙර පිරිවෙනක් ද වී තිබූ බව මේ ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ. එය සත්‍ය බව අලගියවන්න මුකවෙටිතුමාගේ සැවුල් සංදේශයේ කවිවලින් මනාව ප්‍රකට වේ.

 

සීතාවක සමයේ විසු අලගියවන්න කිවිඳුන් සිය සැවුල් සංදේශය යවා ඇත්තේ පළමුවන රාජසිංහ රජුට ජය පතා ය. එකල රාජසිංහ රජු හා පෘතුගීසින් අතර දැඩි ලෙස සටන් පැවතී ඇති අතර මේ නිසා සටනින් ජයපතා රජු සමන් දෙවියන්ට භාරයක් වී තිබේ. එය සඵල වූ නිසා රජු තුළ සමන් දෙවිඳු කෙරෙහි ඇති වූ භක්තිය නිසාවෙන් සමන් දෙවොල සංවර්ධනය සඳහා මහත් අනුග්‍රහයක් දක්වා ඇත. එවකට දෙල්ගමුව විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ සමන් දෙවොලට වැඩමවා පෙරහැර පැවැත්වීමට ක්‍රියාකර ඇත නින්දගම් 28 ක් පිදවිලි ගම් 360 ක් ගම්වර ලෙස පුදා ඇත.

 

මේ සියළු ගම්වල ඉඩම් භූක්ති විඳින අයට සමන් දෙවොලේ කිනම් හෝ රාජකාරියක් නියමිත ව ඇත. iවන රාජසිංහ රජුගේ හදිසි අභාවය සමන් දෙවොලේ පරිහානියට හේතු විය. පෘතුගීසින් සබරගොමුව යටත් කර සමන් වෙහෙරත් දෙවොලත් සම්පූර්ණයෙන් වනසා දමා ඒ භූමියේ සැන්සැල්වදෝර් නම් පල්ලියත් පාලන ගොඩනැගිල්ලත් හමුදා ඒකකයත් පිහිටුවීම නිසා මේ පරිහානිය සිදු විය.

 

සමන් දෙවොලේ පැවති දේවාභරණ ආදිය එවකට සිටි කපුරාලලා විසින් රහසිගත ස්ථානවලට ගෙනගොස් තැන්පත් කළ බව සිරිත් පොතේ සඳහන් වේ. පෘතුගීසින් සබරගොමුව පාලනය කරන කාල පරිච්චේදයේ ඉඩම්ගොඩ මලසුන් ගෙයක දේවාභරණ තැන්පත් කර පුදපුජා කළ බව ද සිරිත් පොතේ සදහන් වේ. පෘතුගීසින් විසින් සමන් විහාරයේ හා දෙවොලේ කොටස් සමීපයේ ඇති කළු ගඟට වීසි කර ඇති බව පෙනේ.

 

ගඟදිය බැසගිය නියං කාලවල ‍ගඟපතුලේ ඇති එම නටබුන් පෙනෙන බව දුටු අය පවසති. ගඟට බසින පඩිපෙළවල් සඳහා කඩා බිඳ දැමු ගල් පුවරු සවිකර ඇති බව අද වුව ද පෙනෙන්නට ඇත. පෘතුගීසි අභිලේඛනයක් සහිත නාම පුවරුව පෘතුගීසින් සිහිගන්වන සංකේතයකි පෘතුගීසි විලොපනයෙන් පසුව සබරගොමුව යලිත් iiවන රාජසිංහ රජු විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව සමන් දෙවොල යලිත් ගොඩ නැගී ය.

 

අද පවත්නා සමන් දේවාල සංකීර්ණය iiවන රාජසිංහ රජුගේ නිර්මාණයකි. මෙහි දී සමන් දෙවොල පිළිබඳ සැබෑ තතු සොයාගැනීම දුෂ්කර කරුණක්වන්නේ iවන හා iiවන රාජසිංහ රජවරුන් කළ සේවාවන් පැටලී ඇති බැවිණි.

 

iiවන රාජසිංහ රජු කල අභිනව ඉදිකිරීම්වල දී ඒ වනවිට පෘතුගීසින් විසින් කඩා බිඳ දමන ලද වෙහෙර විහාර ඒ ආකාරයෙන්ම ගොඩනගන්නේ නැතිව පෘතුගීසි පල්ලිය තිබු තැන සමන් දේවාල ගොඩනැගිල්ල ඉදි කරවා එයට ප්‍රධාන තැන හිමිකර උතුරු පසින් කුඩා බුදුමැදුරක් තනා ඇත පෘතුගීසි විලොපනයේ ප්‍රධාන ප්‍රතිපලය ලෙස සැළකිය හැක්කේ එතෙක් ප්‍රමුකස්ථානය ගෙන තිබුණු බෞද්ධ විහාරස්ථානය ද්වීතිය ස්ථානයට පත් වීමයි සමන් වෙහෙර සමන් දෙවොල බවට‍ පරිවර්තනය විය.

 

සමන් දේවාල සංකීර්ණයේ ගෘහ නිර්මාණය

 

සමන් දෙවොල පිහිටි ගෙබිම ශතවර්ෂ ගණනාවක් සබරගොමු වෙහෙර පිහිටි ස්ථානයයි. එහි පෙර පැවති ගොඩනැගිලි සියල්ල පෘතුගීසින් විසින් වනසා ඔවුන්ගේ ගොඩනැගිලි ඉදිකර තිබු බැවින් ඒවා ඉවත්කර අභිනවයෙන් සමන් දෙවොල ඉදිකිරීමේදී iiවන රාජසිංහ රජුට පුදබිමකට අවශ්‍ය චිත්තාකර්ශනිය සැලැස්මක ක්‍රියාත්මක කිරීමට‍ අවස්ථා ලැබී ඇත.

 

මාලිගාව

 

මහල් 03 කින් යුත් ප්‍රධාන ගොඩනැගිල්ල සහ බිම්මහල සඳුන් කූනම නම් වේ. මෙහි දෙවොල් පුද සිරිත් සඳහා වූ භාණ්ඩ තැන්පත් කර ඇත. දෙවැනි මහල අගනා වස්තු තැන්පත් කරන ගබඩාව වේ. තෙවැනි මහලේ සමන් හා විෂ්ණු දේවරුප තැන්පත් කිරීමට වෙන කර ඇත. තෙවැනි මහලේ දල්වන පහන, සිංහාසන මණ්ඩපයේ දල්වන පහනේ එලිය සමග එක් වේ.

 

දික්ගෙය

 

මාලිගාවට යාබදව අඩි 60 ක් පමණ දික් වූ ශාලා ගොඩනැගිලි මෙනමින් හැඳින් වේ. මැද අඩි 14 ක් පමණ පළලින් කණු දේපේලියකි. ඒ වටා අඩි 4 1/2 ක පටු තීරයක් ඇත දෙපස බිත්තිවල ඇඳ තිබුණු චිත්‍ර පසු කල සුනුපිරියම් කිරීමෙන් වැසි ගොස් ඇත. දෙවොලට නිතර බැතිපුද සඳහා පැමිණෙන බැතිමතුන් පුජා වෙලාව තෙක් රැදී සිටින්නේ මෙහි ය.

 

1 වන මකර තොරණ

 

සඳුන් කූනමට පිවිසෙන දොරටුව ඉදිරියෙන් දික්ගෙය කෙළවර මෙම මකර තොරණ ඇත. මෙම තොරණ දෙකේම කලාත්මක බව සුණුපිරියමින් වැසි තිබේ.

 

ශාන්ති මණ්ඩපය

 

සමන් දෙවොලේ පිවිසුම් පියගැට පෙළ අවසානයේ පිහිටා ඇත්තේ ශාන්ති මණ්ඩපයයි මෙම ශාන්ති මණ්ඩපයේ ඉදිරිපස උළුවස්ස දෙපස ඇතුළු පැත්තේ උතුරු පසට සිව වටුක රූපයත් දකුණු පසට මාලි රූපයත් ඇඳ තිබුනත් ඒවා මැකී යමින් පවතී.

 

ඉදිරිපස උළුවස්ස

 

කලාත්මක කැටයම් සහිත ගල් උළුවස්සකි දෙපස කණු දෙකට නොගැළපෙන හරස් මුදුන් පුවරුවකින් යුක්තය පෞරාණිකමය අගයෙන් යුක්ත වේ. මෙය පැරණි සමන් විහාරයේ නටබුන් කොටසක් වශයෙන් සැළකේ. මෙය පෘතුගීසින් විසින් මළුවේ වළලා තිබී හමුව අභිනව ඉදිකිරීමේ දී සවිකළ බව සිරිත් පොතේ ඇත.

 

දළඳා ගෙය

 

සමන් දෙවොලට උතුරින් පිහිටා ඇත චතුරස්‍රාකාර ව වටා ආලින්දයක් හා මැද ප්‍රතිමාලයක් සහිතව ඉදිකර තිබේ ඇතුළත නුවර යුගයේ ප්‍රතිමාවක් හා එම යුගයටම අයත් අසු මහා ශ්‍රාවක රූපවලින් බිත්තිය පින්තාරු කර ඇත. ඉදිරිපස දොරේ කලාත්මක නාරිලතා සිත්තමක් ඇඳ තිබේ.

 

පත්තිනි දේවාලය

 

දෙවොලට දකුණු පසින් පත්තිනි දේවාලය ඇත. එය ද දළඳා ගෙයට සමාන ව වටා ආලින්දයක් සහිත ව ඉදිකරවන ලද්දකි. ඇතුළත පත්තිනි දේවාභරණ තැන්පත් කර ඇත.

 

පත්තිරිප්පුව

 

ඉදිරිපස පියගැට පෙළට දකුණු පසින් පත්තිරිප්පුව තනා ඇත. දළඳා කරඩුව ඇතා පිට තැන්පත් කරන්නේ මේ පත්තිරිප්පුව මත දී ය.

 

නිලධාරීන්

 

සමන් දෙවොලේ නිලධාරීන් දෙවර්ගයක් ඇත. එක් වර්ගයක් හඳුන්වන්නේ කට්ටල යන නමිනි. ඇතුළු කට්ටලේ යැයි හඳුන්වන්නේ දේවාලේ ඇතුළත සම්බන්ධ ව දෙවියන්ට තේවාවන් කරන්නන් ය. පිට කට්ටලේ ලෙස සැළකෙන්නේ දේවාලය පවත්වාගෙන යාමට බැදී සිටින පිරිස ය. දෙවියන්ට පුද පූජා පවත්වන පිරිස වේ.

 

රට පාලනය කරන රජු වෙනුවෙන් දේවාලයේ පරිපාලන කටයුතු සඳහා පත් කළ තැනැත්තා රාජ විධානයේ බසේ නායකයා බස්නායක නමින් හැඳින්වේ. සමන් දෙවොල මුලින්ම ඉදිකරවා එහි පරිපාලනයට ආර්යකාමදේව දේව ඇමතිවරයා පත් කරන ලද්දේ ii වන පරාක්‍රමබාහු රජු ය.

 

බස්නායක නිලමේවරුන්

 

එක්නැලිගොඩ මහා බස්නායක නිලමේ

 

එක්නැලිගොඩ බස්නායක නිලමේ

 

දොළොස්වල බස්නායක නිලමේ

 

පස්සරමුල්ල බස්නායක නිලමේ

 

දොළොස්වල බස්නායක නිලමේ

 

ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ

 

එබෙතොට බස්නායක නිලමේ

 

එක්නැලිගොඩ බස්නායක නිලමේ 1800 (මොහු රාජ උදහසට ලක් වී දිවිනසාගෙන ඇත)

 

ඇලපාත බස්නායක නිලමේ

 

මාකඳුරේ බස්නායක නිලමේ

 

වාරිගම බස්නායක නිලමේ

 

දොළොස්වල බස්නායක නිලමේ

 

මහවලතැන්න බස්නායක නිලමේ

 

එක්නැලිගොඩ බස්නායක නිලමේ 1818-1823

 

එක්නැලිගොඩ බස්නායක නිලමේ 1823-1824

 

දෙල්ගොඩ බස්නායක නිලමේ 1824-1829

 

එක්නැලිගොඩ බස්නායක නිලමේ 1829-1839

 

ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ 1839-1846

 

ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ1846-1888

 

එක්නැලිගොඩ බස්නායක නිලමේ 1888-1913

 

ඇලපාත බස්නායක නිලමේ 1913-1923(රටේ මහත්මයා )

 

ගුණසේකර බස්නායක නිලමේ 1923-1944

 

එල්ලාවල බස්නායක නිලමේ 1944-1947

 

හැරල්ඩ් වේරගම බස්නායක නිලමේ 1958-1968

 

උපාලි කටුගහ ඇලපාත බස්නායක නිලමේ 1971-1981

 

ඇන්ටන්තෙන්නකෝන් බස්නායක නිලමේ 1981-1999

 

නිලංග ප්‍රදීප් දෑල බණ්ඩාර බස්නායක නිලමේ 1999 සිට මේ දක්වා

 

තේවාවන්

 

ඇතුළු කට්ටලය නිලධාරින්ට දේවාලයේ අභ්‍යන්තරයේ ඇති තේවාවන් පැවැත්වීම පැවරී ඇත. දේවාලයේ නිත්‍ය සේවාව කරන ඇතුළු කට්ටලේ රාජකාරී කරන්නන්ට දිනපතා කළ යුතු තේවාවන් ඇත.

 

1) හිල්ම තේවාව

 

2) දහවල් මහා තේවාව

 

3) හැන්දෑ මහ තේවාව

 

මේවා දිනපතා කල යුතු වේ. මෙයට අමතරව අලි අඳුර තේවාව හා බොලපැන් තේවාව යයි අතිරේක තේවා දෙකක් ද දිනපතා කළ යුතු ව ඇත. දළු මුර තේවාව නමින් නිය අල, එනසාල්, බුලත් පුවක් හා හුණු යන ද්‍රව්‍ය ඇතුළත් විශේෂ තේවාවක් ද ඇත. මීට අමතර ව නානු මුර මංගල්‍යය නම් තේවාවක් ද තිබේ.

curtesy :  Colombo Week


More News »