සුන්දර ගිරි පබ්බත හෙවත් යාපහුව රාජධානිය බිහි වූ අයුරු

2015-05-25 09:57:00       695
feature-top
වංශ කතා මගින් අනාවරණවන තොරතුරුවලට අනුව අනුරාධපුර හා පොළොන්නරුව රාජධානි යුගයන්ගෙන් පසු වයඹ පළාතේ බිහි වූ දඹදෙණිය, යාපහුව සහ කුරුණෑගල රාජධානි තුන අතුරින් යාපහුව රාජධානිය සුවිශේෂ වූ වග පෙනෙයි.

 

යාපව්ව, යාපහුව, යාපව්, යාපහු, යාපහුනුව, සුභාගිරිපුර, සුන්දර ගිරි පබ්බත, සුන්දර ගිරිපව්ව, යාපා පුර, සුභ පබ්බත යනාදී වශයෙන් යාපහුවට නම් රැසකි. සුභ නම් සෙනවියෙකු විසින් යාපහුව නගරයක්‌ කරවා තදාසන්න ප්‍රදේශ පාලනය කර තිබේ. සුභ සෙනවියා නිසා සුභාගිරිපුර, සුභපබ්බත යනුවෙන් ව්‍යවහාර වූ වග පසක්‌ කළ හැකි ය.

 

මෙම පෞරාණික රාජධානිය කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ වන්නි හත්පත්තුවේ පහළ විසිදෙකේ කෝරළේ මහව නගරයට සමීප ව පිහිටා ඇත. මහව නගරයේ සිට කිලෝමීටර් 07 ක්‌ පමණ දුරින් යාපහුව මහා විද්‍යාලය අසලින් ඇති පාරෙන් යා හැකි ය. දුම්රියෙන් පැමිණෙන අයට මහව මං සන්ධියෙන් බැස යා හැකි ය.

 

යාපහුව රාජධානියක්‌ ලෙසින් පැවතියේ වසර 11 ක්‌ පමණ ය. ඒ පළමුවැනි බුවනෙකබාහු රජ සමයේ ය. (ක්‍රි. ව. 1273 - 1284) යාපහුව බලකොටුවට නැගෙනහිර දිසාවෙන් ඇතුළු විය හැකි ය. මෙහි දැනට ඇති පන්සල ඉදි වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ ය. (ක්‍රි. ව. 1747 - 1782) පූජ්‍ය නෙත්තිපොල භික්‌ෂූන් වහන්සේ විසින් පන්සලක්‌ ඉදිකරවා එහි වැඩ වාසය කර ඇත.

 

යාපහුව පුරාණ බලකොටුවකි. මෙය දෙවැනිවන්නේ සීගිරි බල කොටුවටයි. සීගිරිය බලකොටුවක්‌ නොවූවත් පර්වතය මුදුනේ මට සිළුටු අලංකාර රජ මැඳුරක්‌ කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද බව වංශ කථා මගින් කියැ වේ. වංශ කථාවලට අනුව යාපහුව පර්වතය මත ආලකමන්දාවක්‌ වැනි පුරයක්‌ සුභ නමැති සෙනවියා විසින් ඉදිකළ වග ගම්‍ය වෙයි.

 

යාපහුවට අදාළව පුරා විද්‍යා ගවේශනයන් සිදුකර ඇත්තේ මුල්ම පුරා විද්‍යා කොමසාරිස්‌වරයා ලෙස සේවය කළ එච්සීපී බෙල් මහතාගේ සේවා කාලය තුළ ය. එතුමාගේ සේවා කාලයේ අවසන් වසර වූ 1911 - 1912 මේ ගැන ගවේශණ හා කැනීම් කටයුතු සිදුකර ඇති බවට පුරා විද්‍යා (අධ්‍යක්‌ෂ සිරිසමන් විඡේතුංග මහතාගේ කෘතියකින් හෙළි වෙයි.

 

මෙම ගවේශණයන්ට අනතුරුව මීට වසර කීපයකට පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ ගවේශණයට අදාළව යාපහුව පර්වත මුදුනේ ජනාවාසයක්‌ පැවැති බවට තහවුරු වී තිබේ. කාල රක්‌ත වර්ණ මැටි බඳුන් පර්වත මුදුනින් සොයාගෙන ඇත. මීට අමතර ව පර්වත මුදුනේ පුරා විද්‍යා ස්‌මාරක 32 ක්‌ සොයාගෙන තිබේ.

 

බෙල් මහතාගේ සේවා කාලයේ දී ද පුරා විද්‍යා ස්‌ථාන 04 ක්‌ පමණ සොයා ගත් බව අනාවරණය වෙයි. පර්වත මුදුනේ හා ඊට සමීප ප්‍රදේශයේ ගවේශණ කණ්‌ඩායම විසින් පුරාවිද්‍යා ස්‌මාරක 200 කට ආසන්න සංඛ්‍යාවක්‌ සොයාගෙන ඇති බවට ද වාර්තා වෙයි. පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි (බ්‍රාහ්මී අක්ෂර සහිත) කීපයක්‌ මීට පෙර හමු වූ අතර දෙවැනි ගවේෂණයේ දී ද බ්‍රාහ්මී ලෙන් ලිපි දෙකක්‌ සොයා ගැනිණි.

 

අප රටට බුද්ධාගම දායාද වූ ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේ සිට මහා සංඝරත්නය වැඩසිටි පුද බිමක්‌ ලෙස යාපහුව නම් කළ හැකි ය. සිංහල බෝධිවංශටීකාවට අනුව දෙතිස්‌ ඵල රුහ බෝධීන් වහන්සේලාගෙන් එක්‌ බෝ පැළයක්‌ යාපව් සුන්දර ගිරි පව්ව භූමියේ රෝපණය කරවා තිබේ. මින් ගම්‍යවන්නේ ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේ දී යාපහුවේ විහාරස්‌ථානයක්‌ හා පුදබිමක්‌ පැවැති බවකි. පොළොන්නරුව රාජධානිය පරිහානියට ලක්‌වීමත් සමගම යාපහුව කෙමෙන් කෙමෙන් ප්‍රසිද්ධියට පත් ව රාජතාන්ත්‍රිකව වැදගත් ස්‌ථානයක්‌ බවට පරිවර්තනයවීමෙන් රාජධානියක්‌ වූයේ ය.

 

පූජාවලිය ග්‍රන්ථයට අනුව තුන්වැනි විජයබාහු රජතුමා කාලිංග මාඝ ආක්‍රමණවල දී බෞද්ධ ශිෂ්ටාචාරය හා සිංහල ජාතිය රැක ගැනීමේ බලවත් සංග්‍රාමයක යෙදුණ බව පෙනේ. විජයබාහු රජතුමාගේ රාජ්‍ය පාලන කාල සීමාව වූයේ (ක්‍රි.ව. 1232 - 1236) වසර 05 ක කාලයකි. මාඝ ආක්‍රමණ සිදුවෙද්දී  විජයබාහු කුමරු වන්නියේ රජකම් කරමින් දෙමළ සතුරු පිරිස්‌ මැඬලීමට දඹදෙණි පව්වේ පුරයක්‌ කරවා රට පාලනය කළ බව වංශ කතාවලින් කියැ වේ.

 

විජයබාහු රජතුමාගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු කුමරු (ක්‍රි.ව. 1236 - 1266) දඹදෙණිය අගනුවර ලෙස පවත්වාගෙන රටේ පාලන කටයුතු මෙහෙය වීය. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ පුතෙකු වූ බුවනෙකබාහු කුමරුට ඒ වනවිට යාපහු ප්‍රදේශයේ පාලන කටයුතු කිරීමට ඉඩසළස්‌වා තිබිණි. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ තවත් පුතෙකු වූ සිව්වැනි විජයබාහු කුමරු යාපහුව නුවරක්‌ ලෙසින් වැඩි දියුණු කළේ ය. ඒ වනවිට එහි චන්ද්‍රභානු නමින් ජාවක ආක්‍රමණිකයා යාපහු පර්වතය වටේට කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු හා සටන් කර පරදවා යාපහුව රාජධානියක්‌ බවට පත් කිරීමට සිව්වැනි විජයබාහු කුමරු කටයුතු කළේ ය.

 

පූජාවලියේ සඳහන් තොරතුරුවලට අනුව සිව්වැනි විජයබාහු කුමරු (දෙවැනි පරාක්‍රමබාහු රජුගේ දෙටු පුත්) දඹදෙණියේ සිට යාපහුවට පැමිණි චන්ද්‍රභානුගේ හමුදාව සමග සටන්කර ඔහු පන්නා දමා යාපහුව උස්‌ පවුරින් හා දිග අගල්වලින් යුතු ව ශක්‌තිමත් බල කොටුවක්‌ බවට සකස්‌ කර රාජ මන්දිරයක් ‌ද කරවා තිබේ. මෙහි පාලනාධිකාරී බලය පළමුවන බුවනෙකබාහු කුමාරයාට පැවරිණි. දඹදෙණියේ රාජ්‍යත්වය ලැබූ සිව්වැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1271 - 1272) අනපේක්‌ෂිතව තමාගේම ඇමැතිවරයෙකු විසින් මරණයට පත් කිරීම නිසා හිස්‌ වූ රාජ තනතුරට පළමුවැනි බුවනෙකබාහු (දඹදෙණියේ දී) පත් විය.

 

පළමුවැනි බුවනෙකබාහු යනු සිව්වැනි විජයබාහු රජුගේ සහෝදරයෙකි. සිව්වැනි විජයබාහු මරණයට පත් කළ ඇමතිවරයාට "මිත්‍ර" යනුවෙන් ආමන්ත්‍රණය කෙරිණි. පළමුවැනි බුවනෙකබාහු රජුට සතුරු අක්‍රමණවලින් වැළකීම සඳහා දඹදෙණියට වඩා ආරක්‌ෂිත ස්‌ථානයක්‌ වූ යාපහුවට පැමිණ එහි රජකම් කළේ ය. මෙයින් පැහැදිලිවන්නේ යාපහුව බල කොටුව රාජධානියක්‌ බවට පරිවර්තනයවීමයි. එය ස්‌ථීර ලෙසම රාජධානියක්‌ බවට පත් ව ඇත්තේ පළමුවැනි බුවනෙකබාහු රජ සමයේ ය. (1272 - 1284)

 

බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසු ආර්ය චක්‍රවර්ති නමින් වූ සෙනවියෙකු ලංකාවට පැමිණ උතුරු ප්‍රදේශය අල්ලාගෙන යාපහුව රාජධානිය ද ආක්‍රමණය කර දන්ත ධාතුන් වහන්සේත් පාත්‍රා ධාතුන් වහන්සේත් රැගෙන පඬිරටට යෑවීමට කටයුතු කර ඇත. පසුව මෙම අති පූජනීය වස්‌තු සිව්වැනි පරාක්‍රමබාහු රජ සමයේ ලංකාවට වැඩමවා තිබේ.

 

යාපහුව රාජධානියේ විසූ ද්‍රවිඩයන්ගෙන් සිදුවන උවදුරු මැඬලීම සඳහා මිසරයේ රජු සමග සබඳතා ඇති කර ගැනීමට කටයුතු කරන ලදුව, ඒ සඳහා එරටට යැවූ දූත පිරිස ආපසු මෙහි ඒමට පෙර මරණයට පත් විය. එකම රජ කෙනෙකුගේ සේවා කාලයෙන් (ක්‍රි. ව. 1272 - 1284) එනම් වසර 11 කින් යාපහුව රාජධානිය බවට පත් විය. ඉන්පසු කුරුණෑගල ඊළඟ රාජධානියක්‌ බවට පත්විය.

 

මෑත භාගයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණ කටයුතු මගින් වූ අනාවරණයේ දී යාපහුවට ගල්කණු ගල් පුවරු ලබාගත් ස්‌ථාන හඳුනාගෙන තිබේ. දළදා මාලිගයට යැම සඳහා ඉදිකර ඇති කළුගලින් නෙළන ලද සෝපානයන් ද ඊට ඉහළින් වූ මකර තොරණ සහ කැටයම් ද මනරම් ය.

 

949 වර්ෂයේ දී යාපහු දකුණු දොරටුවෙන් චීන කාසි 1352 ක්‌ සොයා ගෙන තිබේ. මීට ඉහත එනම් 1911 වර්ෂයේ දී ද චීන කාසි සොයාගත් බව වාර්තා වේ. මේ පැරැණි කාසි චීනයේ වාසය කළ අධිරාජ්‍යවරයාගේ සමයේ භාවිත කළ මුදල් ලෙස පිළිගෙන තිබේ. 1949 දී සොයාගත් චීන කාසි ක්‍රි.ව. හත්වන (07) සියවසේ චීනයේ අධිරාජ්‍යා වූ කව්ත්සුං ගේ සමයට අයත්වෙයි. මෙම කාසි තොගය පොළොව කැනීමේ දී වළදමා තිබූ මැටි කළයකින් සොයාගෙන ඇත.

 

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යාපහුව රාජධානියේ අතීත වැදගත්කම පසක්‌ කරනුවස්‌, තවත් ඉදිරියේ දී ගවේෂණ හා කැණීම් කටයුතු කළහොත් වටිනා කියන දේවල් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකිවනු ඇත.

Colombo Week


More News »