පිදුරුතලාගල කඳු සෙවනේ සැඟවුණු මන්දාරම් නුවරට යමු

2017-11-28 09:55:00       219
feature-top
පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල යන කඳු පන්ති වලට මුවා වීම නිසා දවසේ වැඩි වේලාවක් අදුරු ස්වභාවයක් උසලන අපූරු ඉසව්වක් පිළිබඳවයි අද අපේ මේ විමසුම.

මේ ප්‍රදේශය හැඳින්වෙන්නේ මන්දාරම් නුවර යනුවෙන්. නුවරඑළි දිස්ත්‍රිකයට අයත් මේ ගම් පියසට  මහනුවරින්, රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල ඔස්සේ ඔබට පැමිණිය හැකියි. මේ මන්දාරම් නුවර නුවරඑළිය දිස්ත්‍රිකයට අයිති වුණත් සමශීතෝෂ්ණ දේශගුණයක් සහිත ගම්පියසක්.

සදාහරිත වන ගහනයකින් සහ දවසේ වැඩිම වේලාවක් මිහිදුමින් ගැවසුණු කඳු පන්තිවලට මැදි වූ මේ අපූරු පුරවරය කොළපතන ඇල්ල ඇතුළු සිඟිති දිය ඇලි කිහිපයකින් ද පොහොසත්.

මේ අපූරු පරිසරයට මහනුවර සිට වගේම නුවරඑළියේ සිටත් ළඟා වන්නට පුළුවන්. නුවරඑළියේ සිට මන්දාරම් නුවරට ඇති දුර කිලෝමීටර් 38 ක් පමණ වෙනවා.පිදුරුතලාගල පාමුල ඇති මීදුම් ගම්මානය ලෙස අතීතයේ සිට ප්‍රකට මෙය එකල 'මන්දාරම් පුරය' යනුවෙන් හැඳින්වූ බවත් මහනුවර රාජධානි යුගයේදී මෙය ඉතා බලගතු ශිව පූජකයෙකුගේ ග්‍රහණයට යටත් වී තිබූ බවත් පළමුවෙනි විමලධර්මසූරිය රජු ඒ ශිව පූජකයාගේ බලය බිඳ මේ පුරය බේරාගත් බවත් 'මන්දාරම්පුර පුවත' නම් ඵෙතිහාසික ග්‍රන්ථයේ සඳහන් හේන් සහ ආලින්දාකාර කුඹුරුවලින් ගහණ වූ මන්දාරම් පුර වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර පළිබෝධ නාශක ආදියෙන් නොකෙළෙසුණු සහල් සහ එළවළු මිලදී ගැනීම සඳහා මේ ප්‍රදේශය ඉතා සුදුසු බව කිව යුතුයි.තවමත් නාගරික ලක්ෂණ එක් නොවූ බෝධියක් මැදිකරගත්  මන්දාරම් නුවර කඩමණ්ඩිය පවා නිතර අඳුරු පැහැති මීදුමකින් වැසී යන අතර එහි ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ දවසේ වැ‍ඩිම වේලාවක් වෙළඳසල් තුළ විදුලි බුබුලු දැල්වීමට සිදුවන නිසා සෙසු ප්‍රදේශ වලට වඩා තමන්ගේ විදුලි බිල ඉහළ යන බවයි.
සාමාන්‍ය සංචාරකයන් මෙහි නොපැමිණියත් පරිසර සංචාරයේ නාමයෙන් මෙහි පැමිණෙන කණ්ඩායම් ‍මන්දාරම් නුවර විවිධ ස්ථාන වල රාත්‍රී කඳවුරු ඉදිකොට බීමත්ව අශීලාචාර ලෙස හැසිරෙන බව පවසන මෙහි ගැමියන් ඒ පිළිබඳව කතා කරන්නේ දැඩි නොසතුටකින්. ඒ අනුව ඔවුන්ගේ සදා  හරිත නිසල ගැමි වන පියස නාගරීකරනයෙන් වැනසෙනවාට දැඩි සේ අකමැති ඔවුන් එවැනි සංචාරකයන් මෙහි පැමිණෙනවාට වඩා නොපැමිණෙනවා නම් හොඳ යැයි අප හා පවසා සිටියා.එමෙන්ම මන්දාරම් පුර ආශ්‍රිතව දැනට ඉදිවෙමින් පවතින කුඩා ජල විදුලි බලා ගාර නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලට අයහපත් බලපෑම් සිදුවී ඇති අතර එය ප්‍රදේශයේ ජෛව විවිධත්වයට බලපෑම් ඇති කරන බවත්  එමගින් තමන්ගේ කෘෂිකාර්මික ජන ජීවිතයට ද බාදා පැමිණ ඇති බවත් පවසන එහි ගොවි ජනතාව පිදුරුතලාගල ඇතුළු කඳු වැටි හැරුණු කොට තමන් දෙස බලන වෙන කිසිවෙකුත් නොමැති බවයි අප හා සිනාසෙමින් කියා සිටියේ. එමෙන්ම වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනතාව හැරුණු කොට සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන මන්දාරම් නුවර ජනසමාජය තුළ ගුප්ත විශ්වාස තවමත් ශේෂව පවතින බව මේ ගමනේ දී අපිට මැනවින් වැටහීගියා. ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ සෑම පෙදෙසකම ස්භාසෞන්දර්ය නරඹන ඔබට මෙම මන්දාරම් පුරයෙන් ලැබෙන සුවිශේෂ අත්දැකීම අප රටේ වෙන කවර හෝ ස්ථානයක දී ලැබිය හැකි දැයි අපටනම් සිතා ගැනීමටවත් බැහැ.



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »