අාදී මානවයන් ගැන රහස් හෙළි කරන 'මළවුන්ගේ ලෙනකට' පිවිසෙමු

2017-10-20 11:28:00       229
feature-top
අපගේ වංශ කතා මූලාශ්‍ර වලට අනුව ලක් ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරු ඇතුළු පිරිසගේ පැමිණීමත් සමඟයි. නමුත් පුරා ඇතැම් ඉතිහාසඥයන් කියන්නේ ඊට වසර දහස් ගණනක සිට අප රටේ දියුණු මානව ශිෂ්ටාචාරයක් පැවැති බවයි.

එහෙත් පුරාවිද්‍යාඥයන් මේ මතය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ ක්‍රිස්තු පුර්ව වසර එක්ලක්ෂ විසිපන්දහසක සිට කෙමෙන් පරිනාමය වූ ආදි මානවයන් මෙලොව රටේ විසු බවයි. ඒ කෙසේ හෝ අද අප ඔබ කැඳවාගෙන යාමට සැරසෙනුයේ ඊට මෑත කාලීන ඉපැරණි මානව ජනාවාසයක් වෙතයි.

කොළඹ - නුවර පාරේ නිට්‌ටඹුව මංසන්ධියෙන් දකුණට හැරී කිලෝමීටර් පහක්‌ පමණ ගමන් කළ විට අත්තනගල්ල රජමහා විහාරය හමුවෙනවා. ඒ විහාරය පසුකර වමට හැරී පස්‌යාල පාරේ මඳ දුරක්‌ ගිය විට විහාරයේ මකර තොරණ අද්දරින් නැවත දකුණුපසට විහිදුණු මාවතක්‌ දැකිය හැකියි. එය ඇතාඋඩකන්ද, දුනුමාල, ඔස්සේ ගලපිටමඩ දක්‌වා දිවෙන මාර්ගයයි. අත්තනගල්ල රජමහා විහාරයේ සිට මෙම මාර්ගයේ කිලෝමීටර් හයහමාරක්‌ පමණ ගමන් කළ විට අලවල ග්‍රාමයට පිවිසිය හැකියි. මෙම ගම්මානයේ ඉහත්තාවට වන්නට පිහිටා ඇති අලවල පොත්ගුල් ලෙන රජමහා විහාරය අසලින් වැටී ඇති අතුරු මඟේ මඳ දුරක්‌ ඉදිරියට ගොස්‌ පොත්ගුල් කන්ද වනය මැදින් වැටී ඇති දුෂ්කර එහෙත් සුන්දර මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ඉහළට ගමන් කරන විට මෙම 'ආදි මානවයන්ගේ ඉසව්වට' පිවිසිය හැකියි.‍

2009 වසරේ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් සිදුකරන ලද කැණීම්වලට අනුව නිසැක ලෙසම අලවල යනු ප්‍රාග් ඓතිහාසික ආදි මානව ජනාවාසයන් බව තහවුරු වී තිබෙනවා. එම ජනාවාසය ක්‍රි.පූ. වසර 14,000-8,000අතර බවයි පැවසෙන්නේ.

බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මෙම අලවල ලෙන, සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත්. පරිපාලනමය වශයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අලවල උතුර ග්‍රාමසේවා වසමේ මෙම අලවල පොත්ගුල් ලෙන පිහිටා තිබෙනවා. නිට්‌ටඹුවට නුදුරු අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන කලාපයක මේ අලවල ලෙන පිහිටා තිබීමෙන් පැහැදිලි වන්නේ ආදී මානවයන්ද තමන්ගේ වාසස්ථාන සඳහා ජලාශිත ප්‍රදේශ තෝරා ගත් බවයි. පහතරට තෙත් කලාපීය වනාන්තරයකින් වට වූ කඳුකර භූමියක එක්‌ බෑවුමක්‌ මැද පිහිටි මෙම ප්‍රදේශය භූගෝලීය සාධක අනුව විමසා බලන විට මුහුුදු මට්ටමින් අඩි 800ත් 1300ත් අතර උන්නතාංශයකින් යුක්‌ත බව දැකිය හැකියි. මේ උන්නතාංශ සීමාව තුළ මුහුදු මට්ටමින් අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, මුහුදු මට්ටමින් අඩි 984ක්‌ උස අලවල මහ කන්දත්, මුහුදු මට්ටමින් අඩි 842ක්‌ උස කහගල කන්දත්, පිහිටා ඇති අතර පොත්ගුල් ලෙන මුහුදු මට්ටමින් අඩි 1029ක්‌ උස්‌ වූ කඳු ගැටයක පිහිටා තිබෙනවා.

අලවල පොත් ගුල් විහාරය පසුකර මීටර් 200ක් පමණ යන විට හමුවන මෙම ගුහා ලෙනට පිවිසිමට නිශ්චිත අඩි පාරක් නොමැති නිසා කන්ද තරමක් අසීරුවෙන් තරණය කර යුතු වෙනවා. කන්දේ ඉහළට නැඟුණු පසු දකුණු දිශාවට වන්නට පිහිටි වන ලැහැබ හරහා ගොස් ගුහාව තුළට පිවිසිය හැකියි.

ආදී මානවයන් අප මෙන් පවුල් වශයෙන් නොව කණ්ඩායම් වශයෙන් එකට ජීවත් වූ බවයි පුරාවිද්‍යාඥයන්ගේ මතය මෙම ගුහාව එකවර 50කට පමණ පිරිසකට අව් වැසිවලින් අරක්ෂා විමට හැකි කදිම ස්ථානයක්. මිට අමතරව ගුහා බිම පුරා විසිරිතිබු බෙලි කටු ආදී මානවයන්ගේ ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සංතෘප්ත කළ ඒවා බවට සැක නැහැ. ඊට අමතරව ගුහාව තුළ අදිමානවයා භාවිතාකල ගල් අයුධ හා ගල්, මෙවලම්අස්ථිමය, අයුධ සතුන්ගේ අස්ථි කොටස්පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබෙනවා.  ඒ අනුව අපට නිසැක ලෙසම තහවුරු කර ගත හැක්කේ ක්‍රිස්තු පුර්ව 14000-8000 දී පමණ මෙහි නොදියුණු ආදී වාසීන් ජීවත් වූ බවයි.



එහෙත් කාලයාගේ ඇවැමෙන්අප රටේ ශිෂ්ඨාචාරය ඇතිවී බුදු දහම ස්ථාපිත වු පසු ක්‍රිස්තු පුර්ව තුන්වෙනි සියවසින් පසුව මෙම ස්ථානය සංඝාවාසයක් බවට පත් වූ බව කටාරම් කොටා ඇති ලෙන සහ ඉපැරණි බ්‍රහ්මීය අක්ෂර වලින් තහවුරු වෙනවා. එමෙන්ම මෙම ස්ථානයට පොත්ගුල් යන නම භාවිතකොට ඇත්තේ පසුකාලීනව ඉපැරණි දහම් පොත් විශාල ප්‍රමාණයක් මෙම ලෙන තුළ සංරක්ෂණය කොට තිබු නිසා බව ගැමියන්ගේ විශ්වාසයි.

එමෙන්ම මෙම ස්ථානය ආශ්‍රිතව අලවල පුරාණ ලෙන් විහාරය පිහිටා ඇති නිසා මෙම චාරිකාවේදී අතිශය සංවර ශීලි වීමටත් පොලිතින් පාල්ස්ටික් ආදී නොදිරන ද්‍රව්‍ය පරිසරයට එක් නොකිරීමටත් අප වග බලා ගත යුතු වෙනවා.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »