සාගර පතුලේ අසිරිය විඳින්න පාසිකුඩාවට වරක් එන්න

2015-10-29 11:51:00       736
feature-top
සාගර පතුලේ අසිරිය විඳින්න පාසිකුඩාවට වරක් එන්න

හැමදාම ගොඩබිමේ සංචාරය කරන ඔබට මූදු පතුලේ අසිරිමත් ලෝකය දැකබලාගන්න අවස්ථාවක් ලැබුණොත්? ඒත් ගොඩබිම ඇවිදිනවා වගේ නොවෙයි. පීනන්න බැරි නම් කොහොමද මුහුදු පතුලේ අසිරිය දැක බලාගන්නේ? එහෙම තැවි තැවී හිටපු කාලේ ඉවරයි. ආසාවත් උනන්දුවත් මුදලුත් තියෙනව නම් දැන් ඔබටත් ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්.

පාසිකුඩා මුහුදු තීරය මුහුදු ක්‍රීඩා සඳහා සුදුසු වන ලෝකයේ හොඳම මුහුදු තීර කීපයෙන් එකක්. ඒ බව දන්නා විදේශිකයන් බොහෝ දෙනෙක් දැන් පාසිකුඩාවට එන්න පටන් අරන්. අපේ රටේ සංචාරකයන් ඒ බව අහලා තිබුණත් පසුගිය කාලේ පැවැති යුදමය වාතාවරණය නිසා ඒ පැත්තේ යන්න තියා හිතන්නවත් බැරිවයි හිටියේ. යුද්ධයේ නිමාවත් සාමයේ උදාවත් සම`ගම උතුරු නැගෙනහිර සංචාරයේ යෙදෙන බොහෝ දෙනා දැන් පාසිකුඩාවට එනවා.

 

මූදේ නාන්න, පීනන්න, කිමිදෙන්න, සුළං ඔරු පදින්න, රළ මත ලිස්සා යන්න වගේ ම මූද මතුපිට පාවෙමින් සාගර පත්ලේ අසිරිය විඳගන්නත් කියාපු මූදු තීරය පාසිකුඩාව. අද පාසිකුඩා වෙරළ තීරයේ ශීඝ්‍රයෙන් සංචාරක හෝටල් ඉදි වෙනවා. හෝටල්වලට අමතරව සංචාරක නිවාස, ගෘහාශ්‍රිත සංචාරක සේවා වැනි පහසුකම් රාශියක් සැළැසෙමින් පවතිනවා.

 

මුහුදේ නාන්න පීනන්න විතරක් නොවෙයි ගැඹුරු මුහුදේ කිමිදෙන්න, බෝට්ටු පදින්න රුවල් ඔරු පදින්න, දිය මතුපිට පාවෙමින් සාගර පත්ල නරඹන්නට වගේ ම අලුත් ම ජල ක්‍රීඩා රාශියක් හඳුන්වා දෙන්නටත් සූදානම් වූ පිරිසක් එහි සිටිනවා. ඒ ලංකා ස්පෝර්ට්ස්ට්‍රයිටන් සමාගම. තිලක් වීරසිංහ මහතා සභාපතිත්වය දරන ලංකා ස්පෝර්ට්ස්ට්‍රයිටන් සමාගම දෙස් විදෙස් සංචාරකයින්ට මුහුදු ක්‍රීඩා සඳහා පහසුකම් සලසන, විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වා අවශ්‍ය පහසුකම් සලස්වන ජල ක්‍රීඩා සහ කිමිදුම් පාසලක් පවත්වාගෙන යනු ලබන ආයතනයක්.

 

පසුගියදා පාසිකුඩා සංචාරක කලාපයේ සංචාරයක නියැළුණු අපිට එහිදී ස්පෝට්ස්ට්‍රයිටන් කිමිදුම් පාසලේ ජල ක්‍රීඩා සහ කිමිඳුම් උපදේශක සුජිත් සංජීව මහතා මුණ ගැහුණා. ඛෙන්තොට මරීනා සහ පාසිකුඩා මරීනා හෝටල ආශ්‍රිතව ඔවුන් සිය කිමිඳුම් පුහුණු සේවා සහ ජල ක්‍රීඩා පහසුකම් සංචාරකයන්ට සපයනවා.

 

මුහුදු ක්‍රීඩා සඳහා සන්නද්ධ වෙමින්

ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇමෙතිස්ට් හෝටලයේ නිරීක්ෂණ චාරිකාවේ යෙදෙමින්.

ඇමෙතිස්ට් හෝටලයේ සුන්දර දසුනක්

 

පාසිකුඩා මුහුදු තීරය දිය නාන්නට පීනන්නට, කිමිදෙන්නට වගේ ම කොරල් පාර සහ මසුන් නරඹන්නටත් කියාපු තැනක්. විදේශික සංචාරකයන් ඒ බව දන්නවා. ඔවුන් ගෙන් වැඩි දෙනෙක් පීනන්නට වගේ මගකිමිදෙන්නටත් දන්නවා. ඒත් අපේ රටේ සංචාරකයන් ගෙන් වැඩි දෙනෙකුට ඒ හැකියාව නෑ. සාගරයේ සුන්දරත්වය රැඳිලා තියෙන්නේ මතුපිටින් පේන රළ මත නොවෙයි. නිසසල ගැඹුරු සාගර පතුලේ බව දන්නේ කීයෙන් කී දෙනා ද? දැනගත්තත් ඒ අයට එහි අසිරි සිරිය විඳ ගන්නට අවස්ථාව ලැඛෙන්නේ නෑ.

 

සාගර පතුලේ කිමිදීමට වඩා සාගර දිය කඳ මත සැතැපී දුර දක්නයකින් සාගර පතුල නිරීක්ෂණය කරන්නට ලැබුණොත් ඔහුට හෝ ඇයට කවදාවත් ඒ අසිරිමත් දර්ශනය අමතක වන්නේ නෑ. පොළොව මතුපිට අපි දකින ලෝකයට වඩා සිඳු කුස ලෝකය කොතරම් විසිතුරු දැයි ඔබ මවිත වෙනවා නිසැකයි. ඒ අවස්ථාව කැමැති කෙනෙකුට ලබා දෙන්නට ස්පෝට්ස්ට්‍රයිටන් සමාගමේ සුජිත් ඇතුළු ජීවිතාරක්ෂක කණ්ඩායමක් සූදානම්ව සිටිනවා.

 

අපේ කට්ටියත් ඒ නැවුම් අත්දැකීම් විඳගන්න නො ඉවසිලිමත් වුණා. පුවත්පත්වලින් රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍යවලින් පැමිණි මාධ්‍යවේදීන් කණ්ඩායමෙන් නඩයේ අභීතයන් කිහිප දෙනෙකකු ජීවිතාරක්ෂක කබා, දුරදක්නා මුහුණු ආවරණ, හුස්ම ගන්නා උපකරණ, කැමරා වීඩියෝ යන්ත්‍ර විතරක් නොවෙයි පටිගත කිරීමේ යන්ත්‍රත් අමෝරාගෙන වෙරළ කොණක නවතා තිබූ යාන්ත්‍රික බෝට්ටුවට පැන ගත්තේ සාගර පත්ලෙහි සැ`ගැවුණු සමස්ත චමත්කාරයම එක පැහැර විඳගන්නට තරම් වූ මහා තණ්හාවකින්.

සුජිත් ගේ සහායක කිමිදුම් උපදේශකයන් දෙදෙනා සමීර වසන්ත සහ ගයාන් සම්පත් බෝට්ටුව දියත් කර ගත්තා. ඈත දියඹේ කොරල් පර බලා දියඹ දෙබෑකරගෙන යාත්‍රාව වේගයෙන් ඇදී යනවා. දෙපස රැඳවූ දිග ලෑලි බංකුවට බර දීලා බෝට්ටු බඳට සවිකළ යකඩ බටය තදින් අල්ලා ගත් මගේ සිත බෝට්ටුව උඩ පහත යන හැම මොහොතකම අලුතින් තිගැස්සෙනවා.

උදේ වරුවෙ නැංගා නම් බෝට්ටුවෙ ඉඳලාම මූදු පතුල හොඳට බලන්න තිබුණා. ඉර අවරට යන්න හෝරා දෙක තුනකට කලින් යාත්‍රාවට ගොඩවූ අපට ගැඹුරු දියඹේ පත්ල පියවි ඇසින් ඒ තරම් හොඳට දැක බලා ගන්න අමාරුයි.එක පාරටම යාත්‍රාව මූද මැද නැවතිලා. ගොඩ බිමේ දුවන වේගෙන් ම ගයාන් පැන පැන ගිහින් යාත්‍රාවේ ඉදිරිපස තට්ටු පියනක් ඇරියා.

 

ඇතුළේ තැන්පත් කරල තිබුණු මහ තඩි කඹයකුත් ඊටම සවි කළ දැවැන්ත අඬු සහිත බූවල්ලෙකු වැනි යකඩ කොකු නැංගුරමකුත් ඉහළට ඇදගත්තා. සම්පූර්ණ කිමිදුම් කට්ටලයකින් සැරසුණු සුජිත් පියාමැස්සෙක් වගේ මූදට පැනලා සාගර පතුලේ නොපෙනී ගියා. හිටි ගමන් බෝට්ටු කඳ අසලින් මතු වූ සුජිත් හා ඔන්න දෙයියනේ කියලා පළමු වැනියා මූදට පනින්න` කියා සිටියා.

 

නොතිත් කුතුහලය විසින් අපේ කට්ටියේ අයගේ මරණ බයත් ඈතින් ඈතට තල්ලු කර දාලා. පළමුවැනියා වෙන්න හැමෝම දඟලනවා. අපේ කැමරා ශිල්පී දුෂ්මන්ත හොඳට පීනන්න පුළුවන්.

ර්‍ණ කොයිතරම් හෙඳට පීනුවත් තනියම මූදට පනින්න අපි ඉඩ දෙන්නේ නෑ. මුහුණු ආවරණය, ඔක්ෂිජන් නාළය, ජීවිතාරක්ෂක කබාය හරියට ඇඳගන්න දුෂ්මන්තට උපදෙස් දුන්නු සුජිත් ආයෙමත් මුහුදට පැන්නා.

බෝට්ටුවට සවි කළ ඉනිමග දිගේ සීරුවට පා තැබූ දුෂ්මන්ත එක වරට මහ සයුරේ දියඹ මත පාවෙන්නට පටන් ගත්තා. වරින් වර දියෙන් මතු වෙමින් ඔක්සිජන් නළයෙන් අලුත් හුස්මක් අරන් දුෂ්මන්ත ආයෙමත් ඈත දියඹේ නොපෙනී යනවා. අපූරු සිතුවමක රස තැන් දක්වන්නාක් මෙන් සුජිත් ඔහු අසලම ගැවසෙමින් දුෂ්මන්ත චමත්කාරජනක ලොවකට කැඳවාගෙන යනවා.

ර්‍ණඒයි ඒයි දැන් ඇති. අපිටත් බලන්න ඕනේ දැන් ගොඩට එන්න බෝට්ටුවේ සගයන් කෑගහන්නේ නොඉවසිල්ලෙන්. මූදට බහින හැමෝම තමන්ට නියමිත කාල සීමාවට වැඩි කාලයක් අරන්. මුහුදු පතුලේ අසිරිය නරඹන ඔවුන් එහි චමත්කාරයෙන් වස`ගයට පත්වෙලා. කාටවත් ගොඩට එන්නට හිත දෙන්නේ නැති පාටයි. මහ මුහුදේ මහා ජල කඳ මත සිහින් රිදී ඉරක් ඇඳිලා. ඒ රිදී ඉර ක්‍රමයෙන් ලොකු වෙලා තැනින් තැන උස් පහත් වෙනවා. හිටි ගමන් පුංචි නියොන් එළියක් වගේ දියෙන් මතු වී ආයෙමත් දියඹට වැටෙන ඒ සොඳුරු දසුන මනරම්. ඒ හාල් මැස්සො අයිනක්.

සුජිත්, සමීර සහ සම්පත් චාරිකාවට සූදානමින්

අර හොඳටම දිළිසෙන්නේ සාලයෝ වගේ පුංචි මාළු. රිදී ඉරක් වගේ පෙනුණාට ඔතන මාළු ලක්ෂ ගාණක් ඉන්නවා. විස්මයෙන් ඒ දෙස දෙනෙත් දල්වා සිටින අප දැනුවත් කරන්නේ ගයාන්. ජීවිතේ කවදාවත් ම නුදුටු සුන්දර ලෝකෙකට සුජිත් අපිව ඇරන් ගියා. ගල් මල් මුහුදු පාසි, බූවල්ලන්, ඉකිරියන්, ලෝකේ කොහේවත් දැකලා නැති රටා මැවුණු පාට පාට මාළු රෑන් කැස්බෑවුන් වගේ ම මෝරුන් වැනි මහා විශාල මාළුන්ගෙන් පිරුණු පාට පාට ලෝකයක් . කොයි තරම් බැලුවත් ඇති වෙන්නේ නෑ. මූදු පත්ල නරඹා බෝට්ටුවට ගොඩවන හැම දෙනාගෙම අදහස ඒකයි. ඈත ක්ෂිතිජ ඉමේ සැ`ගවී ඉරු කුමරා අවරට යන්න සැරසෙනවා. ගොඩබිමේ අප එනතුරු අනෙක් සගයන් සුජිත් ගේ ජෙට් ස්කූටරයේ නැගිලා මූද වටේ රවුම් කීපයක් ගිහින්.

අලුත්ම තාලේ බනානා බෝට්ටුවේ නැගලා පස් දෙනෙකුට එකවර ජෙට් ස්කූටරයේ ආධාරයෙන් මූදු සවාරියක යෙදෙන්නට පුළුවන්. සුළං ඔරු පැදීමත් හරිම විනෝදයි. මේ ජල ක්‍රීඩා සියල්ලම එහි යන දෙස් විදෙස් සංචාරකයින්ට අත්හදා බලන්නට පුළුවන්. පීනන්නට බැරි වුණත් ඒ හැටි බය වෙන්නට ඕනෑ නෑ. ජීවිතාරක්ෂක නිලධාරීන් හැම මොහොතකම ඔබේ ආරක්ෂාව සඳහා අවදියෙන්.

නැෙ`ගනහිර පාසිකුඩා සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු පිරික්සා බලන්නට සංචාරක නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා ඒ ප්‍රදේශශයේ නිරීක්ෂණ චාරිකාවක නියැළුණා. ඒ සඳහා සහභාගි වූ මාධ්‍ය කණ්ඩායමටත් එහිදී මේ අලුත් ම ජල ක්‍රීඩා අත්හදා බලන්නට අවස්ථාව උදා වුණා. මේ වනවිට පාසිකුඩා සංචාරක කලාපයේ මාළු මාළු සහ ඇමෙනිස්ට් හෝටල්වල ඉදිකිරීම් නිමවා දෙස් විදෙස් සංචාරකයනට සේවා සපයනවා.

සිඳු පතුල නරඹන මාධ්‍ය මිතුරන්

තවත් හෝටල් 14 ක් දෙසැම්බරය අවසාන වන විට සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතයි. මේ හෝටල්වල කාමර සංඛ්‍යාව 1000 ක් වන අතර එමගින් නව රැකියා අවස්ථා 3000 ක් බිහි වෙනවා. මේ සඳහා ප්‍රදේශවාසී තරුණ තරුණියන් 2500 ක් තෝරා ගන්නා බවයි ඇමැති ලක්ෂ්මන් යාපා මහතා පවසන්නේ.

 

සංචාරක කලාපයට අවශ්‍ය ජල විදුලිය, මං මාවත් සහ සන්නිවේදන වැනි යටිතල පහසුකම් සියල්ල මේ වනවිට රජය මගින් සපයා අවසන්. මෙතෙක් පොදු ප්‍රවාහන පහසුකම් නොතිබූ මඩකලපුව වාලච්චේන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ වහාම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ මෙන් ම පෞද්ගලික බස් සේවාවක් ද ඇරැඹෙන බව ඇමැතිවරයා කියනවා.

දේශීය සංචාරකයන් සඳහා පොදු වෙරළ කලාපයක් වෙන් කොට ඇති අතර, ජනතාවට අවශ්‍ය නාන කාමර, වැසිකිළි, ඇඳුම් මාරු කර ගැනීමේ කාමර සහිත පොදු සේවා මධ්‍යස්ථානය දැනටමත් විවෘතයි. කඩ වීදියක් රථ ගාලක් ආපන ශාලා, සෞඛ්‍ය මධ්‍යස්ථාන මෙන් ම සංචාරක පොලිසියක් ද එහි විවෘත කිරීමට නියමිතයි. සංචාරක අමාත්‍යාංශයේ ප්‍රමිතීනට අනුකූලව ඉදිකැරෙන කාමර 80 කින් යුතු සංචාරක නිකේතන දෙකෙහි සාධාරණ මුදලකට දෙස් විදෙස් සංචාරකයනට නවාතැන් ලබා ගන්නට පුළුවන්.

පාසිකුඩා වෙරළ තීරයේ විනෝදවන්නට එන දේශීය සංචාරකයන් ගෙන් එහි හෝටල් හිමියන් වගේ ම ප්‍රදේශයේ ජනතාව විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ මෙතෙක් සුපිරිසුදුව සුන්දරව තිබූ වෙරළ තීරය අපවිත්‍ර නොකරන ලෙසයි.

සාගරිකා දිසානායක ජයසිංහ

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

සිඵමිණ පුවත්පත ඇසුරෙනි



More News »