ආදි මානවයන්ගේ නිවහන පාහියන්ගල

2015-09-09 10:09:00       732
feature-top

මෙවර අපගේ සංචාරය යෙදී තිබුණේ ලිහිණියාවටය. ලිහිණියාව යනු මතුගම සිට මීගහතැන්න දක්වා දිවෙන මාර්ගයේ පිහිටි සුන්දර ගම්මානයකි. අප නවාතැන් ගත් භාග්‍යා හෝටලය පිහිටා තිබුණේ තේ වතු, රබර් වතු, ආදියෙන් සුසැදි සුන්දර ගැමි පරිසරයකය.

ලිහිණියාව බලා යන ගමනේදී අපගේ පළමු නැරැඹුම් ස්ථානය බවට පත් වූයේ පාහියන්ගලය.
"මල්ලි කොට්ටාවෙන් හයිවේ එකට දාලා ගැලනිගමෙන් එළියට එන්න. එතැනින් හොරණට ඇවිල්ලා බුලත්සිංහල පාරේ මතුගමට එනකොට පාහියන්ගලට හැරෙන තැන හම්බ වෙනවා."

අපගේ මාධ්‍ය සගයකු වන චාමර අපට පාර කිව්වේ එලෙසය. කොට්ටාවේ සිට පැයකටත් අඩු කාලයකදී පාහියන්ගල වෙත යන්නට අපට හැකි විය.
සාමාන්‍යයෙන් කඳු නැඟීමට ස්වභාවයෙන් අකැමැති මා පාහියන්ගල ලෙන වෙත යන ගමන කෙරෙහි වැඩි අකැමැත්තක් නොදැක්වූයේ එය කිසිසේත්ම දුෂ්කර ගමනක් නොවන නිසාය. ඕනෑ නම් එය විනාඩි දහයක නැග්මක් වනු ඇත. ශ්‍රී පාද කන්දේ බාගයක් නැඟ ඇති අපට එය මහ දෙයක් නොවේ. මීට පෙර අප ශ්‍රී පාදයේ ක්‍රියාත්මක කළ කසළ එකතු කිරීමේ ව්‍යාපෘතියේදී ශ්‍රී පාදය නඟින මාර්ගයේ හරි අඩක පිහිටි කුණු සියල්ල අපි ඉවත් කළෙමු.

මීට වසර හතර පහකට පෙර පැමිණි අවස්ථාවට වඩා පාහියන්ගල දැන් නවීකරණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. කාපට් අතුරා පාරවල් ඉතා හොඳින් සකසා ඇත. කන්ද පාමුල සිට පාහියන්ගල ලෙන වෙත පිවිසෙන මාර්ගයද පඩි ඉදිකර මනාව සකසමින් තිබේ. එදා පාහියන් හිමි මෙහි නවාතැන් ගන්නට මේ ගුහාව වෙත පිවිසෙන්නට ඇත්තේ අතිශය දුෂ්කර ගමනකින් පසුව වුවත් අද පාහියන්ගල ලෙන වෙත පිවිසෙන්නකුට එවැනි දුෂ්කර අත්දැකීමක් ලබන්නට අවශ්‍ය නැත.
පාහියන්ගල ලෙනට එනම වැටී ඇත්තේ චීන ජාතික දේශ ගවේෂක පාහියන් හිමි ශ්‍රී පාදය වෙත යන ගමනේදී මේ ලෙනේ නවාතැන් ගත් බවට ඇති ජනප්‍රවාදය නිසාය. කෙසේ වුවත් එය සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිවක් නැත.

පාහියන් ලෙන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ ඉහළින්ය. තනි කළුගලක ස්වාභාවිකව සැකැසී ඇති මේ ගුහාව සැබැවින්ම සොබාදහමේ විස්මිත නිර්මාණයකි. ගුහාවේ විවරය (කට) අඩි 150ක පමණ උසකින් යුක්තය. එහි පළල අඩි 175ක් පමණ වේ. ගුහාව අඩි 280ක් පමණ ඇතුළට විහිදේ. දැනට ලංකාවෙන් සොයාගෙන ඇති විශාලම ස්වාභාවික ගල් ලෙන මෙය බව පැවැසේ. 1986-1987 දී හා 2008-2009 දී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මේ ලෙනෙහි ඉතිහාසය අවුරුදු 38,000ක් දක්වා අෑතට විහිදී යන බව හෙළි වී තිබේ.

දකුණු ආසියාවේ නූතන මිනිසා පිළිබඳ පැරැණිතම මානව සාධක හමුවූ ස්ථානයක් ලෙසද පාහියන්ගල ලෙන වැදගත්කමක් උසුලයි. රතු වර්ණය ආලේපිත ප්‍රාග් ඓතිහාසික මානව කපාල කොටස් පාහියන්ගල ලෙනෙන් හමුවී ඇත. ආදි මානවයාගේ විශ්වාස හා ඇදහිලි හෙළි කරන සාධක රැසක් පාහියන්ගල ලෙනේ සිදුකරන ලද කැණීම්වලින් මතුකර ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබේ. ප්‍රාග් ඓතිහාසික මානවයා නිෂ්පාදනය කර භාවිතයට ගත් ශිලා මෙවලම්, ආහාරයට ගත් සත්ත්ව හා ශාක ශේෂද කැණීම්වලින් සොයාගෙන තිබේ. ඒ අනුව පාහියන්ගල යනු අපගේ ආදිතම මුතුන් මිත්තන් වාසය කළ ස්ථානයක් ලෙස ස්ථීරවම ප්‍රකාශ කළ හැකිය.

පාහියන්ගල ලෙන තුළ සැතපෙන බුදු රුවක්ද නිර්මාණය කර තිබේ. නුවර යුගයේ ඇතැම් නිර්මාණ ලක්ෂණ ප්‍රතිමාවෙන් නිරූපණය වුවද නුවර යුගයේ ප්‍රතිමාවල දක්නට නොලැබෙන ශාන්ත බවක් මේ බුදු රුවෙහි දක්නට ඇත. පාහියන්ගල ලෙන නරඹා බුද්ධ ප්‍රතිමාවද වන්දනා කරගත් අපගේ ඊළඟ අරමුණ වූයේ අප නවාතැන් ගන්නා හෝටලය වෙත යෑමය. නිදහසේ නා කියා ගන්නට ඕනෑ තරම් දිය පාරවල් ලිහිණියාව පැත්තේ ඇති නිසා අපි පාහියන්ගල සමීපයෙන් ගලා බහින ‍ෙදාළ පාරේ සිසිල විඳ නොගෙන ලිහිණියාව බලා යන අපගේ ගමන ඇරැඹුවෙමු. අප එසේ කළා කියා ඔබත් එසේම කළ යුතු නැත. පාහියන්ගල ‍ෙදාළ පාරෙන් දාහය නිවා ගන්නට ඔබට කිසිදු තහනමක් නැත.

සඳුන් ජීවන්ත



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »