පරිසරය සුරකිමින් වන සිරිය විඳ ගනිමු

2015-09-21 11:21:00       720
feature-top
පරිසරය සුරකිමින් වන සිරිය විඳ ගනිමු

ගං දෑල පිස ගෙන හමන මද නල ගතට සිසිලක් ගෙන දෙයි. හෝරා කිහිපයක වෙහෙසකර බස් ගමනකින් අනතුරුව එළඹුණු පළමු විරාමයේදී අපි ග‍ඟේ වාඩියට ගොඩ බැස්සා. සොඳුරු නදී තෙරක සුදු මුදු වැල්ලෙහි ඉදිකළ පොල් අතු වාඩියක් සිතින් මවාගෙන බසයෙන් බිමට බට අප ඉදිරියේ දිස් වුණේ ශ්‍රී ලංකා නාවුක හමුදාවට අයත් යාත්‍රා කිහිපයක් නවත්තන ලද පුංචි තොටුපොළක්. පුත්තලම් දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ මන්නාරම් දිසාවට යාබදව පුත්තලම් කලපුව අසබඩ පිහිටි ග‍ඟේ වාඩිය නමින් හැඳින්වෙන්නේ කලා ඔය ගලාවිත් සිඳු තුරුළට පතිතවන මුවදොරයි. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළගණ මූලස්ථානය ග‍ඟේ වාඩියෙහි පිහිටා තිඛෙනවා. පසුගියදා උතුරු නැ‍‍ඟෙනහිර පළාත්වල සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගිය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු මාධ්‍ය කණ්ඩායම ග‍ඟේ වාඩිය හරහා එළුවන්කුලමටත් එහි සිට විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා වැටුණු පැරණි පුත්තලම් - මන්නාරම් මාර්ගය ඔස්සේ යාපනය දක්වාත් ගමන් කළා.

ඒ ගමන අරඹමින් හිරු උදාවටත් පෙරාතුව කොළඹින් බස් රථයකට ගොඩවූ අපේ කණ්ඩායමට උදාසන ආහාර වේල පිරිනැමුවේ ග‍‍ඟේ වාඩියේ නාවුක හමුදා කඳවුරෙන්. පුත්තලම් කලපු‍වත් කලා ඔයත් එකට එක්වන සුන්දර ජල තලාව අබියස මුදු වැල්ලේ ඉදිකරන ලද අපූරු වාඩියකදී නාවුක හමුදාවේ සොයුරන් අපට ඒ ප්‍රත පාතරාසය පිළිගැන්වූවා.


පසුගිය යුද සමයේදි පුත්තලම කලපුව හරහා රට තුළට ගොඩ වැදුණු මුහුදු කොටින් පළවා හරිමින් ත්‍රස්තවාදීන් ගෙන් රට බේරා ගන්නට දිවා රාත්‍රී වෙහෙසුණු නාවුක හමුදාව දැන් එහි හදිසි ආපදාවලදී රටට ඇවැසි මෙහෙයුම් සඳහා නාවුක හමුදා නිලධාරීන් පුහුණු කරවනවා. ගංවතුර, සුළි සුළං, කුණාටු, නාය යාම් මෙන් ම සුනාමි වැනි හදිසි අවස්ථාවල නාවුක හමුදා යාත්‍රාවලින් ගොස් ජනතාව විපත්වලින් මුදවා ගැනීමට, ජීවිත බේරා ගැනීමට, ආහාර පාන හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ඛෙදාදීමට වැනි කටයුතු සඳහා ජීවිතාරක්ෂක භටයන්, කිමිදුම් කරුවන් පුහුණු කොට යෙදවීමත් යාත්‍රා පහසුකම් ලබාදීමත් එමඟින් සිදු කරනවා.

කලා ඔයත් කලපුවත් මුහුන් වන තැන ඉතා රමය පරිසරයක පිහිටි මෙම ස්ථානය ආශ්‍රිතව ත්‍රාසජනක ජල ක්‍රීඩා සහ කිමිදුම් පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් සළසා පරිසරලෝලී සංචාරකයන් ආකර්ෂණය කරගන්නටත් අනාගත සැලසුමක් තිඛෙනවා. මේ වනවිට නිලධාරීන් ඇතුළු සේවකයන් 200 ක් මෙම කඳවුරෙහි සේවය කරන අතර කඳවුර භාරව කටයුතු කරන්නේ කොමදෝරු කෝසල විජේසූරියයි‍. ග‍ඟේ වාඩියේ නාවුක හමුදා කඳවුරේ දී ඇමැතිවරයා ඇතුළු අප කණ්ඩායම සුහදව පිළිගනිමින්, එතැන් පටන් අප සංචාරයට එක්වෙමින්, ස්වේච්ඡාවෙන් ම අපේ මාර්ගෝපදේශකයා බවට පත් වෙමින් අප දැනුවත් කළේ නාවුක හමුදාවේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතායි.

පාතරාසයෙන් අනතුරුව කඳවුර අසබඩ පිහිටි පුංචි තොටුපොළෙන් නාවුක හමුදාවේ යාත්‍රා දෙකකට ගොඩ වූ අප කණ්ඩායම කලපුව හරහා කලා ඔයේ මුවදොර දක්වා ගමන් ඇරඹුවා. විවිධ පක්ෂීන් ගෙන් හා සතුන් ගේ වාස භූමියක් වූ කඩොලාන පංතියකින් යුත් නොගැඹුරු කලපුව ජෛව විවිධත්වයෙන් අනූනයි. ඉස්සන්, කකුළුවන් හා කුඩා මත්ස්‍ය වර්ග ගණනාවක් එහි වෙසෙනවා. ස‍ීත සමයට විදෙස් රටවලින් උණුසුම සොයා එහි එන සංචාරක පක්ෂීන්ගෙන් අවට පරිසරය සොභාමත් වෙනවා. කලා ඔයෙන් ගලා හැලෙන සුනිල මිරිදිය දහරත් කලපුවේ අපැහැදිලි කිවුල් ජල දහරත් කිසිදු ගැටුමකින් තොරව වෙන් වෙන් ව ජල ස්ථර දෙකක් ලෙස එකිනෙක නොමුසුව පැවැතීම ග‍ඟේ වාඩියේ විශේෂත්වයයි.

අවට වෙසෙන ධීවර ජනතාවට පානයට සුදුසු මිරිදිය ලැඛෙන්නේ ග‍ඟේ වාඩියෙන් පමණයි. කලපුව පිස එන සුළං රැළි ගත සිත සුවපත් කරනවා. මධ්‍යහ්න හිරු රැස් අපේ හිස් මුදුන් සිපගන්නේ තරහින්.‍ ගමනාන්තය බෝ දුර හෙයින් කලපු චාරිකාව ඉක්මනින් නිමවමින් යළිත් තොටුපොළ වෙත පැමිණි අපි සංග්‍රහශීලී නාවුක හමුදා සොයුරන්ට සමුදී බස්රියට ගොඩ වුණා. කඳවුරු බිම හරහා වැටී ඇති කෙටි මගකින් පැරැණි එළුවන්කුලම හන්දියට ළඟා වුණු අප වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට අයත් දිය නෑමේ තොටුපොළ හා විනෝද උයනට පිවිසුණා.


එළුවන්කුලම හරහා ගලා බසින කලා ඔයේ නිසල දිය දහර පරිසරයට එක් කරන චමත්කාරය අපූරුයි. පළු, වීර, මාදං, මිල්ල, කුඹුක්, බුරුත, කළුවර වැනි වටිනා වනස්පතීන්ගෙන් සෙවණ දෙන ගං දෑල මනරම්. දුටුවන් නෙත් සිත් සනසන පරිසරයෙහි මදක් නැවත‍ී ගිමන් නිවා ගන්නට ඇත්නම් යැයි එහි පිවිසෙන කවරකුට වුවත් සිතෙනු නිසැකයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව ඒ මහඟු අවස්ථාව අපේ ජනතාවට උදාකර දීලා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වන ජීවී සම්පත් අමාත්‍යාංශයේ අවසරය ඇතිව හෝ නැතිව ඔවුන් මේ ගංදැලේ විවේක ගන්නටත් ග‍ඟේ දිය නා, වැලිතලාවේ උයා පිහාගෙන නිදැල්ලේ කා බී සතුටු වන්නටත් ජනතාවට අවසර දීලා‍. ප්‍රාදේශීය සභාව මගින් වන පෙදෙසට ඇතුල්වීමට මුදල් අයකර ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා.

රජයට අයත් වනයකට ඇතුල්වීමට එසේ ප්‍රවේශපත් නිකුත් කළ හැකි ද යන්න ගැටලුවක්. යතුරු පැදියකින් යන දෙදෙනකු සඳහා රුපියල් තිහක්, කුඩා වාහන සඳහා රුපියල් පනහක් හා ලොරි, ට්‍රක් රථ බස් රථ සඳහා රුපියල් 100 - 200 සිට ඉහළට වැනි මිලක් මේ ප්‍රවේශ පත්‍ර සඳහා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවෙන් අය කරනවා. මෙලෙස ප්‍රවේශපත්‍ර ලබා ගන්නා පිරිස් හිතූ හැටියට වනගත වෙලා දිය නා, උයා පිහාගෙන, කා, බී, ගී ගයා නටා ප්‍රීති වෙනවා. පරිසරයේ මිහිර විඳින්නට කවුද අකැමැති? එහෙත් මෙලෙස වනගත වන අපේ ජනතාව පරිසරයට ආදරයෙන් දයාවෙන් කටයුතු නොකර අපූරු ගං දෑල අපවිත්‍ර කරනවා. දින ගණන් වැල්ලේ වාඩිලාගෙන, ගිනි මැල ගසාගෙන, සතුන් මරා හෝ අමුවෙන් ගෙනා මස් මාළු ගින්නේ පළහා කමින් රහ මෙර බොමින් වනයේ නිහැඬියාව බිඳිමින් මහා හඬින් ගයමින් නටමින් ඇතැම් විට කළ කෝලාහල ද කරමින් පරිසරය දූෂණය කරනවා. කුඹුක් නඳුන් ඇහැළ වැනි වටිනා වනස්පතීන් පාමුල මෙන්ම ගස් ඛෙන තුළත් ගිනි මැල ගසා මස් මාංශ පළහනවා. උණුසුම හොයනවා. කලක් තිස්සේ මෙසේ ගිනිමැල ගසන විට ගස් මුල් පිලිස්සී ගස් මිය ගිය පසු ඒවා අනවසරයෙන් කපා ගන්නටත් ඔවුන්ටම අවස්ථාව උදා වෙනවා. සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් ප්‍රාදේශීය සභාව අමතර ආදායමක් උපයා ගත්තද එමගින් පරිසරයට සිදුවන හානිය පිළිබඳ කිසිවකු අවධානය යොමු කළ බවක් පේන්නේ නෑ. මුදල් අයකර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ නම් එහි යන සංචාරකයන්ට අවශ්‍ය වැසිකිළි කැසිකිළි පහසුකම් හෝ අවම වශයෙන් ඉවතලන කැලි කසල බහාලන බඳුන් හෝ ප්‍රාදේශීය සභාව මඟින් සපයා තැබිය යුතුයි. එහි යන පිරිස් රැගෙන යන අරක්කු බෝතල් බියර් කෑන් ප්ලාස්ටික් බඳුන් හා පොලිතින් කවර ගංදෑලේ වැලිතලාවේ අසිරිය වනසමින් තැනින් තැන ගොඩ ගසා තිඛෙනු එහි ගිය අප දුටුවා. නිකැලැල් වන අරණක පහස ලබන්නට මුදල් ගෙවා එහි යන අශිලා‍චාර මිනිසුන් ගේ නොමනා ක්‍රියා එහි පිවිසෙන විදේශීය සංචාරකයන්

 එළුවන්කුලමේ ගංතලාව

මෙන් ම පරිසර ලෝලී සැමගේ සිත් සසල කරනවා.

සතියේ දිනවල මෙම පරිසරයෙහි සුව විඳින්නට එන පිරිස අඩු වුවත් සති අන්තයේ හා නිවාඩු කාලවල මෙහි පැමිණෙන්නන් ගේ සංඛ්‍යාව දහසක් පමණ වන බව අවට ජනතාව පවසනවා. ප්‍රදේශයේ ඇතැම් පිරිස් උත්සව හා ප්‍රිය සාද පැවැත්වීමටත් මෙම වන අරණ යොදා ගන්නා බව එහිදී හමුවූ ගම්වාසීන් අප හා පැවසුවා. ලංකාවේ ප්‍රධානතම ජාතික වනෝද්‍යානයක් වන විල්පත්තු අභය භූමියේ උතුරු මායිම වන මෝදර ගං ආර ඔය ආශ්‍රිත ප්‍රේරක කලාපය (ඊමෙෙැර Zදබැ) ට අයත් වන මේ සොඳුරු වන පියස පරිසර දූෂක නරුම පිරිස්වලට විකිම ජාතික අපරාධයකැයි එහි ගොඩගසා තිබූ කසළ ගොඩවල් හා ගිනි ගොඩවල් දුටු අපට හැඟුණා. මිනිසුන් මුදල් ගෙවා වනයට ඇතුළු වන්නේ වනසිරි විඳ ගැනීමට පමණක් නොවේ. දිය නා, කා බී, නටා ගයා ප්‍රීති වීමටයි.

වනය තුළ ආහාර පාන නැති හෙයින් ඔවුහු අවශ්‍ය කළමනා සියල්ල එහි රැගෙන යනවා. ඒවා උයා පළහා කා බී නටා ප්‍රීති වී ආපසු එන්නේ රැගෙන ගිය සියලු අපද්‍රව්‍ය වනයේ ඉතිරි කරමින්. අපද්‍රව්‍ය දමන්නට කසළ බඳුනක් ඇත්නම් අවම වශයෙන් අපද්‍රව්‍ය ඒ තුළට බහා ලන්නට ඔවුන් පෙළැඹෙනු ඇති. මේ මූලික ගැටලුවට සරල පිළියමක් වශයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ මුදලින් කසළ බඳුන් 500 ක් ශ්‍රී ලංකා නාවුක හමුදාව මඟින් එහි තැන්පත් කරවීමට එහි ගිය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනතාවට පොරොන්දු වුණා. නාවුක හමුදාපතිතුමාගේ අවසරය මත එම කසල බඳුන් ඒ ප්‍රදේශයේ තැන්පත් කර පවිත්‍රතා කටයුතු නිසි පරිදි ඉටුවේ දැයි විමසා බැලීමට පියවර ගන්නා බව අප සමඟ එහි ගිය නාවික හමුදාවේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා පැවැසුවා.

මාර්ගය

ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැලකෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා වැටී ඇති පැරැණි මන්නාරම් පාර යාපනයට ළඟා වීමට ඇති කෙටිම මාර්ගය යි. පුත්තලමේ සිට එළුවන්කුලම හරහා කලාඔය ඔස්සේ උද්‍යානය මැදින් මන්නාරම දක්වා වැටී ඇති මේ මාර්ගය අතීතයේදී කරත්ත පාරක්. මන්නාරම, මරිච්චිකට්ටිය වැනි ප්‍රදේශවල සිට මස් සඳහා පා ගමනින් එළුවන්කුලම දක්වා එළුවන් සහ ගවයින් දක්කාගෙන යාමට එකල මෙම ගුරු පාර භාවිත කොට තිඛෙනවා. යුද සමයේදී විල්පත්තු ප්‍රදේශයෙහි ආරක්ෂාව සැලැසූ යුද හමුදාව එම පැරණි ගුරුපාර පිළිසකර කර අඩි 100 ක් පමණ පළල් වූ නව මාර්ගයක් කපා තිඛෙනවා. එළුවන්කුලමේ සිට මන්නාරමට කිලෝ මීටර් හැටක් පමණ වන මේ පාර මේ වනවිට උතුරු මාර්ග පුනරුත්ථාපන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය

ගං වැල්ලේ අප ද්‍රව්‍ය ගොඩ ගසා ඇති ආකාරය විමසා බලන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකානායක මහතා ඇතුළු පිරිස

එක්ව සංවර්ධනය කරනවා.

අක්කර තුන් ලක්ෂ හැටපන්දහසක වපසරියකින් යුතු විල්පත්තුව ජාතික වනෝද්‍යානය 1938 වසරේදී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිඛෙනවා. අනුරාධපුර, පුත්තලම හා මන්නාරම යන දිස්ත්‍රික්ක තුන තුළ පැතිර ඇති උද්‍යානයට උතුරෙන්. මල්වතු ඔය හා මෝදරගම් ආරුව ද දකුණෙන් කලා ඔය ද මායිම් වෙනවා. උද්‍යානයේ බටහිර කොටස කුඩා ගල් පර සහිත තැනිතලාවකින් යුතු රමය වෙරළ තීරයකින් යුක්ත වන අතර නැ‍ඟෙනහිරට මායිම් වන්නේ හුණුවිලගම විලච්චිය හා තන්තිරිමලේ ගම්මානයි.

වන ගහනය

විල්ලු හෙවත් කුඩා විල් රාශියකින් සමන්විත වන හෙයින් විල්පත්තු යන නම වැටුණු බවයි කියැවෙන්නේ. උයන තුළ විල්ලු හතළිහක් පමණ ඇති අතර ප්‍රධාන විල්ලු 27 ක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇතැම් විල්ලුවක කරදියත් තවෙකක මිරිදියත් තවත් කොටසක කිවුල් ජලයත් පැවැතීමයි. කොක්කාරිය සහ ලුණුවිල ප්‍රධාන කරදිය විල්ලු වන අතර දෙමටවිල කිවුල් දියෙන් ද සෙසු විල්ලු මිරිදියෙන් ද යුක්තයි. මෙහි ඇති කොක්කාරිය කරදිය විල්ලුව මුහුදු මට්ටමේ සිට අඩි 250 ක් ඉහළින් ද මුහුදේ සිට සැතැපුම් 10 ක් රට තුළට වන්නට ද පිහිටා ඇති අතර වසර පුරා ම දිය නොසිඳී පැවැතීමත් විශේෂයක්.

ආසියාවේ වන උයන් අතරින් වැඩිම දිවි ගහනයක් වෙසෙන්නේත් හොඳින් ම දිවියන් දැක බලා ගන්නට ලෝකයේ හොඳම තැනක් වන්නේත් විල්පත්තු වනෝද්‍යානය බව ප්‍රකට පරිසර විද්වතකු හා පරිසර ඡායාරූප ශිල්පියකු ද වන වෛද්‍ය ලලිත් ඒකනායක කියනවා. අලි ඇතුන් වගවලසුන් ගෝනුන් මුවන් කුළු හරකුන් ඌරන්, හාවුන් සිවලුන් ඉත්තෑවන් මුගටින් මීමින්නන් මෙන් ම මොනරුන් වළිකුකුලන් කොකුන් මෙන්ම සංචාරක පක්ෂී සමූහයාගෙන් ද කෘමි වර්ග හා කිඹුලන් ඇතුළු උරගයින් ගෙන් ද ගහන වනෝද්‍යානය පලු, වීර, බුරුත, කළුවර, හල්මිල්ල, තෙලඹු සහ වෑ වරණ වැනි දුලභ තුරුවැල් සම‍ූහයකින් ද පොහොසත්.

 ග‍ඟේ වාඩියේ නාවුක හමුදා කඳවුර

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන විල්පත්තු වන උයනෙහි පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත නටඹුන් රාශියක් අදත් ශේෂව පවතිනවා. විජය කුමාරයා ඉන්දියාවේ සිට පැමි‍ණ ලංකාවට ගොඩ බැස්ස තඹවන් වැල්ලක් සහිත වූයෙන් තම්බපන්නි යනුවෙන් හැඳින්වුණු රමය කුදිරමලේ වෙරළ තීරය පිහිටා තිඛෙන්නේ විල්පත්තු වන උයන තුළයි. එහි තවත් පසෙක පිහිටි පොම්පරිප්පුව ප්‍රදේශයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙරට විසූ ආදීතම මානවයින් ගේ ඇටසැකිලි සහිත සොහොන් බිම් හමුවූ බව කියවෙනවා.

ර්‍ණසත්තු බලන්න නම් පාන්දර නැත්නම් හැන්දෑවෙ එන්න එපායැ. මේ මද්දහනේ මොන සත්තුද? වන සැරිය හුරු පුරුදු මාධ්‍ය සගයකු වන සතුන් සොයා වෙහෙසෙන අප පැතුම් සුන් කරමින් පවසනවා. කිලෝ මීටර් හැටකට ආසන්න දුරක් අප විල්පත්තු වනය මැදින් එක පිම්මට ගමන් කළා. වනයට පිවිසුණු අඩවියේ මිනිසුන් විසින් සිදු කළ විනාශය යළි යළිත් මසිත පාරනවා. වනයෙන් පල නෙළා ගන්නා මිනිසුන්ම වනය විනාශ කරමින් අකෘතඥව කටයුතු කරන්නේ ඇයි ද යන්න අප හැම දෙනාටම එකවර හැඟුණු කරුණක්. මේ අයුරින් වනය වැනසුවොත් අනාගතයේ අපේ දූ දරුවන්ට දැක බලා ගන්නටවත් වනන්තරයක් ඉතිරි නොවනවාට සැක නෑ. අද වනය රැක ගැනීමත් විශාල සටනක් බවට පත්වෙලා‍. ලොව දරුණුතම යැයි කියා ගත් ත්‍රස්තවාදීන් පරාජය කළ අපේ හමුදාවලට වනය රැක ගැනීමේ සටනත් ජයගන්නට ඒ හැටි අමාරු වෙන එකක් නෑ. නිසි නායකත්වයක් යහපත් මඟපෙන්වීමක් ඇත්නම් ඒ සටනත් ඔවුන් ජයගන්නවා සිකුරුයි.

දහවල දාහය දැඩියි. තෙරක් නොදුටු ගුරු පාර කෙළවර සිහින් අතු ගංගාවක් අසබඩ මහ කුඹුක් සෙවණක අප රැගත් බස් රිය මොහොතකට නැවතුණා. මොල්ලිකුලමේ නාවුක හමුදා කඳවුරේ සංග්‍රහශීලී සහෝදරවරුන් යළිත් අපේ කුස ගින්නට පිහිට වුණා. මුරුක්කන් හන්දියෙන් මන්නාරම් පාරේ කිලෝමීටර් 20 ක් පමණ ඉදිරියට ගොස් දකුණට හැරී මඩු හන්දියට වැටුණු අපේ බස් රිය වන මැදින් වැටුණු මහ මග ඔස්සේ තවත් කිලෝ මීටර් දහයක් ඉදිරියට ඇදී ගොස් මඩු පල්ලි භූමියට ළඟා වුණා‍. වෙහෙ‍සකර දිගු ගමනකින් අනතුරුව එළැඹුණු ඊළඟ විරාමයේදී ශුද්ධ වූ මඩු දෙවොළ පිස හමා ආ පවන් රළකින් ගත සිත නිවී සැනැහී යන සෙයක් දැනුණා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »