සොඳුරු මාවනැල්ල

2017-12-11 10:30:00       184
feature-top
පුරාණ හතර කෝරළයට අයත් මාවනැල්ල මහනුවර යනවිට අප පසුකර යන නගරයක් වුවත් එහි සුන්දරත්වය විඳ ගැනීමට නම් ඔබ සිතන්න නැතුව ඇති.  මාවනැල්ල පිහිටා ඇත්තේ කොළඹ සිට කි. මී. 90ක් දුරින්. රාජධානි සමයේ සෙංකඩගල අගනුවරට පිවිසෙන කඩයිමක් වුණේ මාවනැල්ලයි. මාඔය ගලාගෙන යන්නේ මේ නගරය ආසන්නයෙන්. පුරාණ ලෙන්විහාර, පර්වත කූට, වනවදුලු ආදියෙන් යුත් මෙහි සොබා සුන්දරත්වය ඔබ විඳගත යුතුම බව අප හැඟීමයි. මෙහි පිහිටි තවත් සුන්දර පර්වතයක් වූ දනකිරිගල ගැන පෙර ලිපියෙන් ඔබ කියවන්න ඇති.

දෙවනගල

දෙවනගල අවට කඳු – කුසුම්සිරි විජයවර්ධන

මාවනැල්ලේ සිට හෙම්මාතගම පාරේ කි.මී. 6ක් ගමන් කරන විට අප පිවිසින්නේ දෙවනගල ගම්මානයටයි. දෙවනගල ප්‍රසිද්ධ වී තිබෙන්නේ එම පර්වතය මත පිහිටා තිබෙන රජමහා විහාරය නිසයි. ඉබ්බෙකුගේ පිටක් වැනි පර්වතයේ විශාලත්වය අක්කර 72ක්.

විහාර මන්දිරය, දාගැබ, ධර්ම ශාලාව, පැරණි සංඝාවාසය සහ ශෛලමය විහාරයේ නටබුන් සහ ‍පොකුණ ද පිහිටා ඇත්තේ පර්වතයේ උසම කොටසේයි. මෙම පූජනීය ගොඩනැගිලිවලට මඳක් පහළින් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කැපවූ කුඩා දෙවොලක් දැකගත හැකියි.


පර්වතය මත පිහිටි දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

මේ ගල්පව්වට පිවිසීමට ගලේම කොටා සකස්කළ පියගැට තිබෙනවා. පර්වතය මතට උඩුකුරු කළ බේසමක පතු‍ලේ සිටින්නෙකුට මෙන් හාත්පසින් ඉහළ නැගී හතරකෝරළයේ කඳුවැටිත් මාඔය නිම්නයේ කෙත්වතුත් මනාව දැකගත හැකියි. බලන, දෙකිඳ, බෙල්ලාකඩ. අල්පිටිය, සැලව, ඌරාකන්ද ආදී කඳු ඒ අතර කැපී පෙනෙනවා. එළඟපිටිය, අම්බලකන්ද, රාස්සවකන්ද ඇතුළු දොළොස්බාගේ කඳු වළා අතර සැඟව තිබෙන අන්දමත් අලංකාර දසුනක් මවනවා.

පළමුවන විමලධර්මසූරිය රජු පිහිට වූ සෙල්ලිපියක් පර්වතය මත කොටා තිබෙනවා. එම පර්වත ලිපියේ දෙවනගල රතනාලංකාර හිමියන්ගේ ශාසන හිතකාමී වැඩපිළිවෙළ විස්තර කෙරෙනවා. එම ලිපියට අනුව පෘතුගීසි ආක්‍රමණ හමුවේ ලංකාව අරාජික නොවී උඩරට රජවීමට කොනප්පු බණ්ඩාරට (පසුව විමලධර්මසූරිය) උපකාර කළේ රතනාලංකාර හිමියන් බව සඳහන්. විහාරය අසල පිහිටා ඇති ‍පොකුණ අලංකාරයි. එය නෙළුම්මලින් ගැවසී තිබෙනවා.


විහාර බිම අලංකාර කරන පොකුණ- කුසුම්සිරි විජයවර්ධන

උඩරට මූර්ති ශිල්පයට නිදසුන් සපයන මෙහි ප්‍රතිමා මන්දිරය පොකුණට නුදුරින් දැකගත හැකියි. මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමාවකින් සහ බිතුසිතුවම්වලින් එය සරසා තිබෙනවා. පිළිමගෙයට නුදුරින් පිහිටා ඇත්තේ දාගැබයි. මේ දාගැබ කඩුගන්නාව කඳු තරණය කරන විටත් අපට පේනවා. පර්වතයේ එක් කොණක පිහිටා ඇත්තේ මහනුවර යුගයට වඩා පැරණි කාලයකට අයත් කළුගල් විහාරයක නටබුන්. මෙම ශෛලමය ගොඩනැගිල්ල ගෙඩිගේ සම්ප්‍රදායේ ගොඩනැගිල්ලක්. එය දිගින් අඩි 32ක් ද පළලින් අඩි 21ක් ද වෙනවා.


ශෛලමය ගොඩනැගිල්ල- කුසුම්සිරි විජයවර්ධන

විහාරයට නුදුරින් පර්වත බෑවුම පටන් ගන්නා ස්ථානයේම සිරිපතුල් ගලක් කැටයම් කර තිබෙනවා. සිරිපතු‍ලේ දිග අඩි 7ක්. එහි මඟුල් ලකුණු කැටයම් කර තිබෙනවා. සිරිපතුලට නුදුරින් පළමුවන විමලධර්මසූරිය රජුගේ සෙල්ලිපිය කොටා තිබෙනවා.


විහාරයේ බුද්ධ ප්‍රතිමා- කුසුම්සිරි විජයවර්ධන

මෙහි ඓතිහාසිකත්වය ඔප් නංවන පළමුවෙනි පරාක්‍රමබාහුගේ සෙල්ලිපිය කොටා තිබෙන්නේ පර්වතයේ උතුරු  බෑවුමේ. එය දැකගැනීමට නම් පර්වතය පහළට පියගැට පේළිය දිගේ බැසිය යුතුයි.

බතලේගල
අප දෙවනගල පර්වතය මතදී බතලේගල සොඳුරු දර්ශනය දුටුපසු එය තරණය කිරීමේ කැමැත්ත තවත් ඉහළ ගියා. කඩුගන්නාව පසුකරන විට දකුණු පසින් ඉහළ නගින කඳු අතර කැපී පෙනෙන බතලේගල ඔබ නිතර දකින් දසුනක්. එය ඈතට පොතක් මෙන් දිස්වන නිසා ඉංග්‍රීසින් එයට බයිබල් රොක් යයි කිව්වා. අපට එය පේන්නේ සීගිරිය වගේ නිසා සමහරු පුංචි සීගිරිය යන නමත් එයට යෙදුවා.


බතලේගල දෙවනගල සිට- කුසුම්සිරි විජයවර්ධන

බතලේගල නැගීමට මාවනැල්ල නගරයේ ඉඳලා අරණායක පාරෙන් ආවොත් දුර දුර කි.මි 13 ක් විතර ඇති. මේක අයත් වෙන්නේ හත්ගම්පල කියන ග්‍රාම නිලධාරි වසමට. බස්රථයකින් වුණත් පහසුවෙන් ළඟාවීමට පුලුවන්. මාවනැල්ල සිට දෙබත්ගම බසයක ගිහින් හත්ගම්පල හන්දියෙන් බැසගත යුතුයි. එහි සිට බතලේගල පර්වතයට යන නාම පුවරුවෙන් දක්වා ඇති බුලුගම්මන මාර්ගයේ කඳු පාමුලට කි. මී. 2ක් පයින් යායුතුයි. කඳු මුදුන දක්වා තවත් කි. මී. එකහමාරක් පමණ දුරයි. වංගු සහ දළ බෑවුම් සහිත මෙම මාර්ගය දැන් තාර හා කොන්ක්‍රීට්‌ යොදා පිළිසකර කර ඇති නිසා කුඩා වාහනයකින් වුවත් ගමන් කළ හැකියි. තේ, ගොරකා, කරාබු, ගම්මිරිස්‌, කෙසෙල්, පුවක්, කොස්‌ වැනි වගාවලින් පිරි ගෙවතුවලින් සමන්විත ගම්මානයක්‌ මැදින් මාර්ගය වැටී තිබෙනවා. සමහර තැනක හෙල්මළු කුඹුරුත් දකින්න ලැබෙනවා.


බතලේගල තරණය කරමින්- youtube.com

කන්දේ පර්වතය ආසන්නයට යනකම්ම ජනාවාස පැතිර තිබෙනවා. ඒ ගැමියන් ගතකරන්නේ දුෂ්කර ජීවිතයක් බවත් ඔබට දැකගැනීමට ලැබේවි.

බතලේගල පිහිටා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ. මේ පර්වතය මුහුදු මට්ටමේ සිට අඩි 2618 උසින් යුක්තයි. අද බතලේගල කඳු නගින්නන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වෙලා. සබරගමුව පළාත් සභාවෙන් මෙහි සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

බතලේගල කන්ද මුදුනේ වන පර්වතය පමණක් අඩි 540ක් පමණ උසයි. කඳු මුදුනට පිවිසීමට පර්වතය හරහා ඉතා සීඝ්‍ර බෑවුමක් තරණය කළ යුතුයි. පර්වතය අවට වනාන්තරයක් ද දක්නට ලැබෙනවා. අක්කර 150ක් පමණ විශාල එහි ඇටඹ, වල් දෙල්, හල්මිල්ල, බලබොඩ, බදුල්ල, කළුමැදිරිය, කිතුල් ඇතුළු ගස්වැල් පැතිර තිබෙනවා. කලවැද්දා, කබල්ලෑවා, වල්ඌරා, කොළ දිවියා ඇතුළු ක්ෂීරපායී විශේෂ රැසක්ද මෙහි ජීවත් වෙනවා.

කඳු මුදුනට පිවිසි අපු තැනිතලා පර්වතයක් අපට දැකගත හැකිය. එය විශෘලත්වයෙන්  අක්කර 6ක්. මෙම භූමියේ මෑත අතීතයේ දී විහාරයක් ඉදිකර තිබෙනවා. කඳු මුදුනට සබරගමු කඳු මෙන්ම මධ්‍ය කඳුකරයත් කදිමට දිස්වෙනවා. මේ දර්ශනයේ කැපීපෙනෙන්නේ රාස්සව කඳු අතරින් කඩාහැලෙනා අහුපිනි ඇල්ලයි.

වාකිරිගල

වාකිරිගල කන්ද- කුසුම්සිරි විජයවර්ධන

උඩරට සම්ප්‍රදායට අයත් ටැම්පිට විහාරයක් සහිත වාකිරිගල පොළොන්නරු යුගය දක්වා දිවයන ඉතිහාසයක් සහිත පූජනීය ස්ථානයක්. දඹදෙණි යුගයේද මේ විහාරය බැබලී තිබෙනවා. හතර කෝරළේ ගල්බොඩ කෝරළේට අයත් වාකිරිගලට  මාවනැල්ල අරණායක මාර්ගයේ විත් උස්සාපිටියෙන් හැරී ගල්අතර පාරේ ගමන් කළ යුතුයි. කඳු බෑවුම් සහිත පිටිසර පෙදෙසක පිහිටි මේ විහාරය ටැම්පිට විහාරයකින්, දාගැබකින් සහ ගල්ලෙනකින් ද සමන්විතයි. විහාර භූමියේ ඇති  කුඩා ගල්ලෙන තුළ දඹදෙනි යුගයේ පූජාවලිය ලියූ බුද්ධපුත‍්‍ර හිමි වැඩවිසූ බව පැවසෙනවා. ටැම්පිට විහාරය උඩරට සම්ප්‍රදායේ ප්‍රතිමා සහ බිතුසිතුවම්වලින් සමන්විතයි.


බලකොටු දුර්ගයේ ගල්දොරුවක්-කුසුම්සිරි විජයවර්ධන

පොළොන්නරුව සොලීන්ගෙන් බේරාගැනීම සඳහා පළමුවැනි විජයබාහු රජු(1070- 1114) සටන් සංවිධානය කළේ මෙම වාකිරිගල පිහිටි පර්වත බලකොටුවේ  සිට බව මහාවංශය සඳහන් කරනවා.  විහාරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වාකිරිගල කන්ද පිහිටා තිබෙනවා. එය පුරාණයේ හඳුන්වා තිබෙන්නේ වාතගිරි නමින්.  මෙම පර්වතයට පිවිසීම නම් ඉතා දුෂ්කරයි. එයට හේතුව ඒ වෙත වැටුණු නිසි මාර්ගයක් නැතිවීමයි. ගෙවතු හරහා ගැමියන්ගෙන් විස්තර අසාගෙන යායුතුයි. මෙහි පිවිසීමට ඇති දුෂ්කරබව නිසාම විජයබාහු රජු එය තම බලකොටුව වශයෙන් තෝරාගෙන තිබෙනවා. අපේ ඓතිහාසිකත්වය සොයාගෙන යන ගවේෂකයන්ට වාකිරිගල බලකොටුව අපූරු ගමනාන්තයක්. පර්වතය මතට අවට ප්‍රදේශයේ සුන්දර දර්ශනයක්ද දැකගත හැකියි.

පර්වතය මත අද දැකගත හැක්කේ කැලෑවක්. එය අක්කර 16ක විශාලත්වයකින් යුක්තයි. වාකිරිගල පුරාවිද්‍යා රක්ෂිතයක්. පැරණි ගල්කණු, ප්‍රාකාර කොටස් ආදිය එහි පිහිටා තිබෙනවා. ඒවා නිදන්හොරුන්ගේ විනාශයට ලක්වෙලා.


(under the courtesy of roar.media web)

More News »