ශ්‍රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම – මාදු ගඟ

2017-12-15 10:35:00       143
feature-top
ශ්‍රී ලංකාව් වැඩිම දූපත් ප්‍රමාණයක් සහිත ගංඟාව කුමක්දැයි ඔබෙන් ඇසුවොත්, පිළිතුර ඔබ බොහෝ විට නොදන්නවා ඇති. ඉතින් දූපත් 15ක් සහිත මාදු ගඟයි එයට පිළිතුර වන්නේ. සාමාන්‍යයෙන් ගංඟාවක් මධ්‍යම කඳුකරයෙන් ආරම්භව අනතුරුව රට පුරා ගලා ගොස් මුහුදට එකතු වීම සිදුවෙන නමුත් මාදු ගඟේ ඇති වෙනස වන්නේ රටේ පහළ කොටසින් ආරම්භවී කිලෝමීටර් 5-6 ක් පමණ දුර ගමන් කර අනතුරුව මුහුදට එක් වීමයි. මෙහි ඇති අන්තර්ජාතික වටිනාකම හේතුවෙන් වර්ෂ 2013 දී ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය රැම්සා තෙත් බිමක් ලෙස රැම්සා ලේකම් කාර්යාලය විසින් නම් කරනු ලබනවා. එය ශ්‍රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිමයි.

ඉතින් අද අපි ඔබ වෙත ගෙන එන්න අදහස් කරන්නේ මාදු ගඟ හා බැඳි පරිසර පද්ධතියේත් ඒ හා බැඳි කඩොලාන පද්ධතියේත් සුවිශේෂී විස්තරයක්. ඉතින් ලඟදි මාදු ගඟ පැත්තේ යන්න බලාගෙන ඉන්නවනම් හෝ මාදු ගඟේ මීට පෙර ගිහින් තියනවනම් මේ විස්තර ඔබට විශාල වශයෙන් වැදගත් වේවි. අපි කියන දේවල් වලට අමතරව තවත් විස්තර ඔබ දන්නවානම් comment එකකින් කියලා යන්නත් අමතක කරන්න එපා.

මොකක්ද මේ රැම්සා සම්මුතිය කියන්නේ

1960 දශකයේ මුළු යුරෝපයේම තෙත් බිම් සීග්‍රයෙන් අඩුවීම හා ජලාශ‍්‍රිත පක්ෂීන් විශාල ලෙස වඳ වීම වැනි තර්ජන වලට මුහුණපානවා. එය මූලික කොට ගනිමින් තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් 1971 පෙබරවාරි මස 2 දින ජාතීන් 18කගේ සහභාගිත්වයෙන් ඉරානයේ රැම්සාර් නුවරදී පවත්වනවා. එහිදී ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් අත්සන් තබන ලද අතර එය රැම්සාර් සම්මුතිය නමින් හැදින්වේ.

1971 අත්සන් තබා සම්මත කර ගත් මෙම සම්මුතිය 1975 වසරේ සිට බලාත්මක කරන්නට අදාල රටවල් තීරණය කරනවා. මෙම සම්මුතිය ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය සඳහා ක‍්‍රියාත්මක වන අතර දැනට රටවල් 160 කට වැඩි ප‍්‍රමාණයක් මෙයට අත්සන් තබා තිබේ. මෙම සම්මුතියෙහි පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ–

”ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අන්තර්ජාතික සහයෝගිතා මගින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිතා කිරීම” යි.

ජගත් තෙත් බිම් සංරක්‍ෂණය සඳහා වු සම්මුතියට ශ්‍රී ලංකා රජයද එකඟ වී අත්සන් තබා තිබෙනවා. ඒ අනුව රැම්සා සම්මුතියෙන් සංරක්‍ෂණය වන තෙත් බිම් කිහිපයක් මේ වන අප රටේ තිබෙනවා. ඒවා අතර බුන්දල ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය ආනවිලූන්දාව, වන්කාලේ සහ මාදු ගඟ අභය භූමිය සුවිශේෂියි.

පිහිටීම හා එදා සිට මේ දක්වා

මාදු ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ වටිනාකම හඳුනාගත් ශ්‍රී ලංකා සචාරක මණ්ඩලය විසින් සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස 2002 වර්ෂයේදී නම් කරනු ලබනවා. 2003 වර්ෂයේදී රැම්සා තෙත් බිමක් ලෙසත් අනතුරුව 2006 දී මාදු ගඟ ආශ්‍රිත හෙක්ටයාර් 2300ක් ප්‍රමාණයක් අභය භූමියක් ලෙසත් නම් කරනු ලබනවා.

ඌරගහ ප්‍රදේශයේ පොල්අතු කන්ද ආශ්‍රිතව ජල දහරා හා වර්ෂා ජලය එකතු වීමෙන් මුලින්ම නිර්මාණය වන මාදු ගඟ ටික දුරක් ගලා ඒමෙන් එකවරම විශාල ගංඟාවක් බවට පත් වෙනවා. දිගින් අඩු පළලින් වැඩි ජලාශයක් ආකාරයටයි මෙය නිර්මාණය වන්නේ. වැදගත්ම ලක්ෂණය වන්නේ මේ හා බැඳි කඩොලාන පරිසරය හා විශාල දූපත් ප්‍රමාණයයි. මාදු ගඟ හෙක්ටයාර 915ක් පුරා පැතිරී පවතින අතර ඉන් 770ක් ජලයෙන් වැසුණු තෙත් බිම් අතර 145ක් ගොඩබිම් වේ.

ප්‍රධාන ජල ධාරා 3කින් පෝෂණය වන අතර ඒවා මාගල ඇල,  හින් ඇල හා බොරලැස්ස ඇල ලෙස හදුන්වනවා. ජනප්‍රවාද වලට අනුකූලව මෙහි දූපත් 64ක් තිබූ බව සදහන් වූවත් වර්තමානයේ පවතින දූපත් ගණන 15ක් පමණයි.

මේ අතරින් විශාලම දූපත මාදූව (හෙක්ටයාර් 38.8) වන අතර දික්දූව, මිරලදූව හා මහලදූව විශාල අනෙක්  දූපත් වෙනවා. මාදූවේ පන්සලක් හා පාසලක්ද පිහිටා තිබෙනවා. කොත්දූව කුඩා දූපතක් වුවත් එය සංස්කෘතික අතින් වැදගත් වන අතර මෙහි කොත්දූව රජමහා විහාරය හා ඒ ආශ්‍රිතව පැරණි නටබුන් පිහිටා තිබෙනවා.

ශාක  විවිධත්වය

මෙම පරිසර පද්ධතිය තුළ ශාක මෙන්ම සත්ත්ව විවිධත්වය ඉතා අධිකයි. ශාක කුල 96කට අයත් ශාක විශේෂ 302ක් වාර්තා වී තිබෙන අතර මින් විශේෂ 19ක් ලංකාවට ආවේණික වන අතර විශේෂ 8ක් ජාතික වශයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. තවත් විශේෂ 8ක් ආගන්තුක ආක්‍රමණික ශාක වෙනවා.

ආවේණික ශාක අතර කටුකෙන්ද (Scolopia acuminata), ඉඳි (Phoneix zeylanica), ගොරකා (Garcinia quaesita), නා (Mesua ferrea) හා ගොඩපර (Dillenia retusa) ආදිය ප්‍රමුඛව හදුනා ගත හැකියි. තවද මෙම පරිසර පද්ධතියේ හමුවන ප්‍රමුඛ ආක්‍රමණික ආගන්තුක ශාක ලෙස වෙල් අනෝදා (Annona glabra ), මහෝගනී (Swietenia macrophylla), ගඳපාන (Lantana camara ), ජපන් ජබර (Eichhornia crassipes), සැල්වීනියා (Salvinia molesta) හා හයිඩ්‍රිලා (Hydrilla verticillata) හදුන්වා දෙන්නට පුළුවන්. මේ අතරින් කටුපෙද හා වෙල් අනෝදා වැනි ශාක පරිසර පද්ධතියට ඉතාමත් හානිකරයි.

ආක්‍රමණිකයන්ගේ හානිය

වෙල් අනෝදා ශාකය අඩි 10ක් පමණ උසට පදුරු ලෙස  වැවෙන අතර මෙම ශාකයේ කිසිදු ප්‍රයෝජනයක්ද නැහැ. බීජ ප්‍රරෝහණය 100%ක් බැවින් පැතිරීම ඉතාමත් වේගවත් වන  මෙම ශාක කදන් අතර රොන් මඩ තැන්පත් වීම හේතුවෙන්ද, ශාක වල අධික උත්ස්වේදනය හේතුවෙන්ද, වගුරු බිම් වියළි යාමට ලක් වෙනවා.

කටුපෙද ශාකයද මෑතක බෝ වුන ආක්‍රමණික ජලජ පැලෑටියක් වන අතර මේ හේතුවෙන් දූපත් අසළ විසි දැල් දැමීම, බිලී බෑම හා ඔරු, බෝට්ටු ඉවුරු අසළින් ගමන් කිරීම අපහසුදායක බව දුපත්වාසී ධීවරයන් පවසනවා. එමෙන්ම මසුන් හා ඉස්සන් බෝවීම අඩු වීමටත් මෙය බලපාන බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරනවා. මහෝගනී හා හවරිනුඟ ආක්‍රමණික ශාක ලෙස හැදින්වූවත් ඒවා දැවමය වශයෙන් වටිනාකමින් යුක්ත වෙනවා.

සත්ත්ව විවිධත්වය

පැතිරී පවතින භූමි ප්‍රමාණය හා සසදා බලන විට ඉතා පොහොසත් සත්ත්ව විවිධත්වයක් දකින්නට පුළුවන්. පරිසර පද්ධතිය තුළ කුල 121කට අයත් කශේරුකයින් (Vertebrate) විශේෂ 230ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මේ අතරින් විශේෂ 20ක් ආවේණික වන  අතර ඉන් ආවේණික විශේෂ 14ක්ම ජාතික වශයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. තවද ජාතික වශයෙන් තර්ජනයට ලක් වූ විශේෂ 30ක් මෙහිදී දැක ගන්නට පුළුවන්. මෙහි සිටින ජීවින් ප්‍රමාණය ලංකාවේ දේශීය ජීවින් ප්‍රමාණයෙන් 30%ක අගයක් ගන්නවා. මීට අමතරව සීත සෘතුව තරණය කිරීමට පක්ෂි විශේෂ 13ක් පමණ මෙම රැම්සා තෙත් බිමට එම කාලයේදී ළඟා වෙනවා.

මෙහි වාර්තා වන මත්ස්‍ය විශේෂ ගණන 70ක් පමණ වන අතර ඔවුන් කරදිය, මිරිදිය හා කිවුල්දිය යන අවස්ථා තුන යටතේම ජීවත් වෙනවා. මින් විශේෂ 2ක් පමණ ආවේණික වන අතර (ගංඟරා හා ඉරිහඳයා) තවත් විශේෂ 2ක් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා.

විශාල උරගයන් අතරින් කිඹුලා, කබරගොයා හා පිඹුරා හදුනා ගැනීමට හැකි අතර වර්තමානය වන විට කබරගොයන් වර්ධනය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර කිඹුලන් ගහනය ඉතා අඩු මට්ටමක් දක්වා පහළ බැස තිබෙනවා.

ක්ෂීරපායින් විශේෂ 24ක් පමණ වාර්තා වන අතර ඒ අතරින් කළු වදුරා, විල්මුවා, උණහපුළුවා, කොළ දිවියා හා දිය බල්ලා දැක ගන්නට පුළුවන්. ගොලුබෙලි විශේෂ 14ක් පමණ දැක ගන්නට ලැබෙන අතර සමනලුන් විශේෂ 50ක් පමණ හමු වෙනවා. විශේෂයෙන් මෙහිදී දැක ගැනීමට ලැබෙන ඉස්සන් හා කකුළුවන් ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා.

කඩොලාන පද්ධතිය

ලෝකයේ ඉතා සීමිතව දක්නට ලැබෙන ශාක විශේෂ කිහිපයක් ලෙස හදුනාගෙන ඇති කඩොලාන ශාක හෙක්ටයාර 52ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පවතිනවා. මේවා දූපත් වටාද, ගඟ ඉවුරු දෙපසේද හොදින් වැවී තිබෙනවා. මෙහි කඩොලාන ශාක විශේෂ 11ක් පමණ දකින්නට පුළුවන්. මේ අතරින් මහා කඩොල්, මල් කඩොල්, ගිංපොල්, රතමිල්ල හා ලේ කඩොල් දකින්නට පුළුවන්.

රතමිල්ල ගස් 21ක් පමණ දකින්නට ලැබෙන අතර ප්‍රදේශවාසීන්ට අනුව මෙම ගස් වසර 100ක් පමණ පැරණිය. මෙම ශාක වල අප්‍රේල් හා මැයි මාස වලදී රතු පැහැති විශාල මල් දකින්නට පුළුවන්.

මාදු ගඟ පරිසර පද්ධතියේ අනාගත ඉරණම

මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් වර්තමානය වන විට බොහෝ තර්ජනයන්ට මාදු ගඟ පරිසර පද්ධතිය මුහුණ පා සිටිනවා. වැටවල් ගැසීමට, ඉස්සන් කොටු සැදීමට, කුඩා නිවාස තැනීමට අධික ලෙස කඩොලාන ශාක විනාශ කිරීම දකින්නට ලැබෙන ප්‍රමුඛ පෙළේ තර්ජනයන්. සංචාරක කර්මාන්තය උදෙසා සාමාන්‍ය ඉදිකිරීම් නීතිය උල්ලංඝණය කරමින් පරිසර විවිධත්වයට උග්‍ර ලෙස හානි කිරීම් කර තිබෙනවා. සංචාරක කර්මාන්තය හා පැනනැගුනු තවත් ගැටළුවක් වන්නේ ඒ ආශ්‍රිත අපද්‍රව්‍ය තෙත්බිමට හා ජලාශයට එක් කිරීමයි. මාදු ගඟ ආශ්‍රිතව තවමත් එය විශාල ගැටළුවක් වී නොමැති අතර අනාගතයට එය එසේම පාලනය කිරීම ඒ ඒ අංශයන් සතු වගකීමක් වෙනවා.

කුරුදු වගාව සඳහා නීති විරෝධීව තෙත් බිම හෙළි පෙහෙළි කිරීමද වත්මන වනවිට විශාල  ලෙස උද්ගත වී තිබෙන ප්‍රශ්නයක්. කුරුදු වගාව විශාල ආර්ථික උත්පාදන ක්‍රියාවලියක් බැවින් මිනිසුන් ඒ සඳහා යොමු වී සිටිනවා. කුරුදු වගාව හේතුවෙන් පැන නගින විශාල ගැටළු අතරින් කඩොලාන කැපීම, පස සෝදා රොන් මඩ ගඟට එක් වීම. ජල පෝෂක ප්‍රදේශ අඩු වීම විශේෂයි.

මහා පරිමාණයෙන් නොවුනත් වැලි ගොඩ දැමීමද මෙහි දකින්නට පුළුවන්. වැලි ගොඩ දැමීමෙන් ගඟාවේ ඉහළ කොටස ගැඹුරු වීමෙන් ගඟ දිගේ ඉහළට කරදිය ගලා යාමේ හැකියාව පවතිනවා. මේනිසා ජලයේ ලවණතාවය වෙනස් වීම හේතුවෙන් කාලයත් සමඟම පරිසර ව්‍යුහයේ වෙනස්කම් ඇති වන්නට පුළුවන්.

මෙවැනි ගැටළුකාරී තත්වයන් මඟහරවා ගැනීමට අදාළ වගකීම් සහිත පාර්ශවයන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමෙන්, සුන්දර බිම්කඩ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කළ යුතු වන අතරම නූපන් පරපුරටත් මෙලෙසම සුන්දරත්වය විද සිත්සතන් සනසා ගැනීමට ඉඩ හසර විවර කරදීමට කටයුතු කළ යුතු වෙනවා නේද?


(under the courtesy of roar.media web)

More News »