සංචාරක දෙනෙතින් සැඟවුණු කවුඩුල්ල ජාතික වන උද්‍යානය

2017-12-18 11:42:00       711
feature-top
ජාතික වන උද්‍යාන කියපු ගමන් අපට මතක් වෙන්නේ යාල (රුහුණ), විල්පත්තුව, කුමන උඩවලව වගේ ප්‍රසිද්ධ උද්‍යාන කිහිපයක් පමණයි. ඉතින් අද අපි කතා කරන්න හිතුවා ලංකාවේ එතරම ප්‍රසිද්ධ නැති නමුත් ස්භාවික සෞන්දර්යයෙන් අනුන වූ ජාතික වන උද්‍යානයක් ගැන. ඒ ලංකාවේ විශාල ජලාශයක් වන කවුඩුල්ල වැව පෝෂක කරගෙන බිහිවූ මහඟු සොබා දහම් තිළිණයක් වන කවුඩුල්ල ජාතික උද්‍යානය පිළිබඳවයි. ඊට පෙර ජාතික උද්‍යාන බිහි වූ හැටිත් ජාතික උද්‍යානයක් යනු කුමක්ද කියන එකත් කෙටියෙන් විස්තර කරලා තියනවා.

ජාතික වන උද්‍යාන බිහි වූ අයුරු
1937 දී වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අවශ්‍යමය නීතිමය ප්‍රතිපාදන සකසා වනජීවී රක්ෂිත ලෙස ප්‍රදේශ කිහිපයක් නම් කරන ලදී. වර්තමානය වන විට වනජීවි රක්ෂිත වල මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 862,219 කට අධිකය. එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% පමණ වෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් කළමනාකරණය කරනු ලබන මෙම රක්ෂිත භූමි කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ඒ ජාතික රක්ෂිත භූමි හා අභය භූමි ලෙසයි. ජාතික රක්ෂිත භූමියක රජයට අයිති ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම්ද තිබෙනවා.

ජාතික රක්ෂිත භූමී නැවතත් එහි අරමුණු අනුව කොටස් හතකට වර්ග කර දක්වන්න පුළුවන් මේ විදිහට.

දැඩි ස්වභාව රක්ෂිත
ජාතික උද්‍යාන
ස්වභාව රක්ෂිත
වන පිවිසුම්
ආරක්ෂා ස්ථාන
සමුද්‍රීය රක්ෂිත
සීමාන්තරික කලාප
ජාතික වන උද්‍යානයක් යනු කුමක්ද?
වනජිවින්ට පුර්ණ  ආරක්ෂාව සපයමින් මහජනතාවට වන සතුන් හා ස්වාභාවික පරිසරය නැරඹීමට හා අධ්‍යනය කිරීමට ඉඩ සලසා දෙනු ලබන ජාතික රක්ෂිත භූමි වර්ගයකි. දිවයිනේ තිබෙන සියලුම දේශගුණික හා භූගෝලීය ප්‍රදේශ ආවරණය කරමින් ජාතික උද්‍යාන ප්‍රකාශයට පත් කරලා තියනවා. ඇතැම් ඒවා විවිධ අවස්ථාවන් වලදී ප්‍රකාශයට පත් කරන ලද කොටස් කිහිපයකින් යුතු වෙනවා.

කවුඩුල්ල උද්‍යානයට මුල් වූ කවුඩුල්ල වැව

කෘෂි කර්මාන්තය මත පදනම් වී ස්භාවික පරිසරය හා තදින් බැදුණු ශ්‍රී ලාංකික ඉපැරණි සංස්කෘතියෙහි කොඳු නාරටිය වුයේ රට පුරා විහිදුනු වාරි කර්මාන්ත  පද්ධතිය කියලා කිව්වොත් එයට ඔබ අනිවාර්යෙන්ම එකඟ වේවි. මීට සියවස් දහහතකට ඉහතදී බිසෝ බණ්ඩාර රාජ කුමරිය නොහොත් මහසෙන් රජුගේ නැගණියන් විසින් කරවනු ලැබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති දැවැන්ත කවුඩුල්ල ජලාශයට අත් වන්නේ අද්විතීය ස්ථානයක්. ශ්‍රී ලංකාවේ වැවු බැදී පුරවරය වන පොළොන්නරුවේ විශාලම ජලාශය වන්නේත් කවුඩුල්ලයි. කවුඩුල්ලේ ප්‍රධාන ජල සැපයුම වන්නේ මහසෙන් රජු ඉදිකරවන ලඳ මින්නේරිය ජලාශයේ සිට විහිදෙන මින්නේරිය – කන්තලේ යෝධ වැවයි. කවුඩුල්ල ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ආශ්‍රිත වනාන්තරය ජෛව විවිධත්වයෙන් පොහොසත් ස්භාවික සෞන්දර්යයෙන් අනූන බිම් කඩක්.

අක්කර අඩි 104,000ක ධාරිතාවක් ඇති කවුඩුල්ල වැවේ ජල පෝෂක වනාන්තරය පුළුල්ව පැතිරී තිබෙනවා. ප්‍රදේශයේ වනජීවින් විශේෂ බොහොමයකට නිවහන වන මෙය විශේෂයෙන් අලි ඇතුන් බොහෝමයක් වෙසෙන ප්‍රදේශයක්. ජෛව විවිධත්වය ඉතාමත් ඉහළින් ඇති බැවින් දිගු කාලීනව ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 2002 වසරේ අප්‍රේල් පළමු දින විශාලත්වය හෙක්ටයාර 6900ක් පමණ වන පෝෂක කොටස ශ්‍රී ලංකාවේ 15 වැනි ජාතික උද්‍යානය ලෙස නම් කරනු ලබනවා. උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිංහල පත්තුවේ මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ තුළ කවුඩුල්ල වන උද්‍යානය විහිදී තිබෙනවා.

ගමන් මඟ

කවුඩුල්ල ජාතික උද්‍යානය කරා ළඟා වෙන්නට ප්‍රධාන ලෙස මාර්ග දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඒ කොලඹ දෙසින් පැමිණෙන්න සංචාරකයන්ට හා පොලොන්නරුව දෙසින් පැමිණෙන සංචාරකයන් සඳහායි.

කොලඹ දෙසින්- කොලඹ සිට හබරණ දක්වා පැමිණ හබරණ මංසන්දියෙන් ත්‍රිකුණාමලය මාර්ගය ඔස්සේ ගමන් කර අනතුරුව හමුවන හතරැස් කොටුව මංසන්දියෙන් හැරී ගල්ඔය දුම්රිය මංසන්ධිය දෙසට යන විට ඒ ආසන්නයේ පිහිටා ඇති උද්‍යාන මුලස්ථාන කාර්යාලයට පැමිණිය හැක.

පොළොන්නරුවේ දෙසින් – වඩා පහසු වන්නේ පොලොන්නරුව – හබරණ මාර්ගයේ (A011) 45 වැනි කිලෝමීටර කණුව අසල ඇති මින්නේරිය- ගල් ඔය මාර්ගය ඔස්සේ රොටවැව හරහා පැමිණීමයි.

සුවිශේෂී භූගෝලිය ලක්ෂණ

මුහුදු මට්ටමින් මීටර් 60-500ත් දක්වා උසින් යුත් කඳු පන්තියක් උද්‍යානයේ බටහිර ආසන්නයේ දකින්නට පුළුවන්. නැගෙනහිර කොටස මායිම් වන්නේ කවුඩුල්ල ජලාශයටයි. ඒ අතර පිහිටන කොටස සමන්විත වන්නේ ලඳු කැළයකින් යුත් තැනිතලා බිමකින්. මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර  1500-2000 ත් අතර අගයක් ගන්නවා. ඊසාන දිග මෝසම් වැසි ලබන මෙම ජාතික උද්‍යානයට අප්‍රේල් සිට ඔක්තොම්බර් දක්වා පවතින්නේ ඉතාමත් වියළි කාලගුණික තත්වයක්. උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 20.6 ත් 34.5ත් අතර අගයක් ගන්නවා. උද්‍යානය හරහා වැටි ඇති යෝධ ඇළ දකුණු මායිමේ සිට උතුරු මායිම දක්වාත් ඉන් ඔබ්බට කන්තලේ දක්වාත් විහිදී පවතිනවා.

වෘක්ෂලතා

දකින්නට ලැබෙන සියලුම ශාක වර්ග අයත් වන්නේ වියළි කලාපිය සදාහරිත වනාන්තර වර්ගයටයි. ශාක ප්‍රජාව සැලකීමේදී කුඹුක් ( Terminaliya arjuna ), පලු (Manilkara hexandra), වීර (Drypetes sepiaria), මයිල (Bauhinia racemosa), මාදන් (Syzygium cumini) වැනි වියළි කලාපිය ශාක බහුලව වශයෙන් දකින්නට පුළුවන්.

ඊට අමතරව විවිධ වර්ග වල තෘණ වර්ගද හමු වෙනවා.ජෛව විවිධත්වයෙන් යුතු ශාක පද්ධතිය ජිවත් වන සතුන්ට ආහාර හා සෙවන නොඅඩුව ලැබීමට හේතූවක් වෙනවා.

වනඅලි ප්‍රමුඛ වන සතුන්

කවුඩුල්ල ජාතික උද්‍යානයේ ඉතාමත් වැදගත් කරුණ වන්නේ වන අලි (Elephas maximus maximus) නැරඹීම සඳහා දුර්ලභ අවස්ථාවන් උදා වීමය. වියළි සමයේ වුවත් ආහාර හා ජළය හොඳින් තිබෙන බැවින් වන අලින් සඳහා කවුඩුල්ල හොඳ තෝතැන්නක් බවට පත්වෙනවා. හිරු බැස යන හවස් යාමයේ වැවු ඉස්මත්තේ ජල ක්‍රීඩා කරමින් පසුවෙන වන අලි රංචු සෑම දිනකම පාහේ දකින්නට පුළුවන්.

අලින්ට අමතරව එහිදී හමුවන විශාල ක්ෂීරපායින් අතර දිවියා (Panthera pardus) සහ වලහා (Melursus ursinus ) හදුන්වා දෙන්න පුළුවන්. තවද කවුඩුල්ල යනු ගෝනුන් (Cervus unicolor), තිත් මුවන් (Axis ceylonensis) විශාල වශයෙන් දකින්නට හැකි වන උද්‍යානයකි. ඔබ ගමන් කරන වාහනයේ ශබ්දයට බිය වී දුවන මුවන් හා ගෝන්නු රංචු කවුඩුල්ලේ සුලභ දසුනක්. තවද මීමින්නන් (Tragulus meminna), වල්ඌරන්(Sus scrofa) ද පහසුවෙන් දැක බලා ගන්න පුළුවන්.

කවුඩුල්ල ජලාශය අශ්‍රිතව ඇති තෙත් බිම් කොටසේ ජලාශ්‍රිත පක්ෂීන් වර්ගද දකින්නට ලැබෙනවා. දේශීය මෙන්ම සංක්‍රමණික පක්ෂීන් වර්ගද හදුනා ගන්න පුළුවන්. දේශීය පක්ෂී විශේෂ අතර දියකාවුන්(Phalacrocoraxniger), කලපු කොකුන් (Ardea cinerea cinerea), ලතුවැකියන් (Mycteria leucocephala), චීවරතුඩුවන්(Anastonus oscitans) නිතරම පාහේ දකින්නට ලැබෙනවා.

සංචාරකයන් සඳහා පහසුකම්

සුප්‍රකට ගල් ඔය මංසන්දිය අසල පිහිටා තිබෙන උද්‍යාන මුලස්ථාන කාර්යාලයෙන් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ලබාගන්න පුළුවන්. දේශීය සංචාරකයන් සඳහා අඩු මුදලකට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සතුටට කරුණක් වෙනවා. සංචාරකයන්ගේ පහසුව සඳහා උද්‍යානය තුළ මාර්ග පද්ධතියද හොදින් වැඩි දියුණු කර තිබෙනවා.

කවුඩුල්ල නරඹන ඔබ

වනාන්තරය අයිති වන්නේ වන සතුන්ටයි, ඉතින් අපි එහි ආගන්තුකයන් පමණයි. සතුන්ට බාධා වන අයුරින් වාහනය ධාවනය, ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, කෑ කෝ ගැසීම නොකළ යුතු වෙනවා වගේම වාහනයෙන් නොබැස තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු වෙනවා. අසුරණ, දවටන වනාන්තරයට එක් කිරීම තුළින් ඒවා ආහාරයට ගන්නා සතුන් මිය යාමට පුළුවන්. ඒ වගේම නීති විරෝධී කිසිවක් උද්‍යානයෙන් පිටතට රැගෙන යාම නොකළ යුතු වෙනවා. ප්‍රවේශ පත්‍රයේ සටහන් වෙලාවට වඩා රැදී සිටීමත් එතරම් හොඳ දෙයක්නම් නොවෙයි.

වනජීවී දෙපාර්තුමේන්තුව විසින් කවුඩුල්ල උද්‍යානයට පිවිසෙන මාර්ගයේ පුවරුවක  සටහන් කර තිබූ තදින්ම සිතට කාවදින උපදෙසකින් මේ ලිපිය නතර කරන්නයි අපේ සුදානම.


(under the courtesy of roar.media web)

More News »