මීටර් 300 ක්‌ පොළොව යට
ලක්‍ෂපාන උමගය දිගේ වාහනයක නැගී ගියෙමු

2015-10-05 01:46:00       713
feature-top
ලංකාවේ පැරණිතම ජල විදුලි බල සංකීර්ණයට අයත් නව ලක්‍ෂපාන විදුලි බලාගාරයට සම්බන්ධ උමං මාර්ගයේ වසර 40 කට පසුව කෙරෙන ප්‍රතිසංස්‌කරණය දැකබලා ගන්නට ගිය ගමන අප නිමා කරන ලද්දේ අදියර දෙකකිනි. නෝටර්න් - ශ්‍රී පාද (නල්ලතන්නිය) මාර්ගයේ හමුවන නව ලක්‍ෂපාන (කැනියන්) උමං පිටවුමෙන් ඇතුළුව එම උමග දිගේ අඩි දහසක්‌ පමණ පා ගමනින් ගිය ගමන අපට සැබෑම වූ අත්දැකීමක්‌ බවට පත්විය. ජල කාන්දුවක්‌ වාර්තා වූ මෙම උමං පිටවුමේ පළමු මීටර් 54 ක කලාපයේ සිදුකෙරෙන ප්‍රතිසංස්‌කරණය පිළිබඳව පසුගිය සතියේ අපි ඔබට කරුණු කීවෙමු. මෙම කොන්ක්‍රීට්‌ ආස්‌තරණ කටයුතු නිරීක්‍ෂණයෙන් අනතුරුව අප ආපසු උමං පිටවුමෙන් එළියට ආවේ ප්‍රධාන ඉංජිනේරු හේරත් සහ ව්‍යාපෘති සිවිල් ඉංජිනේරු ඉරෝෂ් ප්‍රනාන්දු මහත්වරුන් අනුගමනය කරමිනි. මී ළඟට අප තීන්දුකර තිබුණේ නව ලක්‍ෂපාන උමග අභ්‍යන්තරය තෙක්‌ වාහනයකින් ගමන් කිරීමටය. ඒ සඳහා ප්‍රධාන ඉංජිනේරු හේරත් මහතා අපට සමුදුන් අතර, ඉංජිනේරු ඉරෝෂ් මහතා තම කැබ් රථයෙන් අපවත් රැගෙන ගියේ හයේ කණුවේ පිහිටි පැති උමග පිවිසුම වෙතය.

කැනියන් ජලාශයෙන් පැමිණෙන ප්‍රධාන උමගය අඩි 18600 කට පසුව නළ පද්ධතිය හා සම්බන්ධ වන්නේ කුඩා විවර දෙකක්‌ බවට පත්වෙමිනි. එනිසා එම ද්විත්ව නළ සන්ධිය අසලින් මිනිසෙකුට රිංගා යා හැකි නමුත් මේ වාහනවලට යා නොහැකිය. උමග තුළ සිදුවන ප්‍රතිසංස්‌කරණ ඇතුළු වෙනත් අවශ්‍යතාවන් සඳහා වාහන සහ අනෙකුත් බර උපකරණ රැගෙන යනු ලබන්නේ පැති උමග තුළිනි. එවන් උමග දෙකක්‌ නව ලක්‍ෂපාන උමග හා සම්බන්ධව ඇත.

පැති උමග අංක එක පහේ කණුව ප්‍රදේශයේ පිහිටා ඇති අතර, පැති උමග අංක දෙක ඇත්තේ දෙමටන්හන්දිය නම් ස්‌ථානයේය. මෙවර උමග ප්‍රතිසංස්‌කරණයේදී සේවා පහසුකම් සලසාගෙන ඇත්තේ මෙම පැති උමග අංක එකෙනි. අනෙක තවමත් වසා දමා ඇත. ප්‍රධාන උමගය දිගේ ජලය ගලායන විට මෙම පැති උමග දෙකම සීල්කර වසා දැමීම සිදු කෙරේ.

ලක්‍ෂපාන උමග නිරීක්‍ෂණය සඳහා ඉරෝෂ් මහතා සමඟ කැබ්රියෙන් අප ඇතුළු වූයේද උමග අංක එකෙනි. වන වදුලකින් සමන්විත අඳුරුබර ස්‌ථානයකින් ගුහාවක්‌ සේ දිස්‌වුණු උමං කටෙන් ඉරෝෂ් මහතා කැබ්රථය පදවාගෙන මීටර් 100 ක්‌ පමණ ගියවිට ජලය කාන්දු නොවන සේ වසා දැමිය හැකි පැති දොරටුව මුණ ගැසෙන අතර සිලිණ්‌ඩරාකාර එම ගුහා කටෙන් ඇතුල් වී අප ප්‍රධාන උමගයට සේන්දු වූයෙමු. මෙම ස්‌ථානයේ සිට ඉතිරි ගමන් මඟ තනිකරම ඝණ අන්ධකාරයකින් යුක්‌ත වූයේ විදුලි බල පහසුකම් නොතිබූ නිසාය. ගුහා බිම මඩ සහිත ජල වළවල් වලින් සමන්විත වූ අතර ගල් සහිත බිත්තිවල තැනින් තැන ජල උල්පත් රූරා වැටෙමින් පැවතිණ. මට සිලුටු නොවූ, ගොරහැඬි ගුහා විවරය තුළින් අපි රථය පදවාගෙන අඩි 18600 ක්‌ වූ නව ලක්‍ෂපාන (කැනියන්) උමගයේ විශ්මිත බව අත්විඳි අතර ඒ වනවිටත අප සිටියේ පොළොව මතුපිට අවම තරමින් මීටර් 300 ක්‌ වත් පොළෝගැබ තුළ බව පැවසුවේ ඉංජිනේරු ඉරෝෂ් මහතාය. මෙම උමග දිගේ අපි පැති උමග අංක දෙක සම්බන්ධවන ස්‌ථානයද නිරීක්‍ෂණයට බඳුන් කළෙමු. ඒ අතරතුර ඉරෝෂ් මහතාගේ කතා බහට සවන්දීමටද අප අමතක කළේ නැත. ඔහු හා කතා කළ අදහස්‌වලදී අප බොහෝවිට මේ දේශීය ඉංජිනේරු තාක්‍ෂණයේ විශ්මිත බව පුන පුනා අගය කරන්නටද අමතක නොකළෙමු.

ලවසර 40 කට පසුව විවෘත කළ උමග තුළට ඇතුල්වෙන එක අවදානම් ගමනක්‌ වුණා. ඒ සඳහා අපි මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතන මෙන්ම කෘත්‍රිම ස්‌වසන උපකරණ යනාදියත් භාවිතයට ගනු ලැබුවා. මේ සඳහා විශේෂඥ දැනුම ඇති කණ්‌ඩායමක්‌ සහභාගි වුණා.ල යෑයි හෙතෙම කීය.

වසර 40 කට පෙර මෙම උමග නිර්මාණයේදී දේශීය ඉදිකිරීම් සමාගමක්‌ වන සී. ඩී. ආයතනය සම්බන්ධ වූ ආකාරයෙන්ම වසර 40 කට පසු මෙහි සිදුකරන ප්‍රතිසංස්‌කරණයේදීද දේශීය ඉංජිනේරු දැනුමෙන් පමණක්‌ මෙම කටයුතු සිදුකරන බව ඉරෝෂ් මහතා පැවැසීය.

මේ අනුව අදාළ ප්‍රතිසංස්‌කරණය සඳහා වේලි ආරක්‍ෂණ සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (වාරිමාර්ග අමාත්‍යාංශය - ෘීඋඍඡඡ) සහ එහි ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සුදර්මන් ඇලකන්ද, ලංකා විදුලිබල මණ්‌ඩලයේ ව්‍යාපෘති කළමනාකාරි,, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වේලි ආරක්‍ෂණ පාරිසරික හා සිවිල් ව්‍යුහ නඩත්තු), ව්‍යාපෘති භාර ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු ලක්‍ෂපාන සංකීර්ණය - ඉරෝෂ් ප්‍රනාන්දු, කොන්ත්‍රාත්කරු රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්‌ථාව (ීෘ ) ක‍ක‍) යන ආයතන හා අංශ සෘජුවම නව ලක්‍ෂපාන උමගය ප්‍රතිසංස්‌කරණය සඳහා සම්බන්ධව කටයුතු කරන බලයලත් ආයතන වේ. ප්‍රධාන ඉංජිනේරු එච්. එම්. ඒ. හේරත් මහතා ලක්‍ෂපාන විදුලි බලාගාරය වෙනුවෙන් කටයුතු කරයි.

එසේම, මිලියන 145 ක්‌ වන මෙහි ප්‍රතිසංස්‌කරණ පිරිවැය සඳහා ලංකා විදුලි බල මණ්‌ඩලයෙන් රුපියල් මිලියන 45 ක්‌ යොදවා ඇති අතර, ලෝක බැංකු ආධාර යටතේ වේලි ආරක්‍ෂණ ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 100 ක්‌ ලැබී ඇත. ප්‍රධාන ඉංජිනේරු හේරත් මහතා කියන පරිදි කාලය ප්‍රමාද වී හෝ සිදුකෙරෙන මෙම ප්‍රතිසංස්‌කරණයෙන් ප්‍රධාන ඉලක්‌ක තුනක්‌ සපුරා ගත හැකි වී ඇත. එනම්, නාය යැමේ අනතුරක්‌ වළක්‌වා ගැනීම, වතුර කාන්දුව මගින් මෙතෙක්‌ විදුලි බල මණ්‌ඩලයට සිදුවූ පාඩුව මකා ගැනීම හා සුවිසල් ආපදාවක්‌ වීමට තිබූ ඉඩකඩ අහුරාලීමය.

වසර 100 කට මෙවන් උමගක්‌ සඳහා වගකීමක්‌ ලබා දුන්නද වසර 10 කට වරක්‌වත් මෙවන් උමගක්‌ නැවත පරීක්‍ෂා කළ යුතු බව මෙම ප්‍රතිසංස්‌කරණයේදී හඳුනාගත් බවක්‌ හෙතෙම කීවේය.

ලවසර 20 කට වරක්‌ නැවත තත්ත්වය සොයාබැලුවත් එක්‌ ඉංජිනේරුවෙකුට බොහෝ විට උදාවන්නේ එක්‌ අවස්‌ථාවයි. වසර 10 කට වරක්‌ සිදු කළහොත් දෙපාරක්‌වත් අවස්‌ථා ලැඛෙනවා. මේ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා හැක්‌කේ එවිටයි. අපේ රට වේලි, උමග, විදුලි බලාගාරවලින් පොහොසත් රටක්‌. එනිසා මේ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා යුතු අතර, රටේ විශ්වවිද්‍යාල පද්ධතියට, කලාපයේ අනෙක්‌ රටවලට ලබාදිය හැකියි. එනිසා දැනුම අලුත් වෙන්න ප්‍රතිසංස්‌කරණ වාර ගණන වැඩි විය යුතුයි. ආපදා අවම කර ගන්නත් ඒක උදව්වක්‌ල ඉංජිනේරු දෙපළ අප හා පැවසුවේ නව ලක්‍ෂපාන උමගය දිගේ අප අඩි 18,600 ක්‌ තරම් සංචාරය කිරීමෙන් අනතුරුව පැවැති සම්මුඛ සාකච්ඡාවේදීය.

අනතුරුව නව ලක්‍ෂපාන හා පැරණි ලක්‍ෂපාන විදුලි බලාගාර සංකීර්ණයද ඒ සඳහා ජලය ගෙනඑන නළ පද්ධතියද දැකබලා ගන්නට ඔවුහු අපට අවස්‌ථාව උදාකර දුන්නෝය. මේ අත්දැකීම් බහුල චාරිකාව නිමාවූයේ ඉන් අනතුරුවය.

(විශේෂ ස්‌තූතිය විදුලි බල මණ්‌ඩලයේ සභාපති ඩබ්ලිව්. ඩී. ගනේගල හා විදුලි බල මණ්‌ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ජනන) එම්. සී. වික්‍රමසේකර යන මහත්වරුන්ට).

ජගත් කණහැරආරච්චි



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »