කොග්ගල චමත්කාරය විඳගන්න

2017-12-21 11:19:00       117
feature-top
කොළඹ සිට බෙන්තර ගඟින් එතෙරවෙලා ගාල්ල හරහා කොග්ගලට ඇති දුර කි. මී. 145ක්. අධිවේගී මාර්ගය නිසා මේ දුර දැන් තවත් අඩුවෙලා. ගතවන කාලයත් පැය එකහමාරකට සීමා වෙලා.  මේ නිසා කාටත් පහසුවෙන් එක්දින චාරිකාවකට කොග්ගලට පැමිණ, මඩොල්දූවත් බලාගෙන කොග්ගල ඔයේ බෝට්ටු චාරිකාවක් යන්නත් පුළුවන්.


මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ප්‍රතිමාවක් – මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය

“ගමක් වශයෙන් කොග්ගල අවුරුදු හත් අට දහසක් වත් පැරණි යයි කියන ලකුණු පොළවේ යට මිස උඩ නොදක්නා ලැබේ. බිම්කඩක් වශයෙන් ඒ ගම අවුරුදු කෝටි ගණනක් පැරණි යයි කියන්නේ රේල්පාර අයිනෙහි පිහිටි පර්වතයකි. මුළු ගම එකම රුක් ගොමුවක් කරන පොල්ගස් හා අනික් ගස්කොළන්ද වැඩී මල් ඵල ගන්වා මහලු වී විනාශ වෙයි. සත්තු කලක් ජීවත්ව සිට මියෙති. මිනිසුන් නූගත්කමින් හා දැඩි දිළිඳු කමින්ද තමන්ගේ වරදින් හා ජගත් ශක්තියෙන් මිරිකි මිරිකී පිඩා විදිමින් සිට මියෙති “.- ගම්පෙරළිය 1 පිටුව

මෙම විස්තරය මගින් මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ සඳහනින්ම කොග්ගල ග්‍රාමය කෙබඳු ආකාරයක එදා තිබුණාද යන්න සිතාගත හැකියි.

කොග්ගල උපන් මාර්ටින් වික්‍රමසිංහ තම නිර්මාණ කෘති හරහා එගම ලෝකයට රැගෙන ගියා. කොග්ගල කලපුව අසබඩ පොල්වත්තක පිහිටි මේ ලේඛකයා උපන් නිවස පසුව ජනකලා කෞතුකාගාරයක් බවට පත් කළා. ඒ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින්.

කොග්ගල පිළිබඳව මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ තම ජීවන චරිතාපදානය වූ උපන්දා සිට කෘතියේ සඳහන් කරන්නේ මෙලෙසින්.

මම අවුරුදු 30 කට වැඩි කලක් කොග්ගල ජීවත් වූයෙමි.බොහොම සුන්දර ඔය හා ගැමියන් නිසා මා තුළ දැඩි ඇල්මක් හටගත්තේය. ඔය,ලන්දු,බැදි සතුන් හා මිනිසුන් ද සහිත ගැමි පරිසරය සිහිකිරිමෙන් මම දැනුදු සන්තෝෂයක් ලබමි. මාගේ නවකතාවලට පමණක් නොව විචාර නිබන්ධන වලටත් සංස්කෘතික මානව විද්‍යාව හා දර්ශන පිළිබඳ “සත්ව සන්තතිය”ටත් පිටුපසින් පවා මගේ ගැමි අත්දැකිම් හා ගැමි පරිසරය මා කෙරෙහි පෑ බලයද සැඟවී සි‍ටියි. මගේ නවකථාවල චරිත මා වර්ණනා කළ ගැමි පරිසරය නිසා පණ ලබයි. ඔවුන්ගේ හුස්ම ඒ ගැමි පරිසරයයි. ඒ හුස්ම නොමැතිව ඔවුනට ජීවත් විය නොහැකිය.


වික්‍රමසිංහ සමාධිය – මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය

ජන කලා කටුගේ
අද කොග්ගලට යන අපට මඩොල්දූවට අමතරව කොග්ගල වෙරළ තීරයත් මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයත් නරඹන්න පුළුවන්. ජනකලා කෞතුකාගාරය පිහිටා ඇත්තේ ගාලු මාතර පාරේ සිට පයින් ඇවිද යන දුරකින්.

පාරම්පරික ගැමි තාක්‌ෂණය හා බැඳුනු දැනුම ඒකරාශි කොට එය අනාගත පරපුරට හඳුන්වා දෙන අයුරින් විධිමත්ව සැකසී ඇති කොග්ගල ජන කෞතුකාගාරය ප්‍රදර්ශන මැදිරි පහකින් සමන්විත වෙනවා. වැවෙන් උපන් සභ්‍යත්වය සංකේතවත් කරන බිසෝ කොටුව, බෝධිය, සෙල්ටැම් ආදී ආකෘතීන් හා අතිශය විරල සිත්තම්වලින් සැරසුණු ධාතු මංජුසාව කේන්ද්‍ර කොටගෙන ඒ වටා පෙළ ගැසුණු කෞතුක වස්‌තු දැක්‌ම ඇරැඹෙන්නේ බෞද්ධාගමික සංකේත හා ජන ඇදහිලි නිරූපණය කෙරෙන භාණ්‌ඩවලින්. ආදිකාලීන යුගයේ සිටම පැවත එන ගැමි ජනතාවගේ ප්‍රධාන වෘත්තීන් වන කෘෂිකර්මාන්තයට හා ධීවර කර්මාන්තයට හා අදාල දුර්ලභ ගණයේ කෞතුක භාණ්‌ඩ රැසක්‌ ද මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.

මෙම කෞතුකාගාරය නරඹා අතීත ජනතාව සතුව පැවති ජීවිත පරිඥානය පිළිබඳ දැනුමෙන් මනස පුරවාගෙන පිටතට පැමිණෙන සංචාරකයාට හමුවන්නේ මනරම් කඩොලාන තුරුලිය ගොමුවලින් හා තණබිමෙන් වැසීගිය කෞතුකාගාර වටපිටාවයි. පොල් රුප්පා යටින් වැටී ඇති පටු මං පෙත් ඔස්‌සේ ඉදිරියට යන නරඹන්නන්ට ඉන් අනතුරුව පැරැණි යාන වාහන, ඔරු පාරු යාත්‍රා නැරඹිය හැකියි. අලි කරත්තයේ සිට මාදැල් පාරුව දක්‌වා ඇති විවිධ තරාතිරමේ ගැල් සහ ඔරු පාරු අපේ පැරැණි මුතුන් මිත්තන්ගේ ගමන් බිමන් හා වෘත්තීන් ගැන සිහිපත් කරවනවා.

පල දෙකකින් යුත් සිංහල උළු යෙදූ මාර්ටින් වික්‍රමසිංහ උපන් පාරම්පරික නිවස අපට සිහිපත් කරවන්නේ වසර දෙසීයකට පමණ පෙර පැවැති ග්‍රාමීය ප්‍රභූවරයකුගේ නිවසයි. පැරැණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‌ෂණ පිළිබිඹු කෙරෙන මෙම නිවස අවට භූමිය දෙවෙනි ලෝක යුද සමයේ ( 1940 දශකයේ) ආණ්ඩුවට පවරා ගත්තා. ඒ යුද අහස් යානා තොටුපොළක් සඳහායි. පසුව වනගතව පැවති එම නිවාස හා භූමිය යළිත් මහා ලේඛකයාටම පවරා දුන්නා.

මාර්ටින් වික්‍රමසිංහයන් මියයන විට එතුමා උපන් නිවස හා අක්‌කර දෙකක පමණ භූමි භාගයකට හිමිකම් කී මෙම පරිශ්‍රය අද වන විට අක්‌කර අටක තුරුලිය ගොමුවෙන් හා ඊට අනුරූපව ඉදිවුණු ගොඩනැගිලි කිහිපයකින් හෙබි මනරම් උයනක සිරිය උසුලනවා. වත්ත කෙළවර පිහිටා ඇත්තේ ඉපැරැණි බෝධියක්. එයට නුදුරින්  මාර්ටින් වික්‍රමසිංහ සමාධිය පිහිටා තිබෙනවා.

කොග්ගල කලපුව

එහි සිට මඳ දුරක් ගමන් කළ විට කොග්ගල කලපුව හමුවෙනවා. මඩොල්දූව ඇතුළු දූපත් කිහිපයක්ම මේ කලපුවේ දක්නට ලැබනවා. ඒ අතරින් ගංදූව ආරණ්‍යයක්. එයට ගමන් කිරීමට ජලය මතින් මහාමාර්ගයක්ද සකසා තිබෙනවා. සිත් නිවන පරිසරයක් මේ භූමියේ දී විඳගත හැකියි. භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ වැඩ වසන එහිදී අසංවර හැසිරීමකට නම් ඉඩක් නැහැ.

මඩොල්දූව වැනසිලා
මඩොල්දූවට ගමන් කිරීමට අද බෝට්ටු බහුලයි. මේ නිසා අවට පරිසරයටත් හානි පැමිණෙනවා. මේ දූපත මෑත අතීතයේදී සංචාරකයන් අතර ජනප්‍රිය වුණා. අප රටේ සංචාරකයන් පමණක් නොවේ, විදේශිකයන් විශාල සංඛ්‍යාවක් ද මේ දූපතට බෝට්ටු චාරිකා යන්නට කැමතියි උපාලි ගිනිවැල්ල ජින්නා යන දෙමිතුරන් ප්‍රධාන චරිත වූ මඩොල්දූව යොවුන් නවකතාව මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ 1947 දීයි. එය වැඩිම මුද්‍රණ සංඛ්‍යාවක් පළ කළ ලංකාවේ යොවුන් නවනකතාව ද වෙයි. අදටත් මඩොල් දූව නවකතාව ළමුන් අතර ජනප්‍රියයි.

උපාලි හා ජින්නා මඩොල්දූවට ගොස් එය වගාකරන්නේ ගෙදරින් හොර රහසේ පැන ඇවිත්. එහෙත් මඩොල්දූවට යන අපට දැකගත හැක්කේ කුඩා දූපතක්. එය ලඳු කැලෑ සහ කඩොලාන ශාකවලින් පිරුණු අක්කර දෙකහමාරක් විශාල බිම්කඩක්. ඒත් වික්‍රමසිංහ එය මහා දූපතක් ලෙස පරිකල්පනය කර තිබෙනවා. කොග්ගල ඔයේ තවත් දූපත් කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ ආශ්‍රයෙන් තවත් දුපත් හත අටක් එකක් හැටියට සිතාගෙන කරන ලද මෙය ඔහු විසින් කරන ලද සාර්ථක නිර්මාණයක්. පසුව මඩොල්දූව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් චිත්‍රපටයට නැගුණා. එය ජාත්‍යන්තර සම්මානයටද පාත්‍ර වුණා.

මඩොල්දූව නවකතාවේ එම දූපත හඳුන්වා දෙන්නේ මෙහෙමයි.

අපේ හේන එල්ලේ ගඟ මැද පිහිටි දූපතක් වෙයි. එය ගැමියන් හැඳින්වූයේ මඩොල්දූව නමිනි. කොග්ගල ඔයෙහි තැනින් තැන පිහිටි දූපත් රාශියෙන් මෙය ගැමියන් අතර ප්‍රකට වූයේ නපුරු මූකලානක් ද සර්ප විමානයක් ද හෙයිනි. එගොඩත් මෙගොඩත් පිහිටි ගම් තිහ හතලිහක මිනිසුන් අතීතයේ නයින්, මාපිලුන්, පොලොඟුන් ආදී සර්පයන් අල්ලා ඔරුවලින් ගෙන ගොස් දමන්නේ මඩොල්දූවටය. ගැමියෝ තමන්ගේ වත්තට ඇදෙන නයකු හෝ පොළඟකු අල්ලා මල්ලක දමාගෙන ගොස් මේ දූපත අසලදී මුදාහරිති. (මඩොල්දූව, 53 පිට)

ගම්පෙරළියේදී ද මාර්ටින් වික්‍රමසිංහ යොදා ගන්නේ මේ අවට පරිසරයයි. මහගෙදර, කයිසාරුවත්ත, පරගොඩ පන්සල, හිරිගල් දෙවොල ආදි විශේෂ වු ස්ථාන තුළින් ඒ බව පැහැදිලි වෙනවා. මීට අමතරව ඔහුගේ පොත්වල සඳහන් කබලාන, මලලගම කෝපි කඩය,රූකඩ කපන්නන්ගේ කම්මල, කිරිබබාගේ නිවස, කළුවර ගෙදර ආදියද මේ ප්‍රදේශයේ පිහිටි ඒවායි.

අපේගම පොතේ එන පරිසර වර්ණනා කියවීමෙන් එකල කොග්ගල අවට පරිසරය ගැන මනා දැනුමක් අපට ලබා ගැනිමට හැකිවෙයි. තම ජීවිතය අලලා ලියවුණූ  උපන්දා සිට පොතද එවැනිම තොරතුරු සහිත කෘතියක්.

මඩොල්දූවේ බෝට්ටු නැවැත්වීමට තොටුපොළ කිහිපයක් තිබෙනවා. කඩොලාන ශාක පැතිරුණු මේ දූපතේ විශාල වනගහනයක් නැහැ. ලදු කෑලෑවක් අවට පැතිර තිබෙනවා. කසළ දැමීමට තිබෙන භාජන පිරිලා ගිහින්. පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය තැනින් තැන ඉවත දමා තිබෙන ආකාරය නිසා අද මේ පරිසරයට අත්ව ඇත්තේ කනගාටුදායක ඉරණමක්. මඩොල්දූවේ කසල බැහැර කිරීමට කොමසාරිස් පාලනයකට නතු කිරීමට පෙර තමන් මැදිහත් වූ බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා පවසනවා. ඒත් දැන් එයට වගකිව යුත්තෙක් නැතිවෙලා.

කොග්ගල වෙරළ

කොග්ගල වෙරළ තීරයත් සංචාරකයෙක් යායුතු තැනක්. විශාල හිරිගල් කිහිපයකින් යුත් මේ වෙරළ ඉතා සුන්දරයි. මාර්ටින් වික්‍රමසිංහ කුඩා කාලයේ මේ වෙරළේ ඇවිදයමින් අත්දැකීම් ලබාගත් අන්දම ඔහුගේ පොත්වල සඳහන්. ඈතින් මුහුදේ පිහිටි ගල්පර කිහිපයක් ද මෙතැනට දිස්වෙනවා. ඒත් දැන් සංචාරක හෝටල් නිසා මේ වටපිටාවේ අලංකාරත්වය ඇහිරිලා.


(under the courtesy of roar.media web)

More News »