යෙලොස්‌ටෝනයේ සිට ලෝකාන්තයට

2017-06-21 09:51:00       695
feature-top
ලෝකයේ පළමුවන ජාතික උද්‍යානය ලෙස ඉතිහාසගත වී ඇත්තේ ඇමෙරිකාවේ යෙලෝස්‌ටෝන් (Yellowstone National Park) ජාතික උද්‍යානයයි. යෙලෝස්‌ටෝනය ජාතික උද්‍යානයක්‌ වූයේ 1872 වර්ෂයේදීය. එම ජාතික උද්‍යානය බිහිකර ඇත්තේ හුදෙක්‌ වනජීවීන් හා සුවිශේෂී භූවිද්‍යාත්මක ලක්‌ෂණ පාදක කරගනිමිනි. එහෙත් අවුරුදු දහස්‌ ගණනකට පෙරාතුවම ලෝකයේ ප්‍රථම අභයභූමිය ලෙස මිහින්තලය අප දිවයිනෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ දේවානම් පියතිස්‌ස රජතුමාගේ සමයේදීය. ආසන්න වශයෙන් ක්‍රිස්‌තු පූර්ව 247දී පමණය.

එතැන් පටන් බුදුදහම පාදක කොටගත් මෙරට වනජීවී සංරක්‌ෂණය විවිධ රජවරුන් යටතේ ශක්‌තිමත් වීය. ශ්‍රී ලංකාවේ රක්‌ෂිත ප්‍රදේශ සම්බන්ධව හෝ මේ රටේ සංරක්‌ෂණ ඉතිහාසය බටහිර ජාතීන්ට අමතක වී ඇත. මෙරට වනාන්තර හා වනජීවින් විනාශ වීම ආරම්භවූයේ යටත් විජිත සමයේදීය. වතු ආර්ථීකය හඳුන්වා දෙමින් වන විනාශය ආරම්භ කළ අතර වනසතුන් පලිබෝධකයින් ලෙස සැලකිණි. වන විනාශයේ ආදීනව පසු කලෙක ෙ-ම්ස්‌ ටෙනන්ට්‌ වාර්තාවෙන් හඳුනාගත් සුදු ජාතිකයෝ විසඳුම් වශයෙන් අණ පනත් ගෙන ආහ.

එම අණ පනත් යටතේ ශ්‍රී ලංකාවේ පළමුවන ජාතික උද්‍යානය 1938 වර්ෂයේදී නීතිගත කරනු ලැබූ යාල ජාතික උද්‍යානයයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත වනජීවී රක්‌ෂිත සංඛ්‍යාව 100 කට ආසන්න වන අතර එයින් 26ක්‌ ජාතික උද්‍යාන වේ. විල්පත්තුව, හෝර්ටන්තැන්න (සාමාන්‍ය ව්‍යවහාරයේ ලෝකාන්තය), මින්නේරිය, වස්‌ගමුව, උඩවලව හා බුන්දල ආදී රක්‌ෂිත ප්‍රදේශ, ජාතික උද්‍යානවලින් සමහරකි.

ජාතික උද්‍යාන හුදෙක්‌ ප්‍රකාශයට පත් කරනුයේ ගහ කොළ වනසතුන් හා සතා සිවුපාවා ආරක්‌ෂා කරගැනීමේ උතුම් පරමාර්ථයෙනි. 1992 දී පැවැති ලෝක මිහිතල සමුඑවේදී ලෝකයේ සියලුම ජාතීන් තිරසර සංවර්ධනය සඳහා නව ප්‍රඥප්තියක්‌ සඳහා අත්සන් තැබූහ. ඒ අනුව සියලු රජයයන් රක්‌ෂිත ප්‍රදේශ කළමනාකරණය කළ යුතු වන්නේ සංරක්‌ෂණය තිරසර භාවිතය හා සමාන ලෙස ප්‍රතිලාභ බෙදාහදා ගැනීමේ ක්‍රමවේදයන් හරහාය. එහෙත් මෙතුවක්‌ කල් ජාතික උද්‍යාන ලෙස නම් නොකර වුවද අවුරුදු දහස්‌ ගණනක සංරක්‌ෂණ සංස්‌කෘතියකට හිමිකම් දක්‌වන ශ්‍රී ලාංකිකයන්ට තිරසර භාවිතය හා සමාන ලෙස ප්‍රතිලාභ බෙදාහදා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අමුතුවෙන් ඉගැන්විය යුතු නැත. කෙසේවකුදු විවිධ අණ පනත් හා නීතිරීති හමුවේ මේවනවිට "සංරක්‌ෂණය" වෙනුවට ස්‌වාභාවික සම්පත් කළමනාකරණයෙහි නියුක්‌ත නිලධාරීන් හුදෙක්‌ "ආරක්‌ෂණ" කාර්යය වෙත යොමුවී ඇත.

යටකී මිහිතල සමුළුව හා එහි තීරණ සැලකීමේදී ජාතික උද්‍යානවලදී උදාකර දිය හැකි තිරසර භාවිතය, සංචාරක කටයුතු පමණෙකි. සංචාරක කටයුතු තවත් ආකාරයකට අර්ථ ගන්වමින් එය සඳහන් කරණුයේ "පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය" (Ecotourism) වශයෙනි. පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අප සමත්ද? ඒ පිළිබඳ දුර්මත අපමණය. ප්‍රධාන කුලුනු තුනක්‌ මත පාරිසරික සංචාරක කර්මාන්තය ගොඩනැඟී ඇත. එනම් වගකීමක්‌ සහිතව යම් ස්‌වභාව ස්‌ථානයකට සංචරණය කිරීම, එම සංචරණය ස්‌වාභාවික සම්පත් සංරක්‌ෂණයට දායක වීම හා ඒ අවට ජනතාවගේ සුභසාධනය සිදුවීම ආදී වශයෙනි. මෙහිදී විශේෂ වන්නේ රක්‌ෂිත ප්‍රදේශයක්‌ අවට ජනතාවගේ සුබසාධනය සංචාරක කටයුතු හරහා සිදුකරලීමයි. එනම් ඔවුන් සමඟ සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ බෙදා හදා ගැනීමටය.

ජාතික උද්‍යානවල සංචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම තුළින් වන සතුන්, ගහකොළ හා පරිසර පද්ධතීන්වලට හානි සිදුවන බවට තර්කයකි. එහෙත් ජනතාව මෙහිදී සංචාරකයින් ලෙස උද්‍යානවලට පිවිසීමේදී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අරමුණ විය යුත්තේ ඔවුන් සංරක්‌ෂණයේ කොටස්‌කරුවන් බවට පත්කර ගැනීමයි. ඒ අනුව ජාතික උද්‍යානවල සංචාරක කටයුතු කළමනාකරණයකට ලක්‌විය යුතුය.

සංචාරක කටයුතු පිළිබඳ කරනු ලැබූ අධ්‍යයනයන්ට අනුව ජාතික උද්‍යානවල ක්‍රියාත්මක සංචාරක කටයුතුවලින්, නිසග නැතහොත් අන්තරස්‌ථ කාර්ය භාරයන් (Intrinsic Role) හා බාහිරස්‌ථ කාර්ය භාරයන් (Extrinsic Role) අපේක්‌ෂිතය. විවේකය හා ගිමන් හැරීම (Rest and Relaxation) හා පරිසරය පිළිබඳ දැනුවත්වීමයි (Environmental Understanding) නිසග කාර්ය භාරයන් වනු ඇත.

බාහිරස්‌ථ කාර්ය භාරයන් බොහොමයකි. දැනුම තුලින් සංරක්‌ෂණයට සංචාරකයා යොමුකිරීම මුලික කාර්ය භාරයයි. සංචාරකයන් උද්‍යානවලට ඇදී ඒම තුළ ඇස්‌ හා කන් ගණනාවක්‌  ක්‍රියාත්මකවේ. එමගින් ස්‌වාභාවික සම්පත් විනාශ විනාශකරුවන් නීතිවිරෝධී කටයුතුවල නියෑළෙන්නන් උද්‍යානවලට පැමිණීම අඩුවනු ඇත. ජාතික උද්‍යානවල ජෛව විවිධත්වය නිරීක්‌ෂණයෙන් හා උද්‍යාන කළමනාකරණය නිරීක්‌ෂණයෙන් සංචාරකයන් අතර සිටින පර්යේෂකයන්ට ජෛව විවිධත්ව සංරක්‌ෂණයට හා සංචාරක කළමනාකරණයට අවැසි තොරතුරු හා දත්ත ලබා දීමට පර්යේෂණ (Research) කිරීමට අවස්‌ථාව උදාවනු ඇත. ජාතික උද්‍යාන දේශපාලනික අස්‌තිත්වයකි. (Political Entity) ඒ අනුව සංචාරකයන් වැඩි වශයෙන් උද්‍යානවලට පැමිණීම හා දැනුවත්වීම හරහා ජාතික උද්‍යානවල කාර්ය භාරය කවරේද යන්න ජනතාව අතරට රැගෙන යා හැක. අනෙක්‌ අතට උද්‍යානවල ක්‍රියාත්මක අවසරපත්‍ර ක්‍රමය, නවාතැන් පහසුකම් හා අනෙකුත් සංචාරක පහසුකම් හරහා සංරක්‌ෂණයට අවැසි කෙරෙන ආදායම් ඉපදවීමට (Revenue Generation) උද්‍යාන කළමනාකරණයට හැකිවනු ඇත.

ජාතික උද්‍යානවල සංචාරක කටයුතු කළමනාකරණයේදී අරමුණු 04ක්‌ වැදගත් වේ. උද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්‌වාදය ඉහළ නැංවීම, සංචාරකයන්ට සතා සීපාවා පිළිබඳ කරුණු කියාදී ඔවුන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවිම හා ඒ තුළින් ඔවුන් සංරක්‌ෂණයේ කොටස්‌ කරුවන් බවට පත් කර ගැනීම හා සංචාරක සේවා හරහා මුදල් ඉපදවීමයි. උපදවන එම මුදල් හුදෙක්‌ සංරක්‌ෂණ කාර්යයට යොදා ගැනේ. ජාතික උද්‍යානයකට දඩමස්‌ සොයාගෙන පැමිණෙන සංචාරකයා උද්‍යානයෙන් පිටව යාමේදී මින්මතුවට දඩමස්‌ සොයන්නේ නැතැයිද තමන්ද වනජීවි සංරක්‌ෂණයට දායකවනවා යයි ආකල්පමය වෙනසක්‌ සංචාරකයා ඇති කිරීමට හැකිවන්නේනම් එම අරමුණු වඩාත් සාක්‌ෂාත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත ජාතික උද්‍යාන ගණන විසි හයකි. මෑත කාලයේදී ප්‍රකාශිත ජාතික උද්‍යානය වන්නේ ඩෙල්පේ ජාතික උද්‍යානයයි. ජාතික උද්‍යාන ප්‍රදේශයක ආර්ථීක මධ්‍යස්‌ථානයක්‌ විය යුතුය යන තර්කයේ සිට අප කටයුතු කළ යුතුය. එහිදී සංචාරක කටයුතු හුදෙක්‌ සංරක්‌ෂණ ක්‍රමවේදයක්‌ ලෙස හෝ උපාය මාර්ගයක්‌ ලෙස සැලකීම වටී.

පරිසර හිතකාමී සංචාරක කටයුතුවල ප්‍රතිලාභ අවම ප්‍රමාණවලින් අප භුක්‌තිවිඳිමු. ජාතික උද්‍යාන ආශ්‍රිත සංචාරක කටයුතු ආරම්භ කළ දිනයේ පටන් මෙරට ජාතික උද්‍යානවල සංචාරක කටයුතු විවිධාංගීකරණය වීම අල්ප වශයෙන් සිදුවී ඇත. එහෙයින් සංචාරකයන් ආකර්ෂණය හා ඔවුන් ඒ හරහා සංරක්‌ෂණයේ කොටස්‌කරුවන් බවට පත්කර ගැනීම ඉතාම අල්ප වශයෙන් සිදුවී ඇත. අප තවමත් ආරක්‌ෂණ මානසිකත්වයේ ජීවත්වන අතර සංරක්‌ෂණයේ ප්‍රතිලාභ අවට ප්‍රජාව වෙත ලබාදීමේ මන්දෝත්සාහයෙන් පසුවෙමු. අවට ප්‍රජාවට රක්‌ෂිත ප්‍රදේශයෙන් ප්‍රතිලාභ නොලැබෙනතාක්‌ කල් ඔවුන් හා වනජීවී නිලධාරීන්ට බොහෝවිට සිදුවන්නේ හොරා පොලිස්‌ සෙල්ලම සිදුකිරීමටය.

අප විසින් සංචාරක විභවයන් නියම ප්‍රමාණයෙන් භාවිතයට නොගෙන ඇත. යෙලෝස්‌ටෝන් ජාතික උද්‍යානය තරම් මේ දිවයිනේ ජාතික උද්‍යාන විශාල නොවුවත් ජෛව විවිධත්වයෙන් අපගේ ජාතික උද්‍යාන ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි තරම්ය. ආසියාවේ දෙවන ඉහළම ජෛව විවිධත්වය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. එනිසාම ජෛව විවිධත්වය පාදක කොටගත් විශාල සංචාරක විභවයකට අපි හිමිකම් කියමු. වනඅලින් 200 ක්‌ - 300ක්‌ පමණ එකම ස්‌ථානයක දැකිය හැකි ලෝකයේ එකම ජාතික උද්‍යානය මින්නේරිය ජාතික උද්‍යානයයි. ජාත්‍යන්තර ගුවන්තොටුපලකින් බසින සංචාරකයෙකුට ඉතාම කෙටි කාලයක්‌ තුළ වන අලියෙකු ඔවුන්ගේ ස්‌වාභාවික වාසස්‌ථානයක්‌ තුළ දැකිය හැකි එකම ජාතික උද්‍යාන පවතින්නේ ශ්‍රී ලංකාවේ පමණෙකි. ඒ උඩවලව ජාතික උද්‍යානයයි. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ පවත්නා ස්‌වභාවික පරිසරය  ලෝකයේ කිසිම රටක දැකිය නොහැක. එසේම ගෝණුන් වැඩිම සංඛ්‍යාවක්‌ දැකිය හැකි ලෝකයේ එකම ස්‌ථානය හෝර්ටන්තැන්නයි. එහෙත් සංචාරකයන් වැඩිදෙනකු හෝර්ටන්තැන්නට පැමිණෙන්නේ ලෝකාන්තය දැක ගැනීමටයි.

යාල හා විල්පත්තු ජාතික උද්‍යාන බොහෝ වනජීවීන්ගේ වාසස්‌ථානය. කොළ පැහැති පරිසරය හා කෙටි කාලයක්‌ තුළ සියලුම වනසතුන් නැරඹීමේ හැකියාව මේ ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සුවිශේෂීවේ. එසේම වෙනත් භාෂාවක්‌ නොදන්නවා වුවද යම් අයෙකුගේ උච්චාරණ විලාශය අනුව ඔහු හෝ ඇය විසින් දොඩන්නට ඇත්තේ මෙය යයි නිවැරදිව තීරණය කිරීමට මෙරට මාර්ගෝපදේශකයන්ට හැකියාව ඇත. ආවේණික සතුන් හා ගහකොළ අපේ උරුමයන්වේ. අප විසින් මේ විභවයන් සම්බන්ධව අධ්‍යයන සිදුකර නොමැත.සංරක්‌ෂණය පිළිබදව විවිධ දුර්මත ඇත. යෙලෝස්‌ටෝනයට මෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ජාතික උද්‍යානවලටද සංචාරක විභවයක්‌ ඇත. එහෙත් අප විසින් එම සංචාරක විභවය භාවිත නොකරමින් සිටී.

රටේ සංවර්ධනයේදී සංචාරක කර්මාන්තයට විශාල කාර්ය භාරයක්‌ සිදුකළ හැක. රක්‌ෂිත ප්‍රදේශයක්‌ වෙත සංචාරකයින් ඇදී ඒමේදී සංනිවේදන, ප්‍රවාහන, සෞඛ්‍ය, රැකී රක්‌ෂා, වෙළඳ හා ආර්ථීක ආදී වශයෙන් විවිධ කේෂත්‍රයන්ගේ දියුණුවක්‌ බලාපොරොත්තු විය හැක. නිදසුන් ලෙස විල්පත්තුව නිසා නොච්චියාගමත්, යාල නිසා තිස්‌සමහාරාමයත්, වස්‌ගමුව නිසා විල්ගමුවත් ආදීවශයෙන් නගරයන් දියුණුවී ඇත. මෙය සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභයකි. මෙම ප්‍රතිලාභ නොලැබුණේනම් රක්‌ෂිත ප්‍රදේශ මේවනවිට ගුණාත්මක භාවයෙන් කෙලෙසී ඇත. ඊට හේතුවන්නේ මේවනවිට යම් ප්‍රමාණයක ප්‍රතිලාභ ලැබුණද මෙරට රක්‌ෂිත ජාලයට පවත්නා තර්ජන තවදුරටත් පහව ගොස්‌ නොමැති බැවිනි.

සංචාරක කටයුතු ක්‍රියාත්මක කිරීමට සමගාමීව විවිධ ව්‍යාපෘති හරහා ජනවිහිදුම්කරණ (ඤපපමබසඑහ ධමඑරුaජය) වැඩසටහන් ක්‍රියාවට නැංවුවද එම වැඩසටහන්ද ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති ආධාර ලැබෙන තාක්‌කල් පමණක්‌ බව මෑත ඉතිහාසයෙන්ද පෙනී යයි. ජනවිහිදුමිකරණය හඳුන්වා දෙනු ලැබූයේ ඔවුන්ට ආර්ථීක ප්‍රතිලාභ විවිධ ජීවනෝපායන් හරහා හඳුන්වා දී රක්‌ෂිත ප්‍රදේශයේ ස්‌වාභාවික සම්පත් මත නීති විරෝධී හෝ නීත්‍යානුකූල යෑපීම අවමකිරීමටය. අනෙක්‌ අතට සැබෑවටම සංචාරක කටයුතුවල ප්‍රතිලාභ අවට ප්‍රජාවට ලැබී ඇත්නම් ජනවිහිදුම්කරණ වැඩසටහන් අවශ්‍ය නොවනු ඇත.

එහෙයින් ජාතික උද්‍යාන ආශ්‍රිත සංචාරක විභවයන් නිසි හා තිරසාර මට්‌ටමකින් අප විසින් භාවිතයට නොගෙන ඇති අතර, රක්‌ෂිත ප්‍රදේශ අවට ජනතාවගේ සුබසාධනය හා අවට ප්‍රජාව රක්‌ෂිත ප්‍රදේශ සංරක්‌ෂණයේ කොටස්‌කරුවන් බවට පත්කරගැනීමට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම සංචාරක කටයුතු විවිධාංගීකරණය, සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම හා ජාතික උද්‍යාන පිළිබඳව ප්‍රචාරය ලබාදීම ඉතා වැදගත්ය. එසේ වුවහොත් රක්‌ෂිත ප්‍රදේශ ජාලය ශක්‌තිමත්වන්නා සේම සංචාරකයින් යෙලෝටෝනයේ සිට යාල හරහා ලෝකාන්තයටත් (ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානවලටත්) පැමිණෙනු ඇත.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »