ගැබිනි මවක අහසින් ගොස් ගිරිහඩු සෑ වැන්දාය

2015-06-10 01:31:00       694
feature-top
ගිරිහඩු සෑය හෙවත් තිරියාය වටදාගේ පූජනීය සිද්ධස්ථානයකි. එය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රමණීය වූ කඳුගැටක් මත වූ විහාරයක් වන්නේය. එහි ඇති ශිලා ලිපියක් අනුව ඉතා වැදගත් පුවතක් වාර්තා වෙයි. ඒ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට එහි සෑයක් කරන ලද බවයි.

අනුරාධපුර රාජධානි සමයේ හොඳින් සංවර්ධනය වූ මෙම රමණීය පින්බිම කාලයගේ ඇවෑමෙන් නටබුන් බවට පත්විය. පසුකලෙක ආචාර්ය සෙනරත් පරණවිතාන මහත්මාගේ මූලිකත්වයෙන් මේ දාගැබ පාදා ගැනීමත් සංරක්ෂණය කිරීමත් සිදුව තිබේ. මේ ස්ථානය පිළිබඳ ඓතිහාසික පුවතක් විශුද්ධි මඟයේ සඳහන් වෙයි. විශුද්ධිමාර්ගය යනු අට්ඨකතා ලියන්නට බුද්ධඝෝෂ හිමියන්ගේ උගත්කම පෙන්වූ නිබන්ධය වන්නේය. එහි ගිරිහඩු සෑය ආශි්‍රත පුවත පූජ්‍ය අත්තුඩාවේ ශ්‍රී රාහුල මහනායක හිමියෝ සිය අට්ඨකතා සාහිත්‍ය කෘතියේ ලිහිල් බසින් මෙසේ දක්වති.
'ගිරිකණ්ඩ විහාරයට නොදුරු වත්තකාලක නම් පිටිසර ගමක් විය. එහි එක් නිවෙසක ඉතා සැදැහැති මවුපිය දෙපළක් වූහ. එක් පුර පසළොස්වක පොහෝ දිනක සඳ රැස් වැටී මුළු පෙදෙසම ආලෝකවත් වී තිබියදී විහාරස්ථානයේ ඝණ්ටාර මිහිරි නාදයෙන් බොදු හදවත් සැදැහැයෙන් පුබුදු කළේය. එම නිවෙසෙහි දෙමහල්ලෝ විහාරස්ථානයට යෑමට සූදානම් වී ගැබිනි මවක් වූ දියණිය ඇමැතූහ.


දුවේ,
රෑ පානේ ඇවිදීම ගැබිනි මවකට සුදුසු නැහැ.
අපි විහාරස්ථානයට ගොස් බණ අසා එන්නම් කියා දෙමහල්ලෝ විහාරස්ථානය බලා පිටත් වූහ. ගෙමිදුලට බට තරුණියට ගිරිකණ්ඩයෙහි කඳු මුදුනේ සඳ එළියෙන් බබළන චෛත්‍ය පෙනිණි. පහන් එළියෙන් ද දිදුලන සෑය වටා ප්‍රදක්ෂිණ කරන සිවු පිරිසද දෙනෙතට දිස්විනි. මෙවැනි පොහෝදාක චෛත්‍යයක් ළඟට පැමිණ මල් පහන් පුදා බණ අසන්නට ලැබේනම් එය භාග්‍යයකි යැයි සිතන ඇයට ප්‍රීතියක් ඇති වූවාය. එය කොපමණ බලවත්දයත් ඒ ප්‍රීතිවේගයෙන් ම අහසට නැඟුණු ඕ තොමෝ මවුපියන් එහි පැමිණීමට පෙරාතුවම සෑ මළුවට පැමිණියාය. පිරිස මැද බණ අසමින් සිටියාය. මවුපියෝ ඇය කොයි වෙලේ ආවේහිදැයි විචාලහ. මම අහසින් ආවේමියි කීවාය.
දුවේ,
අප අසා තිබෙන්නේ අහසින් යන්නෝ රහතන් වහන්සේ යැයි අප දැන සිටියෙමු.
ඉක්බිති ඕ තොමෝ සිද්ධිය පැවැසුවාය. ගැබිනියක අහසින් ගියේ එසේය.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »