දන මන පිනවන නානුඔය සුන්දරිය

2018-01-10 10:43:00       680
feature-top
තලවකැලේන් පසු මාර්ගයේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරුණා. ඉදිරියෙන් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වැඩි ප්‍රමාණයක් සිද්දවෙමින් තියෙන බව කලින්ම දැනගෙන හිටපු නිසා; නැග්ම තරමක් වැඩි වුනත් අතරමගදී හමුවූ Y හන්දියෙන් රදැල්ල පාරට ජීප් රථය හරවන්නට මම තීරණය කළා. ඒ විදිහට සද් භාවයෙන් ගත්ත තීරණය; ඊ ළඟ මිනිත්තු කිහිපයේදී අභියෝගයට ලක් වුනේ රදැල්ල සුප්‍රසිද්ද නැවුම් ස්ට්‍රෝබෙරි අලවිසල ළඟ ජීප් රථය ගාල්කළ මොහොතේදීයි.
සුප්‍රසිද්ධ නැවුම් ස්ට්‍රෝබෙරි අලෙවිසල – රදැල්ල
මට හිතෙන විදිහටනම් සිතල කොච්චර වැඩිවුනත් නැවුම් ස්ට්‍රෝබෙරි මුසුකල වැනිලා අයිස් ක්‍රීම් එකක රස නොබලා මෙතන පසුකර යන්න පුළුවන් උදවිය ඉන්නේ දෙකොටසක් විතරයි. ඒ අතරින් කට්ටියක් කවදාවත් මෙතනින් නොගිය විදිහටත්, ඉතිරි අය කවදාවත් මෙහි ස්ට්‍රෝබෙරි මුසුකල වැනිලා අයිස් ක්‍රීම් එකක රස බලා නැති විදිහටත් හඳුනාගන්න පුළුවන්. (ඔන්න… ඔන්න.., අපේ අනිත් අය වගේ මේ ෂොප් එකේ මගේ ව්‍යාපාර කොටස් ආයෝජනය කරලා තියෙනවා කියල හිතන්න එපා. මේක තනිකරම Free Add එකක් )
සිතල කොච්චර වැඩිවුනත්;
නැවුම් ස්ට්‍රෝබෙරි මුසුකල වැනිලා අයිස් ක්‍රීම් එකක රස නොබලා මෙතන පසුකර යන්න පුළුවන්ද ?
ස්ට්‍රෝබෙරි රස බැලීමෙන් පස්සේ; මහා කන්දක් එකහුස්මට ඇදගෙන ජීප් රථ යුගල නානුඔය නගරයට ලඟාවුණා. ඒ එන අතරමගදී යන්තමින් දුරින් දැක්ක නානුඔය දිය ඇල්ල; ඒ විදිහට බොහෝ වාර ගණනක් දුරින් දැකල තිබුනත්; මේක කියවන ඔයගොල්ලො වගේම අප අතුරින් කිසිවෙක් ලඟින් දැකල තිබුනේ නැහැ.
මේ නිසාම මේ දිය ඇල්ල නරඹන්න නගරයේ ත්‍රිරෝද රියදුරු මහතකුගෙන් මග විස්තර අහගෙන තරමක් දුෂ්කර මාර්ගයක මීටර 750 ක විතර දුරක් ගමන් කරන්න අපට සිද්ද වුණා. එහෙම ගිහින් එඩින්බර්ග් ගෘප් එකට අයත් තේ පැක්ටරි එක පහුකරලා පුංචි දුරක් යද්දී නානුඔය සරසන මේ සුන්දරිය අපිට හමුවුණා.
එඩින්බර්ග් ගෘප් එකට අයත් තේ පැක්ටරි එක
නානුඔය සරසන මේ සුන්දරිය අපිට හමුවුණා.

නානුඔය දිය ඇල්ල ඇයටම අවේනික අපුරු සුන්දරත්වයකින් ගලාහැලෙමින් තිබුණා
මීටර 25 ක් උසින් යුතුවූ නානුඔය දිය ඇල්ල ඇයටම අවේනික අපුරු සුන්දරත්වයකින් ගලාහැලෙමින් තිබුණා . එක පෙලට දිවෙන 25 කට නොඅඩු වූ කුඩා පඩි රැසකින් පහලට පනින පෙනපිඬු සමුහය; කුඩා මාර්ගය වෙනුවෙන් සැදී කොන්ක්‍රීට් පාලමට යටින් පහලට පනිමින් තරමක් විශාල ඇල්ලක් ඇතිකරනු ලබනවා.
ඇල්ල පසුබිමින් ඉදිවී ඇති සුවිසල් යකඩ පාලම, දිය ඇල්ලට ගුඪ පෙනුමක් එක්කර තිබුණා. එහෙම වුනත් දිනපතා මේ පාලම මතින් දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ඉහල පහල යන දහස් ගණනක් වූ සංචාරකයින් අතුරින් මේ සුන්දරිය දැකගැනීමට වාසනාව ලබන්නේ ඉතාම අතලොස්සක් බවනම් නොකියාම බැහැ.

ඇල්ල පසුබිමින් ඉදිවී ඇති සුවිසල් යකඩ පාලම, දිය ඇල්ලට ගුඪ පෙනුමක් එක්කර තිබුණා
දිය ඇල්ල වඩාත්ම සුන්දරව නරඹන්න නම් අපි ආව වගේ පහලට දිවෙන මාර්ගය ඔස්සේ ඇල්ල පාමුලට එන්න ඕන
දුම්රිය මඟට පහලින් පිහිටි නිසාත් නිම්නය බෑවුම වැඩි- පටු එකක් වීමත් දුම්රියේ සිට දිය ඇල්ල නරඹන්න බාදා ඇති කරනවා. දුම්රිය මාර්ගයේ සිට දිය ඇල්ල නරඹන්න කැමති කෙනෙකුට නානුඔය දුම්රියපළේ සිට කොළඹ දෙසට මීටර 500 ක් විතර ඇවිදගෙන මේ ඇල්ල පසුබිමින් ඉදිවී ඇති සුවිසල් යකඩ පාලම මතට එන්න වෙනවා. එත් දිය ඇල්ල වඩාත්ම සුන්දරව නරඹන්න නම් අපි ආව වගේ පහලට දිවෙන මාර්ගය ඔස්සේ ඇල්ල පාමුලට එන්න ඕන. එහෙම ආවොත් ජනප්‍රිය තාරකාවක් නොවුවත්; සුන්දරත්වයෙන් සහ ලාලිත්‍යයෙන් කිසිවෙකුට දෙවෙනි නොවන මේ සුන්දරියගේ රූ සිරියෙන් මොහොතක් සැනහෙන්නට ඔබටත් නොවැරදීම හැකියාව ලැබේවි.
දුම්රිය මාර්ගයේ සිට දිය ඇල්ල නරඹන්න; මේ ඇල්ල පසුබිමින් ඉදිවී ඇති සුවිසල් යකඩ පාලම මතට එන්න වෙනවා

ඔයගොල්ලෝ මේ දිය ඇල්ල නරඹන්න යනවනම් පාගමනින් නැතහොත් උස වැඩි වාහනයකින් යන එක තමයි වැඩ සුසුසු. හැබැයි ආපසු එනගමනේදී; වංගුවේදී හමුවන අනාරක්ෂිත දුම්රිය හරස්මග පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියන එක තමයි මගේ ලොකුම අවවාදය.


(under the courtesy of nadegura.com web)

More News »