කටගමුවේ වන අරණේ - දිවියන්ගේ රජදහනේ

2016-06-26 09:52:00       813
feature-top
පෙඳ කැටි මත මඳහස නංවමින් දඟකළ සඳ කැබලිති ඒ විසේකාර සෙල්ලමින් මිදෙන්නට ළඟය. ගඳපාන තුරු ගොල්ල මත ප්‍රේමාලිංගණයේ යෙදීඋන් පෙම් පිණි කැට මත නලියන මඳ සුළංරැල්ල නැවත වැව්දියවරට හාදු පුදන්නට පටන්ගත්තේ හිරු කුමරුගේ ඉඳහිට නැඟෙන සිනහ වැස්සක් සමඟය. ඈත තුරු සිරස් මත පතිතව දඟකම් කරන හිරු කෙමි හරිත පලයට එබිකම් කළේ ගගන තලයම නේක රටාවන්ගෙන් සරසමිනි. අපි කටගමුවේ වැව් කොමලිය වෑස්සෙන හිරු කෙමි සමඟ පාන මනමාලකම් දෙස මහා වේලාවක් බලා උන්නෙමු. උස තුරු සිරස තමාගේ නිදන කාමර කරගත් රිලවුන් උදෑසන පැමිණි බවට සන් කරමින් දවසේ භාරදූර රාජකාරිවලට යාමට සූදානම්ය. රිලා මිතුරන්ගේ කෑකෝවෙන් නිදි බිඳගත් උකුසු යුවළ තෝන්තුවෙන් වට පිට බලමින් බර කල්පනාවකය. වල් ඌරු රංචුවට නම් මේ කිසිඳු විපර්යාසයක් ගාණක් නැත. පඳුරු අතරේ ඔබ මොබ සරමින්, නැති වූ දෙයක් සොයන වල්ඌරන් එකවරම පොර බදන්නේ කුමක් හෝ හමුවී බෙදාගන්නට වීමට පුළුවන.

මේ උදෑසන වෙනදාට වඩා සොඳුරුමය. කුරුලු තනුවලින් විචිත්‍රවත් ය. හිරිගඩු පුබුදන අනාරාධිත සුළං රැලින් පිරී ඉතිරී ගොස් ය. සැබෑවටම මේ උදෑසන මවා ඇත්තේ අප වෙනුවෙන්ම ය. මෙතැන් සිට ඔබත් මමත් බොහෝ දේ කතාබහ කරමින් ගමන ඇරැඹිය යුතුය. පරිසර භාවනාවකට සමවැදිය යුතුය.

අපගේ ගමන් මඟවැටී ඇති සැටි පළමුවෙන්ම ඔබට පැහැදිලි කළ යුතු ය. යාල වන උයනේ නොකිළිටි සුළං රැලිත් පෙනහලු පුරවාගනිමින් අප කටගමුව පිවිසුමෙන් වන වැදිය යුතුවේ. පෙරදා රාත්‍රියේ වැටුණු මඳ වැස්සෙන් නව පණක් ලැබූ දිය කදුරු, වන විල්ලු, කුඩා වැව් මෙන්ම දිය අගල් තරණය කරමින් අප ගමනේ සුන්දරත්වය විඳිය යුතු බව ගෙවී ගිය රාත්‍රියේ අපහට පැවසුවේ ජීප් රථයේ රියැදුරා විසින් ය.

මේ දවස්වල දිවියො වැඩිපුර එළිබහිනවා

පෙරදා රාත්‍රියේ සැලසුම් සාකච්ඡාවේදී රථයේ රියැදුරා අපට ගෙනආ බලාපොරොත්තුව වන ප්‍රේමියකුට සතුටක්ම දනවන්නක් විය. කටගමුවේ දිවියන් සොයමින් මෙතැන් සිට අප දිගු සුන්දර නිස්කලංක පරිසර සවාරිය ඇරැඹිය යුතුය.

පරිසරයම උදෑසන සිරි අසිරියෙන් නැහැවෙද්දී අපි අඩුම කුඩුම ද රැගෙන ජීප් රථයට ගොඩවූයේ ඒ සුන්දර සවාරිය ඇරැඹීමටය. උදෑසනම ගමන ඇරැඹීම හිතකරය. කටගමුව පිවිසුමෙන් යාල වන උයනට පිවිසෙන සෑම සංචාරකයකුම උත්සහ දරන්නේ පළමු කණ්ඩායමට තම ජීප් රථය එක්කාසු කරගැනීමය. දවසේ නොඉඳුල් මං මාවත් ඔස්සේ වනගතවීම වැඩිපුර සතුන් ප්‍රමාණයක් දැකගැනීමේ අවස්ථාව විවර කරදෙන බව අත්දැකීම් බහුල සංචාරකයන් හොඳින්ම දන්නා කරුණකි. සංචාර පිළිබඳ යම්තාක් දුරට අධ්‍යනයෙන් පසුවන අප කණ්ඩායම ද ඒ ක්‍රමවේදය අනුගමනය කරනු ලැබුවේ නොකිළිටි පරිසරයේ අසිරිය මුලින්ම නෙත් කූඩවලට අසුරා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

පෙරදා රාත්‍රිය කටගමුව ක්‍රොකඩයිල් පාර්ක් බංගලාවේ ගෙවා දැමීම නිසාම ඒ ඉලක්කය සපුරාගැනීම එතරම්ම අසීරු නැත. අප නවාතැන්ගත් බංගලාවේ සිට කටගමුව පිවිසුමට ඇත්තේ මීටර 100කටත් නොඅඩු මඟ දුර ගෙවීමක් වීම වාසියට හරවා ගත් අප එදින කටගමුව පිවිසුමට පැමිණි ප්‍රථම කණ්ඩායම ලෙස ජයග්‍රාහී ගමන ඇරැඹුවේ සතුට පිරි සිතින්මය.

ඉලක්කය සාර්ථකය. අප පටු දිගු ගුරු පාරවල් ඔස්සේ ඉදිරියට ඇදෙන මොහොතේ ද උස් තුරු වදුළු අතර සියොත් රෑන් සුවබර නින්දකය. ඉපල් අතු මතින් පොළොව සිපින හිරු සෙවණැලි යටකරමින් අපේ රථය ඉදිරියට ඇදෙන්නේ මන්දගාමීවය. මග දෙපස හමුවන දිය කඩිති අද්දර ළහිරු කිරණේ උණුසුම විඳිනට සැ‍රසෙන කිඹුලන් නිද්‍රාවෙන් මිදෙන්නේ අපේ රථයේ හඬිනි. අප පැමිණ ඇත්තේ ඔවුන්ගේ රජදහනට වග මොහොතකට අමතකව ගිය මුව රෑන් මග වැරැදී විත් නතරවන්නේ අපේ රථය ඉදිරියේ ය. නැවත තිගැස්සෙන ඔවුන් හීයක වේ‍ගයෙන් වන වදුලු අතර, සැඟවෙන්නේ කැමරාව මානා ගැනීමට මොහොතක ඉඩක්වත් ඡායාරූප ශිල්පියාට නොදෙමිණි.

දිවියන් සොයා ඔවුන්ගේ රාජධානිවලට ඇතුළුවීම අපගේ මූලික අරමුණ වුවද මේ විචිත්‍රවත් දර්ශන මගහැර යාමට කිසිවකුටවත් හිතක් නැත. මුවකු, ඌරකු, හිවලකු පමණක් නොව නිතර වන සවාරිවල මුණ ගැසෙන බිඟුහරයකුවත් මගහැර යාමට හිත ඉඩ දෙන්නේම නැත. පරිසර ප්‍රේමියකු වන ඔබද එසේමය. නෙත ගැටෙන සෑම දසුනක්ම ලද මොහොතේ විඳගැනීම පරිසර සංචාරකයන්ගේ සිරිතය.

මන්දගාමී, සුපරික්ෂාකාරී, සන්සුන් හටනක යෙදෙන අප පසුකර ජීප් රථ කිහිපයක්ම ඉදිරියට ඇදුණද බලාපොරොත්තු දසුන් නොවරදවාම හමුවන බවට අපේ කණ්ඩායම දැඩි විශ්වාසයකය. අපේ ගමන තවදුරටත් පමාකළ කුළු මී නාම්බාගේ චණිඩිකම් ගැනද වචනයක් ලියා තැබිය යුතුමය. හිරු රැසින් නෑවෙමින් තිබූ දිය කඩිත්තේ ශාන්තව බර කල්පනාවක සිටි කුළුමී නාම්බා එකවරම දැහැනින් මිදුණේ අපගේ කෙඳිරිලි කතාබහින් වන්නට පුළුවන. වරක් දෙවරක් ගණනකට නොගෙන අප දෙස බලාඋන් ඒ කතා නායකයා එකවරම දියකඩිත්ත අතැර අප වෙත ආවේ හිතාගත නොහැකි ගමනකිනි. ඉදිරිගාත් උස්සා චණ්ඩිකම් පෑ මී කුළු නාම්බා අප සමඟ රණ්ඩුවකට අරඅඳින්නට උත්සාහගත් ආකාරය බියකරුමුත් සුන්දරය. බොහෝ වේලාවක් ඒ හැසිරීම් බලා සිටි අපට ගමනේ ප්‍රමාදය මතක් වූයේ ඌ දියකඩිත්ත අතැර ගිය පසුවය.

පෙරදා රාත්‍රියේ කටගමුව වන උයන පිළිබඳ හසල දැනුමැත්තන් සමඟ බෙදාගත් සුන්දර වන කතාන්දර ගොන්නෙහි ඇත්ත නැත්ත සාක්කි සහිතව ඔප්පුවීම ගැන නඩයම කතා කරන්නට පටන්ගත්තේ කුළුමීමාගේ සුළු එදිරිවාදිකමට පසුවය.

ප්‍රධාන මාර්ගයෙන් අතුරු මඟට පිවිසුණේ අපගේ ප්‍රධාන බලාපොරොත්තුව හමුවීමේ අරමුණ ඇතිවය. කටගමුව වන උයනේ දිවියකු දැකීම හා ඔවුන් දෙස බලා හිඳීම අපගේ අරමුණ වුව ද එය සාර්ථක වන‍්නේ ඉතා සුළු ප්‍රතිශතයකටය. එබැවින් මෙතැන පටන් ගමන ඉතාමත් සුපරික්ෂාකාරීය. වනාන්තරයේ ගල් කුළු, රූස්ස ඉපල් අතු හොදින්ම නිරීක්ෂණය කරමින් අපි සන්සුන් ගමනකය.

මේ ලයින් එකේ තමයි පහුගිය දවස්වල හිටියෙ

ජීප් රථයේ රියැදුරා අපට එක්කරන්නේ බලාපොරොත්තු ගොන්නකි. කැමරා මානාගත් මිහිර වන උයන අතරේ කැලෑ කුට්ටි වෙතින් තම නෙත නිදහස් කරගන්නේම නැත.

ප්‍රදේශය නිශ්චිත වශයෙන්ම කිව නොහැකි වුවද ගමනාරම්භයේ සිට කිලෝමීටර් 05ක් ගතවන්නට ඇත. දිරාගිය ගස් අතුවලින් වටවූ කැලෑ ගොල්ලක වැතිරී අපේ බලාපොරොත්තුව අප එනතෙක් බලා සිටී යැයි කිසිවකු මොහොතකටවත් සිතුවේ ද නැත. ජීප් රථයේ උන් සියලු දෙනාගේ ‍කතා බහ හස්ත මුද්‍රාවෙනි. තණගොල්ලේ වැතිරී හිරු රැසෙන් නාමින් කෙළිකම් කරන විශාල දිවියෙකි. ජීප් රථයේ එන්ජිම ක්‍රියාත්මක නොවූ නිසා ඒ අසිරිමත් මිතුරාට අප ගැන වගක් නැත. ගෙවීගිය මිනිත්තු කිහිපයේදී ඔහුගේ ඉවට අපගේ පුසුඹ දැනෙන්නට ඇත. එකවරම කලබල වුවද ඒ බව අපට නොපෙන්වා දිවියා අප නෙත් අතැර වන වැදුණේ බලාපොරොත්තු වූ තරමේ වින්දනයක් ඉතිරි නොකරමිනි.

අර පැත්තෙන් මතු වෙන්නෙ.

සූක්ෂමව ජීප් රථය පණගන්වාගත් රියැදුරා තරමක වේගයෙන් අතුරු පාරවල් පසුකරමින් ගොස් නතරවූයේ වැව්තෙරකට ආසන්නවය. කිසිදු ශබ්දයකින් තොරව පැයකට ආසන්න කාලයක් ගෙවී ගියද දිවියා පැමිණෙන පාටක් නැත. අනිවාර්යෙන්ම ඌ මඟ වෙනස් කරන්නට ඇත. නැතහොත් අපේ සැලසුමට වඩා ඔහුගේ දුර දැක්ම ප්‍රබල වන්නට ඇත.

නැත...

වැරැදී ඇත්තේ අපටය.

පැයකුත් විනාඩි විස්සකට පසුව දිවියා විත් නතරවූයේ අපගේ ජීප් රථය ඉදිරිපිටය. අප ඉන්නාවග දැනගත් මුත් ඒ ගැන දිවියාට වගක් නැත. වන වදුලේ තරමක් පැහැදිලි පැලැස්සක විරාජමානව දිවියා තමාගේ නිදහස විඳිමින් බොහෝ වේලා ගත කළේ අපට උපරිම වින්දනයක් ලබාදෙමිනි. ඔහු දෙස බලා සිටීම අපට ඇතිවන වගක් නැති බව දැනගත් දිවියාට එපා වන්නට ඇත. ඌ කිසිවකුගේ ගණනකට නොගෙන වන වැදුණේ තමාටත් වැරැදුණා දැයි සිතමින් වන්නට පුළුවන.

දිවියන් දැකීම ම අරමුණු කොටගනිමින් ඇරැඹූ ගමන දැන් පරිපූර්ණය. ඒ සතුට හිතේ පුරවා ගනිමින් අප නැවත ගමන ඇරැඹුවේ පටනංගලට යාමටය. යාල වන උයනේ සුන්දර සමුදුරු තීරය පටනංගලය. පටනංගලට ගොඩවී අපි එක් සුව විඳිමින් කතා කළේ ම දිවියාගේ අහඹු හමුවීම ගැනය.

සුන්දරත්වයේ සවාරි නිමා කිරීමට වෙලාව හරිය. අපි නැවතත් ගමන ඇරැඹුවේ අතුරු මං පෙත් අතරිනි. නැවත එන ගමනේද අහඹු ලෙස වන වදුල අතරේ හුදෙකලාව ගිමන් හරින දිවියකු මුණගැසුණේ අපේ බලාපොරොත්තුව නැවතත් සතුටක් බවට පත්කරමින් ය.

උදෑසන ගමන ඇරැඹූ අප නැවත වන උයනෙන් පිටවූයේ මධ්‍යහ්නය ගෙවීගිය පසුවය. නැවත අහස රත්පැහැයට හැරෙන්නට ළඟය. හිරු මිළිනවී සඳ පූදින්නට ආසන්නය. අහස නව දිනය අරඹන්නේ ඔබට ය. ඔබගේ රසවින්දනයටමය. හෙට කටගමුව ඔබටය...



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »