සීතාඑළියේ සීතල පිනි පොද මැද...

2016-07-10 10:08:00       815
feature-top
කැලෑ බිම් එළි පෙහෙලි කරන වේගයට අපේ රටේ අනාගත පරපුරට නොව වර්තමාන පරපුරට ද ගහක කොළක සුන්දරත්වය අත් විඳින්නට තව කොතරම් කලක්‌ නම් හැකිවේ දැයි සැක සහිත ය. ගසක්‌ සිටුවන්නට, සිටවූ ගසක්‌ මහා ගසක්‌ සේ වැඩෙන්නට ගතවන කාලය ඇතුළත ලක්‍ෂ ගණනක්‌ මහා ගස්‌ කපා බිම හෙළනු ඇත. මිනිස්‌ ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත්, ඔවුන්ගේ අසීමිත අවශ්‍යතා සපුරාලීම සඳහා පරිසරයේ ඇති සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීමත් මේ වන විනාශයට හේතුවී තිබේ. මෙවැනි ෙදනීය තත්ත්වයක්‌ පවතින්නේ වුව ද නුවරඑළිය හෝර්ටන්තැන්න ආශ්‍රිතව හෙක්‌ටයාර් 155 ක්‌ ආවරණය වන පරිදි අධි ආරක්‍ෂිතයක්‌ බවට පත් කරමින් සඳතැන්න නම් ප්‍රදේශයේ සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ මූලික කොට ගනිමින් සඳතැන්න පාරිසරික සහ කෘෂි සංචාරක කලාපය ආරම්භ කර ඇත්තේ පරිසරය පිළිබඳ ජන සිත් පුබුදුවාලීමටත්, පරිසරය රැකගැනීමේ පණිවුඩය රැගෙන යාමටත් පමණක්‌ නොව විදෙAශ සංචාරකයන්ගේ ආකර්ෂණය ඇද ගැනීම සඳහාත් ය.

දේශීය ගොවීන්ගේ බීජ අර්තාපල් අවශ්‍යතාව සපුරාලීම සඳහා 1958 දී ආරම්භ කළ මෙම ගොවිපළ මුහුදු මට්‌ටමේ සිට අඩි 6200 ක්‌ ඉහළින් අතිශය සුන්දරවූත්, මනස්‌කාන්ත වූත් පරිසර පද්ධතියක පිහිටා තිබේ. බීජ අර්තාපල් වගාව වඩාත් හිතකර හා ඵලදායී කර ගැනීම උදෙසා මෙහි බීජ වගා කිරීම සිදු කෙරෙනුයේ වසර දෙකින් දෙකට වටමාරු ක්‍රමයට අනුව ය. එනම් එක්‌ භූමි ප්‍රදේශයක බීජ වගා කිරීමෙන් අනතුරුව වසර දෙකක කාලයක්‌ එම භූමිය පුරන් වන්නට සලසනු ඇත. එසේ පුරන් වීමෙන් අනතුරු ව කසළ තේ, ගොම, පිදුරු, දිරාගිය ශාක කොටස්‌ ආදිය එකතු කරමින් පුරන් වූ පස සරු පසක්‌ බවට ක්‍රම ක්‍රමයෙන් පත් කරනුයේ වසර දෙකක පුරන් කාලය අවසන නව බීජ වගා කිරීම උදෙසා ය. මෙම ගොවිපළේ මුළු වපසරිය හෙක්‌ටයාර් 155 ක්‌ වුවද එක්‌ වරකදී වගා කළ හැකි මුළු භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 75 කි. වසර දෙකක්‌ වගාවකින් තොර ව පවතින මෙම භූමිය අලංකාර මෙන්ම රටට ආදායමක්‌ ලැබිය හැකි සංචාරක කලාපයක්‌ බවට පත් කිරීමට නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩන්පෙගම මහතා පියවර ගැනීමෙන් අනතුරුව සඳතැන්න පාරිසරික සහ කෘෂි සංචාරක කලාපය 2014 වසරේදී දෙස්‌ විදෙස්‌ සංචාරකයන් උදෙසා විවෘත කෙරිණි.

සුන්දර නුවරඑළියේ සඳතැන්න ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක කලාපය නුවරඑළිය, සීතාඑළිය, සඳතැන්න, බෝමුරු ඇල්ල රක්‍ෂිතයේ ඉහළ කොටසට වන්නට ස්‌ථාපිත ව තිබේ. මෙහි උස ම ස්‌ථානයේ පොළොවේ උස මුහුදු මට්‌ටමේ සිට අඩි 6438 කි. එකී උස ම ස්‌ථානයේ ඉදි කර ඇති නැරඹුම් ස්‌ථානයේ සිට සම්පූර්ණ රවුමකට නැත්නම් අංශක 360 ක්‌ කැරකීමෙන් සෑම ඉසව්වකින් ම දර්ශනය වනුයේ අලංකාර පරිසර දසුනකි. නෙතු පෙනෙන නොපෙනෙන මානය පුරා කොළ පැහැති ගණ වනාන්aතරය එහිදී දර්ශනය වනු ඇත. මෙම නැරඹුම් ස්‌ථානයේ සිට කවාකාර ව නැරඹීමේදී ශ්‍රී ලංකාවේ උස ම කඳු හතක්‌ ද එකී උසම ස්‌ථානය දක්‌වා ගමන් ගන්නා අතරමග ස්‌ථානයකදී ශ්‍රී ලංකාවේ දෙවැනියට උස ම කඳුවැටිය වන අඩි 7835 ක්‌ උස කිරිගල්පොත්ත කඳුවැටිය හා තෙවැනියට උස ම කඳුවැටිය වන අඩි 7737ක්‌ උස තොටුපොළ කන්ද ද පැහැදිලි ව දැක ගත හැකි ය.

මුහුදු මට්‌ටමේ සිට අඩි 8281 ක්‌ උස ශ්‍රී ලංකාවේ උස ම කඳුවැටිය වන පිදුරුතලාගල කඳුවැටිය, අඩි 7339 ක්‌ උස කිකිළියාමාන කඳුවැටිය, අඩි 7257 ක්‌ උස ග්‍රේට්‌වෙස්‌ටර්න් කඳුවැටිය, අඩි 7116 ක්‌ උස හග්ගල කඳුවැටිය, අඩි 7116 ක්‌ උස කොක්‌නිහිල් කඳුවැටිය, අඩි 6890 ක්‌ උස සිංගල් ට්‍රී කඳුවැටිය හා අඩි 6667 ක්‌ උස නමුණුකුළ කඳුවැටිය ඉතා පැහැදිලි ව මෙහි නැරඹුම් ස්‌ථානයට දර්ශනය වනු ඇත. ශ්‍රී ලංකාවට ආවේනික කුරුලු විශේෂ වන පීතකන් කොණ්‌ඩයා, සිතිසියා, මයිල පරෙයියා, නිල් මැසිමාරා, දෙමලිච්චා, දෑ දෙමලිච්චා මෙම පරිසර පද්ධතියේ දුලභ නොවේ. එසේ ම මොනරුන්, ගෝනුන්, ඕලු මුවන්, වලස්‌ වඳුරන් ආදි සතුන් ද මෙහි වෙති. ඉඳ හිට දිවියා මෙහි සැරිසරණු දැක ඇති අය ද වෙති. ඉතා දුර්ලභ ශාක හා මල් වර්ග බොහෝමයක්‌ මෙම පරිසර පද්ධතියේදී දැක ගැනීමට අවකාශ ලැබෙන අතර නිරීක්‍ෂකයන්ට මෙන්ම පර්යේෂකයන්ට ද මෙය අපූරු තෝතැන්නකි.

මෙම පරිසර පද්ධතිය මොහොතින් මොහොත විශාල වෙනස්‌කම් චිත්‍රණය කරන අතර ඒ කෙරෙහි සුළඟ, මීදුම, අහසේ වළාකුළු මෙන් ම හිරු එළිය ද බලපානු ඇත. සොබා දහමේ අපූරු නිර්මාණයක්‌ වන මෙම ස්‌ථානය දැක ගැනීම සඳහා දිනපතා විශාල පිරිසක්‌ පැමිණෙන අතර විදෙස්‌ සංචාරකයන් ද ඒ අතර සුලභ ය. විටින් විට දැඩි මීදුමකින් මුළු කඳු පද්ධතිය ම වැසී යන අතර එසැනින් එම මීදුම බැහැරට හමා යමින් කඳු පාමුලින් පිහිටි බදුල්ල, වැලිමඩ ප්‍රදේශවල ගම්මාන පවා පැහැදිලිව දර්ශනය වේ. මෙය පුංචි ලෝකාන්තයක්‌ යෑයි පවසමින් අරාබි රටවල පිරිස්‌ මෙය නැරඹීමට විශාල උනන්දුවක්‌ දක්‌වනු අපට දැකගත හැකි විය. රාවණ රජු විසින් පැහැරගෙන එන ලදු ව සීතා දේවිය රඳවා තැබීමෙන් පසු ඇයගේ දෑස්‌ අන්ධ වූ බවත්, එම දෑස්‌ සනීප කිරීම සඳහා සංජීවනී පැළයක්‌ සොයා ඉන්දියාවට ගිය අයට එම පැළය සොයා ගැනීමට නොහැකි වූ බවත්, පසුව එම පැළය ඇති බව කියූ හග්ගල කන්ද පිටින් ම අරගෙන අවුත් මෙම ස්‌ථානය ආසන්නයේ තැබූ බවත්, පසුව සීතා දේවියට බෙහෙත් කොට ඇය සනීප වීමෙන් පසු පළමු ව එළිය දුටු ස්‌ථානය ''සීතා එළිය'' ලෙස හැඳින්වෙන බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම ජනප්‍රවාදය ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රිය වූවකි. ඒ නිසා ම ඉන්දියානුවන් විශාල පිරිසක්‌ ද මෙම ස්‌ථානය නැරඹීමට පැමිණෙන අතර ඔවුන් හග්ගල කන්ද හඳුන්වන්නේ සංජීවනී කන්ද යනුවෙනි. හග්ගල උද්‍යානය රාවණ රජුගේ ඔසු උයන බවට සාධක හමුවේ.

මෙම ස්‌ථානයේ සුන්දරත්වය පරිසර හිතකාමී අයුරින් විඳගැනීම සඳහා දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ පහසුකම් සැලසීමට නුවරඑළිය මහ නගර සභාවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ ව විශාල වැඩ කොටසක්‌ කරගෙන යන බව එහි ගිය අපට දැක ගත හැකි විය. ඔවුන් විශේෂයෙන් ම මෙහි පැමිණෙන ශ්‍රී ලංකිකයන්ගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නේ මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ නොකරන ලෙස යි. විදේaශ රටවලින් පැමිණෙන්නන් මාර්ගෝපදේශකයන්ගේ උපදෙස්‌ පිළිපදිමින් මෙම පරිසර පද්ධතිය ඉතා පරෙස්‌සමෙන් අත්විඳ ආපසු යන නමුත් අපේ රටේ වැසියන්ට මෙහි වටිනාකම නොවැටහෙන්නාක්‌ පමණක්‌ නොව ඔවුන්ගේ හිතුවක්‌කාරකම් පිළිබඳ ව ද මෙම පරිසර පද්ධතියේ වගකීම් දරන නිලධාරීන් හා සේවකයන් මැසිවිලි නගති. මෙම පරිසර පද්ධතිය නරඹන්නන් සඳහා ම පවත්වාගෙන යන සෆ්රි ජීප් සේවාවක්‌ මෙහි ඇති අතර ඒවා වෙනත් සංචාරයන් සඳහා යොදවා නොගන්නා බවත්, එයට හේතුව මෙය සංචාරක කලාපයක්‌ පමණක්‌ නොව ඉතා ඉක්‌මනින් රෝගවලට ගොදුරු වන අර්තාපල් බීජ ගොවිපළක්‌ ද වන බැවින් පිටස්‌තර විෂ බීජ මෙහි ඇතුළුවීම වැළැක්‌වීම බවත් ය. එතරම් පරෙස්‌සම් සහගත ව පවත්වාගෙන යන මෙකී වටිනා පරිසර පද්ධතිය රැක ගන්නට සියලුම දෙනා දැඩි හැඟීමකින් යුතුව සහාය විය යුතු බව ද බලධාරීන් අවධාරණය කළහ. පරිසරයේ සුන්දරත්වය ආදරයෙන් වැළඳගෙන එය හද තුළ පමණක්‌ ඉතිරි කරගෙන ආපසු පැමිණෙනවා මිස හැඟීම් පාලනයකින් තොරව පරිසර පද්ධතිවල හැසිරීමෙන් එයට සිදු කරනුයේ බිහිසුණු විනාශයකි. එහි අනිටු ප්‍රතිවිපාක එක්‌a අයෙකුට නොව මුළු මහත් සමාජයට ම අත්විඳීමට සිදුවනු ඇත.



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »