මුරුසි දූපතේ රවුමක් යමු

2017-12-26 10:34:00       717
feature-top
මුරුසි දිවයින ශ්‍රී ලාංකිකයන් වන අපට ආගන්තුක එකක් නොවන්නේ එය ශ්‍රී ලංකාව මෙන්ම ඝර්ම කලාපීය දේශගුණික ලක්ෂණ විදහා පාන, සාමුද්‍රික බලපෑම ඇති රමණීය කුඩා දිවයිනක් වීම නිසා පමණක්ම නොවේ. ශ්‍රී ලංකාව මෙන්ම 19 – 20 සියවස්වල බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබූ මෙය තුළ ලාංකේය නිදහස වෙනුවෙන් සටන් කිරීම නිසා අත්අඩංගුවට ගන්නා ලද ඇහැළේපොල මහාධිකාරම වැනි විරුවන් ගණනාවක් අවසන් සුසුම් හෙළූ ස්ථානයයි. බ්‍රිතාන්‍යයන් තම කිරීටයට යටත්ව තිබූ දකුණු හා ගිණිකොණදිග ආසියානු රටවල සිරකරුවන් පිටුවහල් කොට තැබූ දිවයිනක් ලෙස ප්‍රසිද්ධියට පත්වුවද මුරුසිය ගැන අවධානය යොමු කළ යුත්තේ ඒ නිසාම පමණක් නොවේ: ස්වහාවික ස්ථාන නැරඹීම හා අත්දැකීම රිසි සංචාරකයෙකුට සතුටු වීමට හේතු වන කාරණා කප්පරක් මේ තුළ පිහිටා තිබෙන නිසායි.

මුරුසි දිවයිනේ පිහිටීම
මුරුසිය පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ නිරිත දිගට වන්නට මකර නිවර්තනයට ස්වල්පයක් උතුරිනුයි. මැඩගස්කරයට කිලෝමීටර 855ක් පමණ උතුරින් හා ඉන්දියාවට කිලෝමීටර 3900ක් නිරිතදිගින් පිහිටා ඇති මෙය දක්ෂිණ අක්ෂාංශ 19° 58′ – 20° 34 අතරත් නැඟෙනහිර දේශාංශ 57° 16′ – 57° 49′ අතරත් ස්ථානගත වී තිබෙනවා.

මුරුසියේ පාලනයට අයත් භූමි ප්‍රදේශයට ප්‍රධාන දූපතට අමතරව ඊට කිලෝමීටර 600ක් පමණ නැඟෙනහිරින් ඇති රොඩ්රිගස් දූපතද, කිලෝමීටර 1100ක් පමණ උතුරින් ඇති ඇගලිගා (Agalega) දූපත් දෙකද, කිලෝමීටර 395ක් ඊසාන දිගින් ඇති ශාන්ත බ්‍රැන්ඩන් ගල්පරද අයත් වෙනවා. මුරුසිය ඉන්දියානු සාගරයේ පිහිටි සාගර ගිනිකඳු වළල්ලකට අයත් දූපත් සමූහයක් වන මැස්කරීන් දූපත්වලට අයත් එකක් ලෙස සැළකෙනවා. මෙහි අගනුවර පෝර්ට් ලුවිස් වන අතර තවත් කුඩා නගර කිහිපයක්ම  දූපත පුරාවට දැකගන්නට පුළුවන්.

මුරුසි දිවයින කිලෝමීටර 61ක උපරිම දිගකින් හා කිලෝමීටර 46ක උපරිම පළලකින් යුතු, වර්ග කිලෝමීටර 1865 ක භූමි වපසරියක විහිදී පවතින කුඩා දූපතක්. නිෂ්ක්‍රීය යමහල් කිහිපයක් කේන්ද්‍ර කොට ගෙන සැදී ඇති මෙහි මධ්‍යම කඳුකර පෙදෙස මීටර 600 ක පමණ උසකින් යුක්ත වන අතර, වෙරළ තීරයෙන් තුනෙන් දෙකක්ම කොරල්පර සමුච්ඡයකින් ආරක්ෂා වී තිබෙනවා. මෙහි උසම ස්ථානය වන Piton de la Petite Rivière Noire කන්ද මීටර 828ක උසකින් පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ ආකාරයටම මධ්‍යම කඳුකරයෙන් ගලා එන කුඩා ගංගා හා දිය පහර ගණනාවක් පිහිටා තිබෙනවා.

මුරුසියේ ගිනිකඳු ආවාට කරණ කොටගෙන තැණුනු විල් දෙකක් හා මිනිසුන් විසින් ගොඩනඟන ලද වැවක් තිබෙනවා.

මුරුසියේ ඉතිහාසය
මුරුසි දිවයිනට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ක්‍රි.ව 10 වන සියවසේදී අරාබි ජාතිකයින් මේ දිවයිනට ගොඩබැස ඇති අතර මෙය ඩිනා ඇරොබි හෙවත් කාන්තාර දිවයින් ලෙස නම් කර තිබෙනවා. පසු කාලීනව මැලේ ජාතිකයින්ද මෙහි ගොඩබට බවට සාධක තිබෙනවා.

මුරුසිය බටහිර ජාතීන්ට නතුවීම සිදු වන්නේ 1507 වසරේ පෘතුගීසී නාවිකයෙකු වන ඩොමින්ගෝ ෆර්නැන්ඩෙස් පෙරෙයිරා මේ දිවයිනට ගොඩබැසීමත් සමඟයි. ඔවුන් මෙය ‘හංස දූව’ ලෙස හැඳින්වූ අතර සෑහෙන කාලයක් අතරමැදි වරායක් හා ආහාර සපයාගන්නා ස්ථානයක් ලෙස භාවිත කළා. ක්‍රි.ව 1598 වන විට ලන්දේසීන්ද පැමිණි අතර ඔවුන් මෙය ‘මෞරිට්ස්’ හෙවත් මුරුසිය ලෙස නම් කළා. එ් නම අද දක්වාම භාවිත වෙනවා.

ක්‍රි. ව 1630 වන තුරු ලන්දේසිනුත් මේ දූපත ආහාරත්, කළුවර වැනි වටිනා දැව වර්ගත් ලැබෙන ප්‍රභවයක් ලෙස භාවිත කළ අතර 1630 වසරේදී මෙහි ලන්දේසි ජනාවාස ඇති කරන්නේ ප්‍රංශ ජාතිකයන්ට හා ඉංග්‍රීසීන්ට එය නතු වීම වැළැක්වීමටයි. ලන්දේසීන් මෙහි බලකොටු පවා ඉදි කළ අතර ජනාවාසකරණය කොට ගෘහාශ්‍රිත සතුන්ද ගෙන ආවත් දැඩි නියං වැනි අවාසිදායක පරිසර තත්ත්ව නිසා 1710 වසරේදී මෙය හැර ගොස් තිබෙනවා.

ක්‍රි.ව 1715 වන විට ප්‍රංශ ජාතිකයන් මේ දූව අත්පත් කරගන්නා අතර සෑහෙන කාලයක් ගතවීමෙන් පසු හෙවත් 1810 වසරේදී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රංශ ජාතිකයන් සමඟ සටන් කොට මෙය යටත් කරගන්නවා. යටත්විජිත පාලනයක් මෙහි ස්ථාපිත කරගත් ඉංග්‍රීසීන් මුරුසිය ලංකාව ඉන්දියාව වැනි රටවල දේශපාලන සිරකරුවන් පිටුවහල් කිරීම සඳහා ද, දැව කර්මාන්තය සඳහාද භාවිත කළා. 1968 වසරේ මාර්තු මස 12 වනදා නිදහස ලැබෙන තුරු මුරුසි දිවයින පැවතියේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වයි.

මුරුසියේ කාලගුණය
මුරුසිය වර්ෂය පුරාවටම ඝර්ම කලාපීය, සමුද්‍රික දේශගුණයක් අත්දකිනවා. සමහර විට උප නිවර්තන ලක්ෂණත් පෙන්වනවා. ප්‍රධාන වශයෙන් මෙහි ඍතු දෙකක් ඇති අතර නොවැම්බරයේ සිට අප්‍රේල් දක්වා ඇති ආර්ද්‍රතාවය අධික ග්‍රීෂ්ම ඍතුවද, ජූනි සිට සැප්තැම්බර් දක්වා වියලි, ශීත ශිශිරයද බලපවත්වනවා. මැයි හා ඔක්තෝබර් අතරමැදි මාස ලෙස සැළකෙනවා.

ග්‍රීෂ්ම මාසවල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24.7ක් හා ශීත ඍතුවේ සෙල්සියස් 20.4ක් වෙනවා. ග්‍රීෂ්මයේ සමස්ථයක් වශයෙන් මිලිමීටර 1344ක වර්ෂාපතනයක් ලැබෙන අතර ශිශිරයේ එය මිලිමීටර 666ක් දක්වා අඩු වෙනවා.

ශාක හා සතුන්
මුරුසිය ශ්‍රී ලංකාව මෙන්ම වනාන්තර, දිය දහරා, දිය ඇලි වැනි දේවලින් පොහොසත්. මෙය ගිනිකඳු සහිත කුඩා භූමි භාගයක් නිසාත්, ප්‍රධාන ගොඩ බිමින් ඈත පිහිටා ඇති නිසාත් ස්වභාවිකව බොහෝ විට හමු වන්නේ කුරුල්ලන් හා උරගයිනුයි. විශේෂයෙන්ම දශක කිහිපයකට පෙර වඳ වී ගිය ඩෝඩෝ පක්ෂියා පිළිබඳ සාක්ෂි හමු වී ඇත්තේත් මුරුසියෙන් පමණයි. ප්‍රධාන වශයෙන් ක්ෂීරපායි සතෙකු ලෙස වවුලා හමුවන මෙහි ආවේණික සත්ත්ව විශේෂ ලෙස රෝස පරෙවියා, මුරුසියානු ගිරවා, The pic pic වැනි පක්ෂීන්ද,  Round Island skink, සූනන් හා හිකනලුන් වැනි උරග විශේෂද මෙහි හමු වෙනවා.

ඈත අතීතයේදී මුරුසිය වනාන්තරවලින් ඉතාමත් පොහොසත්ව තිබුණා. විශේෂයෙන් මේ දූපතට බොහෝ බටහිර ජාතිකයන් ආසක්ත වූයේත් එහි වූ කළුවර ශාක දැකීමෙනුයි. පසුකාලීනව මෙහි වනාන්තර බොහොමයක් එළි කෙරුණු අතර අද වන විට තැනින් තැන විසිරුණු රක්ෂිත වනාන්තර කිහිපයක් පමණක් දකින්නට තියෙනවා.

ගිනිකඳු ප්‍රභවයකින් බිහිවූ දූපතක් නිසා මෙහි පොළොව ඉතා සාරවත් අතර ඉතා හොඳින් ශාක හා මල් වර්ග රාශියක් වැවෙනවා. මෙහි ආවේණික ශාක විශේෂ 700ක් පමණ ඇති අතර ඕකිඩ් වර්ග 60ක් පමණ මෙහි වැවෙනවා. රතු ඇන්තූරියම් අපනයනය සඳහා විශේෂ නමක් දිනාගෙන සිටින මේ දිවයිනේ ජාතික පුෂ්පය Boucle d’Oreille (Trochetia Boutoniana) මලයි.

මුරුසි දිවයිනේ හොඳින් පොල් වැවෙන අතර පළතුරු වර්ගද හොඳින් වැඩෙනවා. අඹ, මිදි, ලීච්, අන්නාසි, අලිගැට පේර, ලෙමන්, පේර, චෙරි, ගස්ලබු ඉන්  කිහ්පයක් පමණයි. මෙහි කොස් ගස් ද තිබෙනවා.

සංචාරක ස්ථාන
කුඩා භූමි භාගයක් තුළ වුණත් මුරුසියේ සංචාරය කරන්නෙකුට නැරඹිය හැකි ස්ථාන රාශියක් තියෙනවා. ඉන් බොහොමයක්ම ස්වභාවිකව එයට ලැබුණු දේවල්. මෙහි ඇති සොබා සෞන්දර්යය නිසා මෙය බොහෝ නව විවාහකයින් තම මධු සමය ගත කිරීමට තෝරාගන්නා අතර ධනවත්, ප්‍රසිද්ධ අයවලුන්ද නිවාඩුව ගත කිරීම සඳහා නිතර මෙහි පැමිණෙනවා.

ලා මොර්නේ කියා හැඳින්වෙන්නේ මුරුසි දිවයිනේ දකුණුපස පිහිටා ඇති ස්ථානයක්. මෙහි ඇති ලා මොර්නේ කන්ද නැඟීමේ හැකියාවත් සංචාරය කරන්නෙකුට ලැබෙනවා. මීට අමතරව මධ්‍යම මුරුසියේ හෙක්ටයාර 6574 ක විහිදී ඇති ‘කළු ගංගා ජාතික උද්‍යානය’ ට සංචාරය කිරීම තුලින් මුරුසියට ආවේණික තුරු ලතා හා සතුන් මෙන්ම දියඇලි වැනි දේ නැරඹීමේ හැකියාවත් ලැබෙනවා.

ෂමරෙල් කියන්නේ මුරුසියේ පිහිටා ඇති කුඩා ගම්මානයක්. නමුත් මෙහි සොබා සෞන්දර්යය නම් ඉතාම පොහොසත්. මෙහි ඇති මීටර 100ක උසකින් යුතු ෂමරෙල් දිය ඇල්ල මුරුසියේ උසම දිය ඇල්ලයි. මෙහි ඇති ‘සත් වර්ණ පොළොව’ නම් ස්ථානය තවත් චමත්කාරජනක එකක්. කාලයක් පුරාවට විවිධ අවස්ථාවන්හි යමහල් ක්‍රියාකාරීත්වය නිසා විවිධ වර්ණ වලින් යුතු පස් එක්කාසු වී මෙය නිර්මාණය වී තිබෙනවා.

ලා වැනියේ කිඹුල් උද්‍යානයත් තවත් සංචාරක තෝතැන්නක්. මෙහි කිඹුලන්ට අමතරව, වවුලන්, ඉබ්බන් වැනි සතුන් දැකගත හැකි අතර මෙහි ඇති කෘමි උද්‍යානය වෛවර්ණ සමනලුන් වැනි සතුන් එකතුවකින් යුක්තයි. Pamplemousses හි උද්භිත උද්‍යානය අක්කර 60 ක පමණ විහිදී ඇති අතර මෙහිදීද විවිධ ශාක හා සත්ත්ව විශේෂ දකින්නට පුළුවන්.

ක්‍රි. ව 1859 දී ගොඩනැඟී ඇති Château de Labourdonnais මන්දිරය හා උද්‍යානය සංචාරකයින්ගේ අවධානය දිනාගත් තවත් තැනක්. මෙහි යන්නෙකුට 19 වන සියවසේ යටත් විජිත පාලන සමයේ ගෘහ නිර්මාණ ශිල්පය, කෙත්වතු වැනි දේ දැකගන්නට පුළුවන්. දේශීය ආහාර වේල්ද, මුරුසියේ නිපදවන ප්‍රණීත රම්ද මෙහි යන්නෙකුට රස විඳින්නට පුළුවන්.

වැලි පර සහිත වෙරළ තීරයකින් යුක්ත Ile Aux Cerfs දූපතත්, La roche qui pleure වෙරළ තීරයත්, ග්‍රෑන්ඩ් බැසින් හි ශිව දේවාලයත් මුරුසියට සංචාරය කරන්නෙක් ආනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන යැයි කියන්නට පුළුවන්. අශ්ව රේස් පිළිබඳ ආශාව දක්වන්නවුන් සති අන්තයේදී පෝර්ට් ලුවිස් හි චෑම්ප් ඩෙ මාර්ස් ධාවන පථයට යාමට අමතක කරන්නේ නැහැ.

ශාන්ත ඇන්ඩ්‍රෙ වනාන්තරයේ පිහිටි එක්තරා සොහොන් කොතක් මෙහි සංචාරය කරන ශ්‍රී ලාංකිකයින් විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වෙනවා. මෙය අන් කවරෙකුගේ වත් නොව ඇහැලේපොළ නිළමේ තුමා ගේ සොහොන් කොතයි.

ඉතින් කවදා හරි දවසක මුරුසි දිවයිනට සංචාරය කරන්න ඔබත් උත්සාහයක් ගන්න. එහෙ ගිය අපේ පාඨකයින් ඉන්නවා නම් වැඩි විස්තර කමෙන්ට් හරහා බෙදා ගන්නත් අමතක කරන්න එපා.


(under the courtesy of roar.media web)

More News »