කඳවුරු බැඳගෙන මී මුරේ වනසන කවුද මේ පිසාචයෝ

2015-10-23 09:18:00       716
feature-top
එක් තැනක ගිනි පුපුරු නිවී ගිය ගිනිමැලයකි. ඊට යාබද පොල් අතු කුටියේ හිස් බීර ටින්ය. හිස් අරක්කු බෝතල්ය. තවත් තැනෙක කූඩාරම් ගසන පාදම්ය. පදමට මස් පළහා ගත හැකි උදුනක් තවත් පසෙකය...

දුම්බර මිටියාවතේ සිහිල් දිය කඳුරක පහස විඳිමින් අපූරු රැයක් ගත කිරීමට කදිම තෝතැන්න මෙය යැයි කෙනකුට තර්ක නොකර සිතන්නට හැකිය. එහෙත් සිතන්න... තව කෙනකුගේ දුක් අඳෝනා විලාප තැබීම් මත උදුරා ගත් බිමෙක සැනසිල්ලේ රැයක් ගතකළ හැකිද?

එදා මීමුරේ වචනාර්ථයෙන්ම ස්වයංපෝෂිත ගම්මානයකි. ලුණු තුනපහේ ඇරෙන්නට පිටතින් මේ ගම්මානයට කිසිවක් අවශ්‍ය නොවූ තරම්ය. බත බුලතේ පටන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය අඩුම කුඩුම සියල්ලක්ම පාහේ තම දෑතේ වීරියෙන් සරිකොට ගැනීමට මීමුරේ වැසියෝ පුරුදුව සිටියහ. සුන්දර ලකේගල පාමුල දුම්බර වනය අසබඩින් මීමුරේ ඔය ගලා ගියේ කෙත්වතු යායන්ට ජීව රුධිරය සපයාලමිනි. ඔයට මැදිවූ දැවැන්ත කුඹුක්, තිඹිරි ගස් යායෙන් වටවුණු අපූරු ඕවිට මීමුරේ ගම්මානයට කලඑළියක් එක් කෙළේය. වසර ගණනාවක සිට මීමුරේ වැසියන්ට සෙවණ සිසිලස සලසාලූ මීමුරේ වන වදුල ඉහත්තාවෙන් කොළඹින් ඉගිළ ආ මූසල උලලේනකු පියඹා යන්නට විය.

එතැන් පටන් මූසල වූ නිමේෂයන් මීමුරේ වන වදුල වෙළාලන්නට විය. දියදහරා දෙකකට මැදිවුණු මේ සිහිල් බිම්කඩ උල් කටු කම්බි ගසා වෙන් කොට කඳවුරු බිමක් තැනිණි. අනුමැතිය දෙන්නට කෙනෙක් සිටියේද නැත. අනුමැතිය ගන්නට කිසිවකු උත්සාහ කළේද නැත. අවසන විසල් තුරු මුදුන් පසට යටකරමින් කඳවුරු බිමක් එළිපෙහෙළි විය. දහඩිය හෙළමින් වැඩකරන පාපතරයන්ගේ කුස පුරවන්නට බත බුලත නොඅඩුව සැපයිණි. එයට නොදෙවැනිව කිතුල් රා, දඩමස්, ලූණු, තුනපහ සමඟ ගින්නේ මේ නොඉඳුල් භූමිය තුළ පළහන සුවඳින් රූස්ස වෘක්ෂයන්ට අරක්ගත් වන දේවතාවෝ පලා ගියහ. තවදුරටත් කිලි පිරුණු මේ නොඉඳුල් වනය රකින්නට කිසිවකුත් ඉතිරි වූයේ නැත.

කිතුල් රා, කිතුල් හකුරු, දඩමස් සපයන්නට ගම් වැසියෝ කිහිපදෙනකු පෙළ ගැසී සිටියහ. ක්‍රමයෙන් එළි පෙහෙළි වන බිම්කඩේ සරල තාක්ෂණික මෙවලම් උපකරණයන්ට මුවා වී කඳවුරු බිම් ඉදිවන්නට විය. මීමුරේ වන කඳුරට ආදරය කරන බොහෝ දෙනාගේ හඬ නැඟෙන්නට වූයේ නොඉඳුල් වන කඳුර ඉඳුල් කරමින් තළා පෙළා දමන්නට උත්සාහ දරන පාපතරයන්ට එරෙහිවය.

අවසානයේ පාපතරයෝ පැදුරු කඩමලු සියල්ල අකුළාගෙන නික්ම ගියහ. මීමුරේට ආදරය කරන සියල්ලන්ම සැනසුම් සුසුම් හෙළන්නට විය. එහෙත් එම සැනසුම් සුසුම් මාසයකට පසු උඩු හුළඟට හසුව ගසාගෙන ගියේය. නැවතත් ඔවුහු පැමිණියහ. එහෙත් අද එදාට වඩා බලවත්ය. ඔවුහු රක්ෂා කරන්නට අදෘශ්‍යමාන හස්තයන් පෙළ ගැසී සිටියහ. මෙතෙක් කලක් රහසේ කිතුල් රා, දඩමස් සැපයූ පුද්ගලයෝ ඒවා ප්‍රසිද්ධියේම සපයන්නට වූහ. ගංජා සහ වෙනත් මත් වර්ගද එකවරම කඳවුරු බිම තුළ කරණම් ගසන්නට වූ බව ප්‍රදේශවාසීන්ගේ චෝදනාවය. සංචාරක ව්‍යාපාරයට මුවා වී මී මුරේ වනසන්නට ආ මේ කඳවුරු බිම පිළිබඳ පසුගියදා එක්තරා රූපවාහිනි නාළිකාවක් පාරම් බෑවේය.

කැලෑව වනසන්නට .පබ්ලිසිටි. දී රටවත් මිනිසුන්වත් .වෙනස්. කරන්නට බැරි බව ඔවුන් දත යුතුය. සල්ලිවලින් කුලියට ගත් ආරක්ෂකයන් පිරිවරා මීමුරේ රසවිඳින්නට බැරිය. ඈත අතීතයක පටන් මීමුරේ ගැමි හුළඟේ සුසුම්ලන මනුෂ්‍යයන්ගේද තිරිසන් සතුන්ගේද මළකඳ මතින් මී මුරේට ලොබ බැඳීමෙන් කවර පලක්ද. සුන්දර ලකේගල පාමුල දුම්බර මිටියාවතේ මීමුරේ ගම්මානයට ලන්සු තබමින් සූදු කෙළින බලවතා කවරෙක්ද යන්න දන්නෝ දනිති. නොදන්නෝ දැන ගැන්මට කැමැති වෙති. පරිසරයට ආදරය කරන්නවුන්ගේ දැන ගැනීම උදෙසා හොර ගල් අහුලන්නන්ගේ පැටිකිරිය හෙළි කිරීමට සූදානම්ය. ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග දෙස අප ඉන්නේ විමසිලිමත් දෑසින්ය.

සවනි ශේශාධි
ඡායාරූප - දුම්බර මිතුරෝ



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »