සිංහල සංස්කෘතියේ අදීනත්වය කියාපාන මිහින්තලය

2015-05-31 01:19:00       657
feature-top
ගුණසේන වෙසක් කලාපය සඳහා මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද ලිපියෙහි මැය වූයේ අප ගියේ නිදන් වස්තු බැලීමටය. පුරාණ සිංහල සංස්කෘතියෙහි අදීනත්වයට දොස් කියන කර්මාන්ත යනුය.
මෙහිදී නිදන් වස්තු යනුවෙන් අදහස් කෙරුණේ රුවන්වැලි සෑයෙහි වාහල්කඩ යට තිබි සොයාගත් ධාතූන් කරඬුව, මැණික්, රන්මුවා බුදු පිළිමය හා රන් ආභරණ ආදියයි.
එම ලිපිය අවසන් කෙරෙන්නේ මිහින්තලය බලන්නට ගිය ගමනකින් මතුවන අදහස් දැක්වීමකිනි. ඒ මෙසේය.
ලක්දිව සිංහල සංස්කෘතිය දඹදිව හින්දු සංස්කෘතියට වෙනස් එකක් වූ බවට මිහින්තලය දැනුදු දෙස් කියයි. පැරණි හින්දු සංස්කෘතියෙහි උතුම් අංශයක් ලෙස සැලකිය යුතු වානප්‍රස්ථ ජීවිතයට හුරු ජීවිතයක් පැරණි ලක්දිව භික්ෂූන්ටද රුචිවූ බව මිහින්තලය අපට සිහිකරයි. එහෙත් එය වෛදිකයන්ගේ වානප්‍රස්ථ ජීවිතයම නොවූ බවට මිහින්තලයට නගින විශාල පියගැට පෙළ සාක්කි කියයි. අපගේ ජීවිතය ප්‍රිය කළ පැරණි භික්ෂූහු ‍පොදු ජනකාය සම්පූර්ණයෙන් බැහැර නොකළහ. පියගැට පෙළ මෙන්ම කණ්ටක ෙචෙත්‍යයද පැරණි බොදු බෞද්ධ ජනකාය හා බෞද්ධ වානප්‍රස්ථයන් ද අතර පැවැති නෑ සබඳකමට සාක්ෂ්‍යයකි.
මිහින්ත‍ලේට නැග බැසීමෙන් හෙම්බත් වුණු අප පිපාසය සන්සිඳුවා ගත්තේ අව්වෙන් කැකෑරුණු කළුපාට සීනි වතුර බෝතලය බැගින් බිමෙනි.
මිහින්ත‍ලේට නැග බැස්ස පැරණි සිංහලයන් පිපාසය සන්සිඳවා ගත්තේ කෙසේද?
දඹුල්ල පාරේ කොළඹට පැමිණි අපගේ පිපාසය වැඩිවීය. පිපාසය ඇත්තන්ට නගරය මී බඳුනක් වැන්න. එහෙත් මී බොන්නන්ගේ පිපාසය තවත් වැඩිවෙයි.
පරිසරයට හසුවුණු මනුෂ්‍යයා, කුඹලාගේ අතට හසුවුණු මැටි පිඬක් වැන්න. කුඹලා මැටි පිඬ තළා පෙළා නමා තමාට රුචි පරිදි බඳුන සාදයි. පරිසරයද තමාට හසුවන මනුෂ්‍යයා මැටි පිඬක් ලෙස තලා පෙළා තමාට උවමනා සැටියෙන් තනා ගනියි.
මිහින්ත‍ලේ විසූ වානප්‍රස්ථයෝද (මෙහිදී වික්‍රමසිංහයන් අදහස් කරන්නේ වනවාසී බෞද්ධ භික්ෂුවයි) ඔවුන්ගේ අනුශාසනය ලැබූ ‍පොදු බෞද්ධයෝද එකල වූ පරිසරයෙහි ප්‍රතිඵල වූහ. මෙකල වෙසෙන අපි වඩාත් සිත්පිත් නැති වර්තමාන පරිසරයෙහි ප්‍රතිඵල වමු.
ජීවිතය නමැති ණය හිමියා විසින් නිර්දය ලෙස හෙම්බත් කරනු ලැබූ අප අතරද, මවගේ තුරුල්ලෙහි ගැන්නීමට ආශා කරන දරුවන් මෙන් වාත ප්‍රස්ථයන් වනු කැමැත්තෝ හිඟ නොවෙත්.
***
1951 දී පළ කෙරුණු කළුනික සෙවීම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සංචාරක සටහන් එකතුවකි. එහි අනුරාධපුරය පිළිබඳ ලිපි 4ක් ඇතුළත් වෙයි. ඉන් එක් ලිපියක් මිහින්තලය පිළිබඳ ඉහතින් දැක්වූ සටහනෙහිම දිගුවක් වැනිය. පහත දැක්වෙන්නේ, එම ලිපියෙන් උධෘත කරගත් මිහින්තල වර්ණනයයි.
      උදය කාලයෙහි මිහින්තලය බලා ගිය අප එහි නැංගේ පියගැට පෙළින් නොවේ අනිත් පැත්තෙන් සාදන ලද අලුත් පාරෙන් ගොස් මිහින්තලයට නැගුණු අපට පළමුව හමුවූයේ නටබුන් කුටිවල ගල් කණු, සංඝයා රැස්වී ශාසනය ගැන කතාබහ කළ මැදුරෙහි ගෙපිල, කොරවක් ගල් ආදියය. කඳු මුදුනෙහි දාගැප් දෙකින් එකක් ජරාවාස වුවද ඉතා ශෝභනය. එහි බඳ බුබුලක හෝ පාත්‍රයක හෝ බඳ මෙන් දැනුදු පිම්බි සිටියි. මේ ස්තූපයෙන් මඳක් ඈත්ව ඊට පිටු පා සිට බලන්නකුට පෙනෙන්නේ පර්වත පාදයෙන් පටන් ගෙන තිහව, හම්බන්තොට හා තිරිකුණාමලය තෙක් රළ පෙළක් සේ නගිමින් බසිමින් පැතිරෙන වන ප්‍රවාහයකි. ගම් හා නගර පිහිටි තැන් පෙනෙන්නේ වන ප්‍රවාහය විසින් උඩට නගන ලද ලොකු සුදු පැල්ලම් ලෙසිනි. උඩින් නැගෙනහිරද යටින් බටහිරද  බලා දෑතට දිවෙන සුදු වලාකුළු නිතැතින් අවුල් හැරෙන කපු පුළුන් කැටි සේ විසිරෙමින් අතුරුදන් වෙයි. වන හිස්ද වැවුවල දියද පිසගෙන එන සුළඟ, සුන්දරියක සේ අප නළවමින් අපගේ මුහුණු සිඹියි. ඉඳහිට හමන මේ සිහිල් සුළඟ නිසා නොවේ නම් අප තවන හිරු රැස් වඩාත් දරුණු වෙයි.
පැරණි සිංහල සංස්කෘතිය දඹදිව, වෛදික, ආර්යන්ගේ සංස්කෘතියට මිස දෙමුහුන් හින්දු සංස්කෘතියට නෑ සබඳකම් නැත්තක් බවට මිහින්තලය දැනුදු දෙස් කියයි. පැරණි වෛදික සංස්කෘතියෙහි අංගයක් වූ වානප්‍රස්ථ ජීවිතයට හුරු ජීවිතයක් පැරණි ලක්දිව භික්ෂූන්ට ද රුචි වූ බව මිහින්තලය අපට සිහිකරයි. එහෙත් එය වෛදිකයන්ගේ වානප්‍රස්ථ ජීවිතයම නොවූ බව මිහින්තලයට නගින පිය ගැට පෙළ ගොළු බසින් කියයි. අපිස් ජීවිතය ප්‍රිය කළ පැරණි සිංහල භික්ෂූහු, ‍පොදු ජනකාය බැහැර නොකළහ. පිය ගැට පෙළ මෙන් කණ්ඨක ෙචෙත්‍යය ද පැරණි බෞද්ධයන් හා වනවාසීන් අතර පැවැති නෑ සබඳකමට කදිම සාක්කියකි.
බෞද්ධ වානප්‍රස්ථයන් මිහින්තලය තමන්ගේ වාසය සඳහා තෝරාගත්තේ කයටත් සිතටත් වධ දෙනු පිණිස නොවේ. එය කයත් සිතත් සනසන රමණීය තැනකි. එහි නැගුණකු හැරෙන හැරෙන අතින් දකින්නේ ඉතා සුන්දර දැකුම්ය. ගස් මුදුන්වලින් නොවැසුණු අහස ඔහුගේ ඇසට හසුවන්නේ දැවැන්ත ඉඳුනිල් මිණි බිම්ගෙයක මහා ආරුක්කුව වැනි වහල් තලයක් ලෙසිනි. වැව් හා මූකලාන ද අතර වූ අනුරපුරය නෙත් සිත් පිනවන සිත්තම් පටක් වැන්න. ඉර මුදුන් යාමයෙහි වුවද මිහින්තලයෙහි ගල් තල්ලක් හෝ ගල් ලෙනක් හෝ යටට ගිය එකකුට දැනෙන්නේ කයත් සිතත් නළවන සිසිලකි. දොඹ, සපු, නා, අශෝක, මූන, අරලිය ආදී ගස්වල මලින් නගින එකිනෙකට වෙනස් සුවඳ එක්ව පැතිර එකම මුදු සුවඳක් වෙයි. ඒ මල් ඇසට හසු වන්නේ එකිනෙකට වෙනස් වර්ණයන්ගේ තරගයක් හටනක් ලෙසිනි.
අහස ගොළුවෙකි, මූකලාන ද ගොළුවෙකි, නිසන්සලය දැඩිය. මේ දැඩි නිසන්සලය, මිහින්තලයෙහි වෙසෙන යෝගීහුගේ සිත, සුළඟින් පවා හැඬවෙන සේ සාදන ලද තත් සයක් ඇති වීණාවක් මෙන් තියුණු කරයි. ඔහුගේ අධ්‍යාත්මය ද පසිඳුරෝ ද තීව්‍ර වෙති. නොගත හැකි තරම් සියුම් රූප ඔහුගේ ඇසට ද නොදැනෙන තරම් සියුම් ගඳ නැහැයට ද සියුම් පහස කයටද සියුම් හඬ කනට ද දැනෙයි. මිහින්තලය සිත කය දෙකට වධ දෙන තැනක් නොවේ, පසිඳුරන් පිනවන අරමුණුවල මල බැහැර කොට එයින් නිර්මල ආස්වාදයක් ලැබිය හැකි තැනකි.
මීට අවුරුදු තිහ හතළිහකට පෙර ලංකාවට ඇවිත් මහනුවර නැවතී භික්ෂූන් ඇසුරු කරමින් පාලිය උගත් ජර්මන්      දර්ශනවාදියෙක්, ඇවිද්ද දර්ශනවාදියෙකුගේ සටහන් ‍පොත නමින් ‍පොතක් ලියා පළ කෙළේය. බුදු සමයෙහි සාරය, බුදු සමයට පරිසරය වූ ලක්දිව පැරණි සමාජය, නටබුන් වස්තු යන ආදියෙහි නියම ස්වරූප පැණැසින් දුටු ඔහු මිහින්තලය දැකීමෙන් උපන් හැඟීම් කීවේ මෙසේය. අශෝක රජුගේ පුත් මහින්ද තෙරණුවන් මහා බෞද්ධ ධර්ම දූතයන් ජීවත්වී මියගිය මිහින්තලය, ලංකාවෙහි පුදුමයන්ගෙන් පුදුමය වෙයි. කඳු මුදුනෙහි වූ පටු ආලින්දයක් වැනි මේ ආශ්‍රමය, ශිල්පියකු විසින් කපා හාරා නිම කරන ලද්දකි. එය මා මේ තාක් දුටු හැම දෙයකට වඩා ශ්‍රේෂ්ඨය. ඒ ලෙන සෙවණ  කරන දුර්ගයක් වන පර්වතය එක විටම නිම්නය කරා බසියි. අනන්ත අහස යට, ආදි කාලීන මහා වනය පැතිරෙයි. එහි අකලංක නිසන්සලයට බාධා වන්නේ ඇතුන්ගේ කුංච නාදයෙන් පමණි. මෙවැනි දුර්ගයක මුදුන රජකු හැර අනිකෙක් තමාගේ වාසය සඳහා තෝරා නොගනියි. මෙහි ටික වේලාවක් පවා ගත  කරන්නාගේ අධ්‍යාත්මය දියුණු වන්නේය. මගේ කල්පනාවට මහින්ද හසුවන්නේ බුදු පිළිමයෙන් දැක්වෙන තරම් විශාල කයක් ඇති භාවනානුයෝගී බුදුවරයකු ලෙසිනි. මුදු මොලොක් ගුණ ඇතත් නොසැලෙන ඔහු එඩිතර තරුණ වියෙහිදීම සියලු දේ හැරදැමූවකු මෙන්, නිම්නයෙහි වෘක්ෂලතා වේෂයෙන් නැගෙන ජීවය දෙස බලන්ට ඇතැයි මට හැඟේ දැඩි කොට හික්මවන ලද ඉන්ද්‍රියන් ඇතිව විසූ වානප්‍රස්ථයෝ කාම කෙලෙස් කුප්පන මිනිස් රූප, ඉතිරීන්ගේ මුදු මොලොක් ගති හා අඟර දඟර සිහි කරවන ලියකම් ආදියෙන් මිහින්තලයෙහි ගල් කණු ගල් ‍පෝරු හා කොරවක් ගල් අලංකරණය කරනු වැළැක්වූහ. එහි ගල් කැටයම් අතර ලියකම් හා ගෑනු කයෙහි ලලිත තාලය දැක්වෙන රූප ද දුර්ලභය. සංඝයා රැස් වූ සාලාවට පිවිසෙන දොරටුවල කොරවක් ගල් පවා මකර රූපයෙන් තොර වෙයි. මිහින්තලය කළ ශිල්පීන් මකර කැටයම් දතුවන් බව නිසැකය. කොරවක් ගල්වල මුදුන මකර රූපයෙහි ඡායාවක් වැන්න. එහෙත් මකරාගේ අවයව, ඉන්ද්‍රීය ආදිය දැක්වෙන කැටයමක් එහි නොදක්නා ලැබේ. මෙහි හැම ගල් කණුවකින්, ගල් ‍පෝරුවකින් දැක්වෙන්නේ රූක්ෂ විනීත සෞන්දර්යයකි. බත් හල අසල දක්නා ලැබෙන ගල් ඔරුව ඉතාම සුන්දර නිර්මාණයකි. එය ඔප මට්ටමින් හා ස්වරූපයෙන් අනුරාධපුරයෙහි ගල් ඔරුවට වඩා බෙහෙවින් උසස් ගල් වඩුකමකි. පැරණි ශිල්පීන්ගේ ශක්තියත් සම්ප්‍රදායත් භික්ෂූන් විසින් දැඩි කොට හික්මවන ලද බැවිනි. මිහින්තලයෙහි ගල් කැටයම්, කාම කෙලෙස් කුප්පන වැඩිමනත් අලංකරණයෙන් තොර වූයේ. විසිතුරු කැටයමින් හොබනා වාහල්කඩ ඇති කණ්ඨක ෙචෙත්‍යය, අනුරාධපුරයෙහි නාගරික සභ්‍යත්වය ක්‍රමයෙන් නැගීමත් එහි ඇතැම් විසිතුරු අංගයන් මිහින්තලයට රිංගා ගැනීමත් කියන ස්මාරකයක් වැන්න. කණ්ඨක ෙචෙත්‍යයෙහි වාහල්කඩ සතර කොතරම් විසිතුරු වුව ද රමණීය වුව ද මිහින්තලයෙහි අනික් ගල් කැටයම්, ගල් ලෙන් හා වන පරිසරය ද හා අනායාසයෙන් නොසැසඳෙන්නකි. එයින් මිහින්තලයෙහි රූක්ෂ විනීත මුහුණුවර මඳක් වෙනස් වෙයි.
අනුරාධපුරයේ නැගීම හා වැඩීම හා සමග නාගරික සභ්‍යත්වය ද දියුණුවීය. මිහින්තලයෙහි වානප්‍රස්ථයන් විසින් හික්මවන ලද ශිල්ප සම්ප්‍රදාය, බොහෝ කලක් අනුරාධපුරයෙහි ශිල්පීන් කෙරෙහි බලපෑවේය. නාගරික සභ්‍යත්වයට හසුවූ අනුරපුරයෙහි ගල් කැටයම් හා පිළිම හත් වන අට වන සිය වස් තෙක් වැඩි අලංකරණයෙන් බෙහෙවින්      දූෂණය නොවූයේ එහෙයිනි.

Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »