පොලොන්නරුව පුලස්‌තිපුර වූ හැටි

2015-06-07 01:59:00       655
feature-top
අපේ ඇතැම් ඓතිහාසික ලේඛනවල පොලොන්නරුව ගැන සඳහන් කරන අවස්‌ථාවලදී පුලස්‌තිපුර යන විකල්ප නමකින්ද එය හඳුන්වා ඇත. මෙය විශේෂයෙන් දක්‌නට ලැබෙන්නේ මහාවංශයෙහි දෙවැනි කොටසෙහිය. පොලොන්නරුව හැඳින්වීම සඳහා මේ විකල්ප නාමය කවදා කෙසේ ඇතිවී දැයි කිසිවකු නිශ්චිතව නොදනී. මධ්‍යකාලීන ලංකා ඉතිහාසය පිළිබඳ නූතන වියතුන් විසින් පළකර ඇති පොත් පත්වලින් ද මේ කරුණ ලිස්‌සී ගොස්‌ තිබේ. එබැවින් මේ පිළිබඳව සොයා බැලීම වැදගත්ය.

දොළොස්‌වැනි සියවසෙහි පාලි භාෂාවෙන් සම්පාදනය වී ඇති පොත්වල පොලොන්නරුව සඳහන් වන්නේ පොලොනනගර යනුවෙනි. පොලොන්නරුවෙහි ඇති වේලක්‌කාර (දෙමළ) සෙල් ලිපියෙහි එම නගරය සඳහන් වන්නේ පුලනරි යනුවෙනි. එහි අර්ථය කුඹුරුවලින් හෙබි නගරය යනුයි. අද මෙන් එදා ද පොලොන්නරුවෙහි වී ගොවිතැන බෙහෙවින් පැතිරී තිබුණු බැව් මෙයින් පෙනේ. එබැවින් පොලොන්නරුව යන වචනය බිහිවී ඇත්තේ පුලනරි යන දෙමළ වචනයෙන් බව පැහැදිලිය. සොළී පාලන කාලයේ දී මේ ප්‍රදේශයේ දෙමළ ජනතාව පදිංචි වී සිටිම මීට හේතුවයි.

බොහෝ දෙනා සිතන්නේ පුලස්‌තිපුර පොලොන්නරුව වූ බවය. එය පුලස්‌තිපුර ලෙස හැඳින්වෙන්නේ පුලස්‌ති නම්වූ සෘෂිවරයා නමින් ගොඩනඟන ලද නිසා යෑයිද ඔවුහු සිතති. ඒ නිසාම පරාක්‍රම සමුද්‍ර බැම්ම අසල ඇති පොත්ගුල් විහාර ප්‍රතිමාව නමින් හැඳින්වෙන පිළිමයෙන් නිරූපණය වන්නේද මේ පුලස්‌ති සෘෂිවරයා යෑයි ඔවුහු තවදුරටත් සිතති. මෙය සාවද්‍යය විශ්වාසයකි. පැරැණි ඉන්දියානු සාහිත්‍යයෙහි පුලස්‌ති නමින් සෘෂිවරුන් දෙදෙනකු ගැන සඳහන් වේ. ක්‍රිස්‌තු පූර්ව 7 වැනි සියවසෙහි දී පමණ සම්පාදිත යෑයි සැලකෙන සංස්‌කෘත භාෂාවෙන් රචිත රාමායනය නමැති මහා කාව්‍ය ප්‍රබන්ධයෙහි එන කල්පිත චරිතයක්‌ වූ රාවණාගේ පුත්‍රයෙක්‌ද පුලස්‌ති නමින් හැඳින්වේ. අනිත් පුලස්‌ති චරිතය නම් මත්ස්‍යපුරාණය, අග්නිපුරාණය ආදි පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් ජ්‍යෝතිෂශාස්‌ත්‍රය හා වාස්‌තු විද්‍යාව නිර්මාණය කළ සප්ත සෘෂීන්ගෙන් කෙනකුවූ පුලස්‌ති සෘෂිවරයා ය. මරිචී, අත්රී, අංගීරස්‌, ප්‍රලභ, කෘතු හා වාසිශ්ඨ යනු ඉතිරි සෘෂිවරු හයදෙනාය. වාසිශ්ට මෙන්ම ඔහු පුත් පරාශර ද ජ්‍යෝතිෂ ශාස්‌ත්‍රීය මූල ග්‍රන්ථ කතුවරුන් වන බැවින් පුරාණ ග්‍රන්ථවල සඳහන් මේ සෘෂිවරුන් ඓතිහාසික පුද්ගලයන් බව පෙනේ.

පුලස්‌තිපුර ගොඩනඟන ලද්දේ සහ පොත්ගුල් විහාර ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ ඉහත දැක්‌වූ දෙදෙනාගෙන් කවරෙකු දැයි ඒ පිළිබඳ විශ්වාස කරන්නෝ නොදනිති. යම් විදේශීය චරිතයක්‌ නමින් මෙරට කිසියම් නගරයක්‌ හෝ ප්‍රතිමාවක්‌ නම් කිරීමට එකි විදේශීය චරිතය අප රටට කිසියම් අදාළත්වයක්‌ හෝ වැදගත්කමක්‌ තිබිය යුතුය. නිදසුනක්‌ ලෙස අසෝක, මහින්ද සංඝමිත්තා වැනි ඉන්දියානු චරිත බුදු දහම පවතින රටක්‌ ලෙස මෙරටට ඉතා වැදගත්ය. එහෙත් එවැනි අදාළත්වයක්‌ හෝ වැදගත්කමක්‌ නොමැති පුලස්‌ති වැනි නමක්‌ මෙරට අගනුවර හෝ ප්‍රතිමාවක්‌ නම් කිරීමට යොදාගනු ලැබීම යෑයි විශ්වාස කළ හැකිද? එහෙත් මෙරට එක්‌තරා නරපතියකු පොලොන්නරුව පුලස්‌තිපුර ලෙස නම්කළ බව අනාවරණය වෙයි. එය කෙසේ සිදුවීද?

පොලොන්නරුවට විකල්ප නමක්‌ ලෙස පුලස්‌තිපුර (පාලි( පුලස්‌ථිනගර) යනුවෙන් ප්‍රථම වරට සඳහන් වන්නේ චූලවංශය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන මහාවංශයෙහි දෙවැනි කොටසෙහිය. මේ කොටසෙහි ඉතා වැඩි ප්‍රමාණයක්‌ එනම් පරිච්ඡේද 18 ක්‌ වැයකර ඇත්තේ උපතේ සිට මරණය දක්‌වා මහා පරාක්‍රමබාහු රජතුමාගේ චරිතාපදානය හා කාර්ය සංසිද්ධීන් ගෙනහැර දැක්‌වීමටය. දකුණු ඉන්දියාවේ මෙහෙය වූ යුද්ධ ව්‍යාපාර වැනි එතුමාගේ ඇතැම් කාර්ය සංසිද්ධීන් විස්‌තර කිරීමේදී ඇතැම් වාක්‍ය වර්තමාන කාල ක්‍රියාපදවලින් අවසන් කර තිබීම වැනි බොහෝ අභ්‍යන්තර සාක්‍ෂි මගින් පැහැදිලි වන්නේ මෙම පරිච්ඡේද සම්පාදනය කිරීම එතුමාගේ ජීවමාන කාලයේදීම ආරම්භ වී ඇති බවය.

මහා පරාක්‍රමබාහුගේ අභිෂේකයෙන් පසු කළ යුතුව තිබූ ඉතා වැදගත් කරුණු තුනක්‌ පිළිබඳව මහාවංශයෙහි 73 වැනි පරිච්ඡේදයෙහි දැක්‌වේ. එනම් දීර්ඝකාලීන යුද්ධයකින් පසු පිරිහී ගිය ආර්ථිකය නඟාසිටුවීම, විනාශ වී ගිය පොලොන්නරුව අගනුවරට උචිත ලෙස ප්‍රති නිර්මාණය කිරීම හා පිරිහි ගිය සඟසසුන පිරිසිදු කොට තුන් නිකාය එක්‌සත් කිරීමත්ය. මින් අවසාන කරුණ සිදු වන්නේ අභිෂේකයෙන් 12 වැනි වසරේදීය. එනම් ක්‍රි.ව. 1165 වසරේදීය. මෙයින් පෙනී යන්නේ ප්‍රමුඛතාව දී ඇත්තේ ප්‍රථම කරුණු දෙක සඳහා බවයි. මෙම පරිච්ඡේදයේ අවසාන ගාථාවලින් දැක්‌වෙන්නේ පෙර ඉතා කුඩා නගරයක්‌ වූද, අනේක යුද්ධවලින් විනාශ වී ගියාවූද ඒ පොලොන්නරුව ඉතා අලංකාර ලෙස අලුතින් ගොඩනඟන ලද බවය.

පොලොන්නරුව නම් ඒ කුඩා නගරය විනාශ කළ අනේක යුද්ධ මොනවාද? දිගු කලක්‌ පැවති දකුණු ඉන්දියානු ද්‍රවිඩ සොළී පාලනයෙන් රට මුදාගත් විජයබාහු රජතුමා 55 වසරක්‌ රජකොට ක්‍රි.ව. 1110 දි මියගියේය. තුන් නිකායික මහා සංඝයාද ඇමැතිවැරන්ද පවුලේ ඥතීන්ද කථිකාකොට එකල යුව රජ පදවියෙහි සිටි විජයබාහුගේ කනිටු සොයුරු ජයබාහු රාජ්‍යයත්වයට පත්කෙට හිස්‌වූ යුවරජු පදවියට විජබාහුගේ නැගණිය වූ මිත්තාගේ පුත් මාණාභරණ පත්කරන ලදී. එහෙත් සම්ප්‍රදායානුකූලව යුවරජ පදවියට පත්කළ යුතුව තිබුණේ රුහුණේ ආදිපාදවරයා වූ විජයබාහුගේ පුත් වික්‍රමබාහු කුමාරයාය. තම පියාගේ මරණයවත් තමන්ට නොදන්වා ක්‍රියාත්මක කළ මේ වැඩපිළිවෙළ දැනගත් වික්‍රමබාහු, ජයබාහු මරා ක්‍රි.ව. 1111 දී පොලොන්නරුවේ රජකමට පත් විය. වික්‍රමබාහුට විරුද්ධව මිත්තාගේ පුතුන් තිදෙනා යුද වැදීමත් සමඟ හටගත් පවුලේ සමීප ඥතීන් අතර වසර 42 ක්‌ පැවැති මේ බලලෝභී යුද්ධය අවසන් වූයේ පරාක්‍රමබාහු විසින් වික්‍රමබාහුගේ පුත් දෙවැනි ගජබාහු ද (ක්‍රි.ව. 1132 - 1153) මානාභරණ ද සුගලා දේවියද පරාජය කොට 1153 දී පොලොන්නරුවෙහි රජවීමත් සමඟය.

මේ දීර්ඝකාලීන යුද්ධය නිසා වැනසී ගිය පොලොන්නරුව නම් කුඩා නගරය පරාක්‍රමබාහු විසින් යළි ගොඩනඟන ලද්දේ ප්‍රතාපවත් රජෙකුගේ අගනුවරකට සාකල්‍යයෙන්ම ගැළපෙන අභිමානවත් දර්ශනීය නගරයක්‌ ලෙසය. මෙහි ඉදිකරන ලද විහාර, දාගැබ්, ධාතු මන්දිර, දාන ශාලා, ප්‍රාසාද, උද්‍යාන, නාන පොකුණු, පුස්‌තකාල ආදී විවිධාකාර අංගෝපාංග පිළිබඳ දීර්ඝ විස්‌තර මහා වංශයෙහි 73, 78 හා 79 යන පරිච්ඡේදවල දැක්‌වේ. මෙසේ පොලොන්නරුව ප්‍රති නිර්මාණය කිරීමෙන් පසු එය පුලස්‌තිපුර යනුවෙන් නම් කරන ලදී. මහාවංශයේ 73 වැනි පරිච්ඡේදය ද පුලස්‌තිපුර පටිසංඛරණ නිද්දේස යනුවෙන් නම්කර තිබීමෙන් එය සනාථ වේ. පුලස්‌තිපුර යන නම ඊට පෙර සිටම ව්‍යවහාරයේ පැවතියේ නම් එම පරිච්ඡේදයේ අවසාන ගාථාවලින් දැක්‌වෙන පරිදි මහාවංශ කතුවරයා එය වාර්තා කළ යුතුව තිබුණේ අනේක යුද්ධයෙන් නටුවා වූ ඒ පුලස්‌තිපුරය යනුවෙන් මිස අනේක යුද්ධයෙන් නටුවාවූ ඒ පොලොන්නරුව යනුවෙන් නොවේ.

සමකාලීන ලේඛකයකු වූ සුමංල හිමියන්ගේ අභිධම්මාවතාරටීකා නම් ග්‍රන්ථයේ එන නිගමන ගාථාවකින් ද අපගේ මතය සනාථ වේ. රම්මේ පුලත්ථි නගරෙ නගරාධිරාජෙ රඤ් පරක්‌ඛම භූජෙන මහාභූජෙන (මහ පැරකුම්බා රජතුමා විසින් කරවන ලද නගරයන්ගේ අධිරාජයකු වැනි රමණීය පුලස්‌තිපුරයෙහි) මෙහි කාෙව්‍යාක්‌තියෙන් පවසා ඇති නගරයන්ගේ අධිරාජයා යන්නෙන් ගම්‍ය වන්නේ ශාඛා නගර හා අගනුවරයි. පොලොන්නරුව ප්‍රති නිර්මාණය කිරීමේදී ශාඛා නගර තුනක්‌ ඉදිකොට රාජවේසියභුජංග, සිංහපුර හා විජිත යන නම් එම නගරවලට යොදන ලද අතර අගනුවරට පුලස්‌තිපුර යන නම යොදා ඇත.

මෙසේ ප්‍රතිනිර්මාණය කළ පොලොන්නරුව පුලස්‌තිපුර යනුවෙන් නම් කරන ලද්දේ එකී ඉන්දියානු නමෙහි මෙරටට ඇති අදාළත්වය හෝ වැදගත්කම සලකා බැලීමෙන් නොවේ. මහාවංශයෙහි 78, 79 පරිච්ඡේදවල සඳහන් අන්දමට නව නගරයෙහි උද්‍යාන විහාරාරාම ඇළ මාර්ග ආදියට නම් තැබූ ආකාරය සළකන විට මෙය මැනවින් පැහැදිලි වේ. මේ නම් තැබීම සඳහා තෝරාගත් සියලුම නාම සුප්‍රකට ඉන්දීය නාම පමණක්‌ වීම සුවිශේෂ කරුණකි. විවේකකාමී සියලු ධූතාංගධර භික්‍ෂූන්ගේ සැප විහරණය සඳහා ඉදිකළ විහාරයට තබන ලද්දේ කපිල නම්වූ සුප්‍රකට ජනප්‍රිය නාමයයි. එහෙත් එම නම තෝරා ගන්නා ලද්දේ රාමායනයේ සඳහන් මනංකල්පිත චරිතයක්‌ වූ අයෝධ්‍යාවේ සාගර රජුගේ පුතුන් සැට දහස ශාපකර දවා හළුකළ කපිල නම් "දුෂ්ට" සෘෂිවරයාගේ නමින් නොවේ. වෛතුල්‍ය වාදීන් පරීක්‍ෂා කිරීම සඳහා වෝහරතිස්‌ස රජතුමා විසින් පත්කළ ඇමැතිවරයාගේ නමද කපිල බව මෙනෙහි කරනු මැනවි.

පොළොන්නරුව ප්‍රතිනිර්මාණය කිරීමේදී ඉදිකළ ශාඛා නගරවල විහාරාරාමයන් නම් කරන ලද්දේ පෙර අනුරාධපුර යුගයේ පැවැති විහාරාරාම නම් අනුව නොව ඉසිපතනය, කුසිනාරාව වේළුවන ආදී බුද්ධ කාලීන ඉන්දියානු විහාරාරාමවල නම් යොදා ගැනීමෙනි. නව නගරයෙහි නිර්මානය කළ උද්‍යාන නම් කරන ලද්දේ, නන්දන, සෝමනාථ, පූර්ණ වර්ධන, භාරුකච්ඡ, රාමේශ්වර යනාදී නම්වලිනි. ඉදිකළ ඇළ මාර්ග නම් කිරීම සඳහා තුංගභද්‍රd, සරස්‌වතී, නර්මදා, යමුනා ආදී ඉන්දියානු ගංගාවල නම්වලට අතිරේකව හේමවතී, සලලවතී, නීලවාහිණී චම්පා ආදී ඉන්දියානු ස්‌ත්‍රී වාචික නම් යොදාගෙන ඇත. මේ අනුව අලුතෙන් ප්‍රති නිර්මාණය කළ පොලොන්නරුවේ නගරාංග නාමකරණ වැඩපිළිවෙළ යටතේ පොලොන්නරුව වෙනුවට පුලස්‌තිපුර යනනම යොදා ගන්නා ලද්දේ ඉන්දියානු සාහිත්‍යයෙහි සඳහන් එකී චරිතයේ අදාළත්වය සලකා නොවේ.

මහා පරාක්‍රමබාහු යුගය මෙරට සංස්‌කෘත භාෂා, සාහිත්‍යය අධ්‍යයනයේ ඉතා දියුණුම කාල පරිච්ඡේදය විය. පුලස්‌ති යන සංස්‌කෘත සාහිත්‍යයේ එන නම නව නගරය හැඳින්වීමට තෝරා ගැනීමේදී පොලොන්නරුව දෙමළන් හැඳින්වූ පුනරි යන වචනයෙහි ශබ්ද සාම්‍යය පමණක්‌ සැලකිල්ලට ගෙන ඇති බව පෙනේ. 13 වැනි සියවසේ මුල් භාගයේ දී පැමිණි කාලිංග මාඝ, චන්ද්‍රභාණු ආදී දරුණු විදේශීය ආක්‍රමණිකයන් නිසා පොලොන්නරුව අගනුවරක්‌ ලෙස නැවත අභාවයට ගියේය. දඹදෙණිය අවධිය වන විට පුලස්‌තිපුර යන නම අමතක වී තිබුණු බැව් පූජාවලිය නිකාය සංග්‍රහය ආදී පොත්වල එකී නම නොතිබීමෙන් පැහැදිලි වේ.



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »