ලි කැටයමින් ලොව පුදුම කල ඇම්බැක්කේ  දේවාලය

2016-08-04 01:55:00       822
feature-top
ගෘහනිර්මාණ ශිල්පයත්, කැටයම් කලාවත් යනු ශ්‍රී ලාංකිකයින්ට අතීතයේ සිටම උරුමව පැවති කුසලතාවයකි. මහින්දාගමනයෙන් පසු බුදු දහමේ අභාෂය නිසා එය තව තවත් ඔපමට්ටම් වූ නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට ජනතාව, තමන්ටම ආවේනික වූ ශිල්පීය ක්‍රමවේදයන් අනුගමනය කළ බව, දැනට ඉතිරිවී ඇති පුරා විද්‍යාත්මක නටඹුන් සාක්ෂි දරයි. මෙලෙස ඈත අතීතයේ පටන් ඉදිවූ පන්සල්, වෙහෙර විහාර, මාළිගා, ආදී ගොඩනැගිලි අතර ඇම්බැක්කේ දේවාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඇම්බැක්කේ දේවාලය මෙතරම් සුවිශේෂී වන්නේ, ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පමණක් නෙව, කලාත්මක දැවමය නිර්මාණයක් වශයෙන්ද ජනතා බහුමානයට පාත්‍රව ඇති නිසාය.
ඇම්බැක්කේ දේවාලයේ ඉතිහාසය
මේ අවුරුදු සිය ගණනක ඉතිහාසයක් ඇති ස්ථානයකි.
මේ අවුරුදු සිය ගණනක ඉතිහාසයක් ඇති ස්ථානයකි.

 

මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර ඇම්බැක්ක ග්‍රාමයේ ඇම්බැක්ක දේවාලය පිහිටා තිබේ. ක්‍රි.ව. 1357 – 1374 කාලයේ ගම්පල රාජධානියේ රජ කල 3 වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය ඉඳිකල බවට ඉතිහාසයේ සඳහන්. දැවමය ගෘහනිර්මාණ ශිල්පයක් පදනම් කර ගත ඇම්බැක්කේ දේවාලය ඉඳි කිරීම පිළිබඳව පිළිබද ජනශ්‍රැතියෙහි විවිධ අදහස් පවති. සිංහලෙන් ලියැවුණු ඇම්බැක්කේ වර්ණනාව නම් කාව්‍ය ග්‍රන්ථයෙහි මේ පිළිබඳව විවිධ තොරතුරු ඇතුළත් වන අතර, මෙහි අලංකාර කැටයම් නිර්මාණය කළ ශිල්පියා ලෙස සදහන්ව ඇත්තේ දෙල්මඩ මූලාචාරි නම් ශිල්පියාය.

ඉතිහාසගත ජනප්‍රවාදයන්ට අනුව, රංගම නම් ගමේ වාසය කරන ලද බෙර වයන්නෙකුට වැළඳී තිබුණු කුෂ්ට රෝගයක් කතරගම ගොස් කරන ලද කන්නලව්වකින් පසුව සුව විය. ඉන්පසු ඔහු වර්ෂයක් පාසා කතරගම ගොස් බෙර වයා කඳසුරිඳුන්ට කෘතගුණ දැක්වීය. පසු කලෙක මහළුව එහි යාගත නොහැකිව සිත් තැවුලෙන් සිටියදී කතරගම සුරිඳුන් සිහිනෙන් පෙනී, “බිය නොවී ගමට යව. නොබෝ දිනකින් රුකකින් ලකුණක් පෙන්වා මගේ අනුසස් පාමි. එවිට මඟුල් බෙර වයා බුහුමන් කරව” යනුවෙන් පවසා ඇත. පසු කලෙක වික්‍රමබාහු රජුගේ අගමෙහෙසිය වූ සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් ඇම්බැක්කේ මල් උයනෙහි කටු පඳුරු කපා දමද්දී, එහි තිබූ කදුරු ගසකින් රුධිර ධාරාවක් නිකුත් වී තිබේ. බෙර වයන්නා රජුට තමන් දුටු සිහිනය සැළකර සිටි බැවින් රජු එතැන ඇම්බැක්කේ ‍දේවාලය ඉදිකරන්නට කටයුතු යෙදවිය.
දේවාලයේ සැළැස්ම

ඇම්බැක්කේ දේවාලය ප්‍රධාන ගොඩනැගිලි අටකින් සමන්විතය. දේවාල මළුවෙන් පිට රිට්ටාගෙය හෙවත් සිංහාසන මණ්ඩපය පිහිටා තිබේ. අනෙක් ගොඩනැගිලි හතම දේවාල මළුව තුළ දක්නට ලැබේ. මේ අතරින් මහා දේවාලය පිහිටි ගොඩනැගිල්ල ප්‍රධාන වෙයි. මෙම කොටස වැඩසිටින පිළිම ගෙය හෙවත් දික් ගෙය නමින්ද හැඳින්වේ. දෙවියන් වැඩසිටින ගර්භය මාළිගාව නමින් හැඳින්වෙන අතර, එය සම්බන්ධ කොට ඉදිරියට නෙරා ඇති දිගටි හතරැස් ගොඩනැගිල්ල කොටස් 4 කින් සමන්විතය. ඒවා නම් :

    දික්ගෙය හා පිරිත් ගෙය
    මැද දික් ගෙය
    සඳුන් කුඩාම
    හේවිසි මණ්ඩපය

දේවාලයට ප්‍රවිශ්ට වන ස්ථානයේ වාහල්කඩ නම් වු ගොඩනැගිල්ලක් වන අතර එහි අලංකාර කණු දහයක් වෙයි. ප්‍රධාන ගොඩනැගිල්ල වන දිග්ගෙහි ලී කණු 32 දක්නට ලැබේ. හේවිසි මණ්ඩපය කණු 32 කින් යුක්තය. එහි දිග අඩි 52 ක් වන අතර පළල අඩි 25 කි.

දැවමය ලි කණු වල ඇති අලංකාර ලි කැටයම් වලින්ද, ඉතා උස්ව පිහිටි වහලින්ද යුතු දික් ගෙය නරඹන්නන්ගේ ආකර්ෂණය අනිවාර්යයෙන්ම දිනාගන්නා අංගයකි.
කැටයම් විස්තර

ඇම්බැක්ක දේවාලයේ ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ එහි දක්නට ලැබෙන සුවිශේෂී ලී කැටයම්ය. මේ කැටයම් ඉතා උසස් තත්වයක වන අතර, මෙබඳු ලී කැටයම් ලංකාවේ වෙනත් කිසිඳු තැනක දක්නට නොලැබේ.

ඇම්බැක්කෙ දේවාලයේ ලී කැටයම් 514කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව මුලාශ්‍ර වල සඳහන් වේ. කැටයම් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ගම්මාලු, පිහිඹි, නා, කොස් වැනි ඉතා උසස් ලී වර්ග ය. මේ ලී කැටයම් වලින් ප්‍රධාන වර්ගයේ ලී කැටයම් කිහිපයක් පහතින් සදහන් කරමු.

ඇත්කඳ ලිහිණියා / භේරුණ්ඩ පක්ෂියා / අශ්වාරෝහක / මල්ලව පොරය / ගජසිංහ / වෘෂභ කුඤ්ඡරය / ලී කෙළි ක්‍රීඩාව / ඔළිඳ කොළම්බ / කිඳුරු කින්නර කැටයම / නයි පූට්ටුව / මකරා / සැරපේඬියා / මල් වර්ග / වෘක්ෂලතා / ජ්‍යාමිතික රූප / කිඹිසි මුහුණ / නළඟන / හංස / නෙලුම් / කිදුරා / හස්තිකුම්භවිදාරණය / ගිජුලිහිණියා / මව සහ දරුවා.

ඇම්බැක්ක දේවාලයේ ඇති ලී කණු, ගල් පාඩමක් මත ඉඳි කර ඇති අතර, ඒ සෑම ලි කණුවක්ම කිසියම් රටාවකට නිර්මාණය කර ඇත. ලි කණු වල මුල් කොටස් තුන පමණ හතරැස් ස්වරුපයක් ගනී. ඉන් අනතුරුව දක්නට ලැබෙන්නේ අටපට්ටම් කොටසකි. ඉතිරි කොටස හරි හතරැස් ය. මේ සෑම කොටසකම අලංකාර කැටයම් රැසක් දක්නට ලැබෙන අතර, ඒවා සතුන්ගේ හා නළඟනන්ගේ විලාශය දක්වන කැටයම් වලින් අලංකරණය කර ඇත.

දේවාලයේ වාහල්කඩට යොදා තිබෙන ස්ථම්භ වල සුවිශේෂී කැටයම් දක්නට ලැබේ. මේවා මව සහ දරුවා යනුවෙන් ප්‍රචලිතව ඇත. තවද, කැටයම් ශිල්පියාට ආවේනික වූ හංස රූප තනිව හා යුගල වශයෙන්ද දක්නට හැකිය. මිට අමතරව භේරුණ්ඩ පක්ෂියා වැනි සත්ව රූප, මල්ලව පොර යුවළ වැනි රූප ගණනාවක් මෙම කැටයම් අතර දක්නට ලැබේ. මේ කැටයම් අතර ඇති මල්කම් නිර්මාණ වල ඇති විශේෂත්වය වන්නේ, එකිනෙකට කිසිසේත් සමාන නොවූ නෙලුම් මල් වලින් එම කැටයම් නිර්මාණය කර තිබීමයි.
දේවාලයට සම්බන්ධ අනෙකුත් ගොඩනැගිලි

දේවාලයට වම පසින් පිහිටි වී අටුව, අනෙකුත් ගොඩනැගිලි අතරින් විශේෂ ස්ථානයක් ගනී. ශ්‍රී වික්‍රම රජ සමයේදී ඉදි කරන ලද මෙම වී අටුව, අද ද ඒ අයුරින්ම දක්නට හැකිය. ගල් මත වරිච්චි බිත්තියෙන් ඉඳීවි ඇති මෙම වී අටුව නිසාද අම්බක දේවාලයට අපූරු ගාම්භීර පෙනුමක් එකතුවී ඇත.

ඇම්බැක්කේ දේවාලයට නුදුරින් වූ වෙල්යායේ ගල්තලාවක් මත ඉඳිකරන ලද පැරණි ගොඩනැගිල්ලක්ද වෙයි. අද මෙහි දක්නට ලැබෙන්නේ ගල් කණු පමණි. දේවාලය සමඟ සෘජු සම්බන්ධතාවයක් නොදැක්වුවද ඇම්බැක්කේ අම්බලම ලෙස හඳුන්වන මෙම ගොඩනැගිල්ල තුළද විවිධ විසිතුරු කැටයම් රාශියක් දක්නට ලැබේ. දේවාලය ගොඩනගන්නටත් පෙර, 4 වන බුවනෙකබාහු රජතුමා විසින් ඉඳි කර ඇති මෙම අම්බලම, හුදෙක් රජතුමාගේ ප්‍රයෝජනය සඳහා යොදාගෙන ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පමණක් නොව, දාරුමය ගෘහනිර්මණ ශිල්පය පිළිබඳ කදිම ආදර්ශ රූපයක් වන ඇම්බැක්ක දේවාලය, ශ්‍රී ලාංකීය කළා ශිල්ප ඥාණයත්, හෙළ කල කරුවාගේ කෘතහස්ථ භාවයත් මුළු මහත් විශිවයටම කියා පාන කැඩපතක් යයි හැඳින්වුවත් වරදක් නැති බවයි අපට නම් හැඟෙන්නේ.

.roar.lk


More News »