පාසිකුඩා සිට වාකරේ දක්වා රමණීය සල්ලතිව් මුහුදු තීරය

2017-05-02 12:08:00       694
feature-top
මේ දිනවල වැඩි වශයෙන්ම සංචාරකයන් සංචාරය කරන ප්‍රදේශ අතරින් පාසිකුඩා ඉදිරියෙන් සිටින බව සඳහන් කළ හැකියි. උත්සව සමය හා පාසල් නිවාඩුව නිසා බොහෝ දෙනා මෙම ප්‍රදේශය දැක බලා ගැනීමට උනන්දුවන අයුරු එහි සංචාරය කළ අපට දැක ගැනීමට හැකිවුණා.

පාසිකුඩා මෙරට මුහුදු තීරයන් අතර ඉතාම සුන්දර මුහුදු තීරයක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ. ඉතා අලංකාරවත් කොරල් තීරයක් සහිත පාසිකුඩා මුහුදු වෙරළ මෙම කෝරල් තීරය තුළින් ආරක්ෂා කරන බවද සඳහන් කළ යුතුමයි. සෞම්‍ය රළ සහිත පාසිකුඩා මුහුදු වෙරළෙහි බොහෝ දුර ප්‍රමාණයක් නොගැඹුරු දියනෑමට වඩාත් සුදුසු මුහුදු තීරයක් වීම නිසාම සංචාරකයන් අතර වැඩි ප්‍රසිද්ධියට උසුලනවා.

දශක තුනක් පුරා පය නොතැබූ මෙම සුන්දර ප්‍රදේශයට අද දිවයිනේ සතර දිගින්ම ජනයා ඇදී එනවා මෙන්ම, විදේශිකයන්ද බහුලව මෙම ප්‍රදේශය තුළ දැක ගැනීමට හැකිවනවා.

පාසිකුඩා මුහුදු තීරය නැරඹීමට යන ඔබට අතිශය රමණීය මුහුදු තීරයක් වෙත ගෙන යාමට අප සිතුවා. පාසිකුඩා සිට ත්‍රිකුණාමලය මාර්ගයේ වාකරේ සංචාරය කිරීමේදී දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. නෙත් පිනවන ආකර්ෂණීය වූ මෙම මුහුදු තීරය සල්ලතිව් මුහුදු තීරනයි. දශක තුනක කුරිරු යුද්ධයෙන් වේදනාව දරාගනිමින් නැවත අප දිවයිනට ආඩම්බරයක් සුන්දරත්වයක් ලබාදෙමින් අලංකාරවත් වී ඇති සල්ලතිව් මුහුදු තීරය සැබැවින්ම විශ්මිත වු සොබා දහමේ මැවුමකි.

පාසිකුඩා සල්ලතිව් මුහුදු තීරය හා පාසිකුඩා වෙත සංචාරය කිරීමත් ඔබට අලුත්ම අත්දැකීමක් විනෝදයක් ලබාදෙන සංචාරයක් වනවා. පාසිකුඩා සිට ගමන් ගන්නා මෙම සංචාරයේදී වාලච්චේන නගරය ඔඩ්ඩුමාවඩ් කුඩා නගරය පසු කළ ත්‍රිකුණාමලය මාර්ගයේ ඉදිරියට යා යුතුයි. ඔඩ්ඩුමාවඩ් කරවල සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. පාසිකුඩා පැමිණෙන සංචාරකයන් කරවල මිලදී ගැනීමට වැඩි වශයෙන් තෝරාගන්නේද මෙම නගරය බවයි අපට දැනගැනීමට හැකිවුණේ.

මෙම නගරය පසුකරමින් ඉදිරියට සංචාරය කිරීමේදී වගුරුබිම්, ඇළ මාර්ග, තෙත් බිම් ප්‍රදේශ, කඩොලාන දැක ගැනීමට පුළුවන්. ඉදිරියට යනවිට හමුවන්නේ කාසන්කාලි පාලමයි. යුද්ධයෙන් පසුව ඉදිකළ පාලම යටින් ඇළ මාර්ගයක් දිව යනවා.

මෙවන් පරිසර පද්ධති මෙන්ම සිය ගණනක් එළහරකුන් රංචු මග දෙපසදී දැකගැනීමට හැකියි. ඉදිරියට තවත් ගමන් ගනිද්දී හමුවන්නේ පනිච්චත්කර්ති කලපුවයි. කලපුව ඉහළින් ඉදිවූ දැවැන්ත පාලම හා කලපුව සැබැවින්ම සංචාරකයන් මොහොතක් රඳවා ගැනීමට තරම් ආකර්ෂණීය බව සඳහන් කළ හැකි කඩොලාන පරිසර පද්ධතියක් අලංකාරවත් වූ මෙම කලපුව ඔරු පාරුවලින් මසුන් මරණ ධීවරයන්ගෙන් යුක්තයි. එහා මෙහා යන ඔරු පාරු නරඹමින් ටික මොහොතක් හෝ මෙහි ගත කිරීම බොහෝ සංචාරකයන් ප්‍රිය කරන අයුරු වින්දනීය අත්දැකීමක් වනවා. ඉන් පසුව හමුවන්නේ එදා ත්‍රස්තවාදීන්ගේ රජ දහනක් වූ වාකරෙයි. වාකරේ ජනයා වැඩි වශයෙන් නොසිටියද සාමකාමී ඉතා නිදහස් සතුටින් ජීවත් වන කීප දෙනෙකු ගමන අතරතුරදී අපට හමුවුණා.

වාකරේ රෝහල, පොලීසිය, තැපැල් කාර්යාලය, ඉදිවෙමින් පවතින දේවස්ථාන හා රජයේ ගොඩනැගිලි බොහොමයක් දැක ගත හැකියි. වාකරේ පුංචි කඩමංඩියක් පවතිනවා. ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා එයින් සපුරා ගන්නා බවයි එහිදී හමු වූ ගැමියෙක් අප හා සඳහන් කළේ.

ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ, යම් දුෂ්කරතා පැවැතුණද නිදහසේ ජීවත් වන බවයි. ජීවන උපාය මාර්ග ලෙස ගොවිතැන් හා මසුන් ඇල්ලීම සිදුකරන බවද ඔහු සඳහන් කළා. පොල් වගාව සරුවට පැවතියද යුද සමයේ ඒ සියල්ල විනාශ වූවා යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්පසු අප ගියේ වාකරේ මුහුදු තීරයටයි. එයද එක දිගට නොගැඹුරු අලංකාරවත් මුහුදු තීරයක්. දූපත් කීපයක් සහිත මනස්කාන්ත වූ මෙම මුහුදු තීරය සංචාරක ව්‍යාපාරයට නම් කදිමවූ ප්‍රදේශයක්.

පනිච්චනකර්ති කලපුව අසලින් දකුණට ටික දුරක් ගමන් කිරීමේදී ඉහතින් ඔබට සඳහන් කළ ඒ රමණීය මුහුදු තීරය වන සල්ලතිව් හමුවනවා. එය සැබැවින්ම නෙත පිනවන අති සොඳුරු මුහුදු තීරයක්. පාසිකුඩා මෙන්ම නොගැඹුරු මුහුදු තීරයන් සහිත නොගැඹුරු මුහුදේ බොහෝ දුර ගමන් කිරීමට හැකි සොබාදහමේ කදිම වූ දායාදයකි.

සල්ලතිව් මුහුදු තීරය තවමත් සංචාරකයන්ගේ වැඩි අවධානයට යොමු නොවූ නැවුම් වූ ස්ථානයක් නිසාම සුන්දරත්වය මුහුදු තීරය පුරා පවතිනවා. ඔබ ඉදිරියේදී මෙහි සංචාරය කිරීමේදී සල්ලතිව්හි සුවය ලබන්න කිසිදු අපවිත්‍රකමක් නොකරන ලෙසත් අප මුලින්ම ඉල්ලා සිටිනවා.

සල්ලතිව් මුහුදු තීරය නැරඹීමෙන් පසු වාකරේ වෙත ගමන් කිරීමේදී එකදිගට කජු වගාවන් නෙත ගැටෙයි. එසේම තල් ගස් බහුල දැක ගත හැකි අතර, අතරින් පතර පොල් වගාවන්ද සහිතයි. ඉදිරියේදී මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත්වීමට ඉඩ පවතින බවද බොහෝ දෙනෙක් අපට පසුව පැවසුවා.

පාසිකුඩා සිට වාකරේ සැබැවින්ම ඔබට නැවුම් සොඳුරු අත්දැකීම් ගෙන දෙන්නක් බව නොකියමානයි. අපේම රටේ කලක් වැසීගිය සුන්දරත්වය අපේම මිනිසුන්ගේ සංස්කෘතිමය අංගයන් දැක බලාගැනීමට මෙය කදිම සංචාරකයන් වනු නොඅනුමානය.



More News »