වැඩිදෙනෙක් නොදත් ජාතික වනෝද්‍යානය – ගල්ඔය

2018-01-16 10:45:00       366
feature-top
ලංකාවේ ජාතික වනෝද්‍යානයක් කිව්වාම කාටත් මතක් වෙන්නේ යාලයි විල්පත්තුවයි තමයි. ප්‍රමාණයෙන් විශාල නිසා වගේම කාලයක් ඉඳලා සංචාරක කර්මාන්තය සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ඕන තරම් තියෙන නිසා වැඩි දෙනාට කරදරයකින් තොරව ගිහින් එන්න මේ වනෝද්‍යාන දෙක හොඳට ගැලපෙනවා. නමුත් ඊට වඩා ටිකක් අභියෝගාත්මක අත්දැකීමක් ලබන්න කැමති අයට යන්න ලස්සන වනෝද්‍යාන බොහොමයක් ශ්‍රී ලංකාව පුරාම විසිරිලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ගල් ඔය ජාතික වනෝද්‍යානයත් ඒ වගේ එකක්.

ගල් ඔය වනෝද්‍යානය වැඩි දෙනා අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලංකාවට ආවේණික ගෙරි වලසුන් (Sloth Bear) සහ දිවියන්ගෙන් පිරුණු තැනක් විදිහටයි. විශේෂයෙන්ම මේ ගෙරි වලසා ඉතා ඉක්මණින් මිනිස්සුන්ට පහර දෙන්න පෙළඹෙන සතෙක් විදිහටත් ප්‍රසිද්ධයි. නමුත් ඇත්තම තත්වය බැලුවොත් බොහෝ විට මේ සතුන් දෙවර්ගයෙන් එකෙක් හරි දකින්න වෙන්නෙත් කලාතුරකින්. අපිට මග පෙන්වන්න එකතු වුණේ ප්‍රදේශය ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්, ඔහුත් කියන්නේ සෆාරි ජීප් යන පැති වල මේ සත්තු ඉන්නේ බොහොම අඩුවෙන් කියලයි. සෆාරි ජීප් නිතර ගමන් කරන්නේ තැනිතලා ප්‍රදේශයේ වුණත් මේ සත්තු බහුලව ගැවසෙන්නේ කඳු ප්‍රදේශ ආශ්‍රිතව. උවමනා වුණත් ඒ තැන් වලට සෆාරි ජීප් වලින් යන්න හරිම අපහසුයි.

නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ප්‍රදේශයේ සංචාරය කිසිසේත්ම නීරස එකක් බව. ගල් ඔය විශාල ප්‍රසිද්ධියක් උසුලන්නේ අලි නැරඹීම සඳහායි. ටිකක් හවස් වෙලා ඉර බැහැලා යන වෙලාවට ප්‍රදේශය පුරාම පැතිරිලා තියෙන උස තණකොළ පඳුරු අස්සේ එහෙ මෙහෙ යන, වතුර බොන්න එන විශාල අලි රංචු ඕන තරම් දකින්න පුළුවන්. ගල් ඔය වනෝද්‍යානයේ සැවනා තණබිම් වල ලක්ෂණ වගේම වියළි කලාපීය වනාන්තරයක ලක්ෂණත් දකින්න පුළුවන් නිසා වන සතුන් ඡායාරූපකරණයට ඉතා සුදුසු ප්‍රදේශයක්. යාල හෝ විල්පත්තු අභයභූමි වලදී ලබා ගන්නවාට වඩා පැහැදිලිවම වෙනස් ඡායාරූප ඔබට ලබා ගන්න පුළුවන් වේවි.

ගල් ඔය වනෝද්‍යානයේදී දැක ගන්න ලැබුණු අලියෙක්.
ගල් ඔය වනෝද්‍යානයේදී දැක ගන්න ලැබුණු අලියෙක්.

නිකමට මම මේ කියන දර්ශනය හිතේ මවා ගන්න උත්සාහ කරන්න. “ලා කොළ පැහැයට වැවුණු උස තණකොළ ගස් අතරින් හිස යොමා බලන අලියෙක්; උගේ අළු පාට පිට මතට බැස යන හිරුගෙන් වැටෙන රන්වන් පාට රැස් දහරාව; ගස් අතරින් හිරුරැස් පෙරී එද්දී මැවෙන රූප රටා…” ඒ වගේ අවස්ථාවක් කැමරා කාචයකට හසු කරගෙන ඔබට හැමදාම මතකයේ තියා ගන්න පුළුවන් නම්… මේ වගේ දේවල් දකින්න, විඳින්න ආස කරන කෙනෙක් නම් මේ ලිපිය දිගටම කියවන්න. ගල් ඔයට යන අතරේ වගේම එහි ගිහින් කරන්න පුළුවන් විවිධාකාර ක්‍රියාකාරකම් ගැන සවිස්තරාත්මක විස්තර ඔබට ගෙන එන්නයි අපි මේ සුදානම් වෙන්නේ.

මුලින්ම යන විදිහෙන් පටන් ගමු නේද?

කොළඹ සිට ගල් ඔයට යන මාර්ගය
තමන්ගේ වාහනයක යනවා නම් කොළඹ ඉඳන් ගල් ඔය වනෝද්‍යානයට එන්න සාමාන්‍යයෙන් පැය 6ක් වත් ගත වෙනවා. මේක ඉතින් අතර මග කන්න, බොන්න, විවේක ගන්න එහෙම නැවත්තුවොත් තවත් වැඩි වේවි. සමහර විට එන පාරවල් වුණත් හොඳම තත්වයේ නැහැ, ඉතින් වැඩිපුර කාලයක් යන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් පැය 8ක් වගේ කාලයක් ඇතුලත ඔබට මේ ප්‍රදේශයට එන්න පුළුවන්.

ගල් ඔයට එන්න කොළඹ ඉඳන් පිටත් වෙනවා නම් උදේම පිටත් වෙන තරමට වැඩිය හොඳයි. බොහෝ ගමන් මාර්ග වැටිලා තියෙන්නේ මහනුවර හරහා නිසා එහෙ තියන මාර්ග තදබදයට අහු වුනොත් පැය ගානක් අපතේ යන්න ඉඩ තියෙනවා. අපි අපේ ගමන යන්න තෝරා ගත්තේ ගූගල් මැප් එකේ පෙන්නපු මාර්ගය. දිගෙන් ටිකක් විතර වැඩි වුණත් මහනුවර නගරය හරහා යන්නේ නැති නිසා වෙලාව ටිකක් ඉතුරු වේවි. (මහනුවර වාහන එලවන්න ගියාම ලේ පිච්චෙන එකත් මග හරින්න පුළුවන්.)

ගූගල් මැප් එකේ පෙන්වන මාර්ගය. මේක වඩා සුදුසුයි.
ගූගල් මැප් එකේ පෙන්වන මාර්ගය. මේක වඩා සුදුසුයි.

කොහොම වුණත් වැඩි දෙනා කැමති මහියංගනයේ දහ අට වංගුව අයත් වෙන ගමන් මාර්ගයේ යන්න තමයි. දහ අට වංගුව ඇත්තටම බලන්න වටින තැනක්, එහෙම නැත්නම්  වික්ටෝරියා, රන්දෙණිගල – රන්ටැඹේ අභයභූමි හරහා වැටිලා තියෙන සුන්දර මාර්ගය යන එක තමයි හොඳම දේ. කාපට් අතුරපු පුළුල් මාර්ගයක් නිසා ප්‍රදේශයේ ලස්සන විඳිමින් කිසිම කරදරයක් නැතිව ගල් ඔයට එන්න පුළුවන් වේවි.

ගල් ඔය වනෝද්‍යානයේ කළ හැකි දේවල්
සෆාරි එක
සෆාරි එක අනිවාර්යයෙන්ම යන්න අමතක කරන්න එපා.
සෆාරි එක අනිවාර්යයෙන්ම යන්න අමතක කරන්න එපා.

කලිනුත් කිව්වා වගේ ගල් ඔය වනෝද්‍යානය කියන්නේ අලින් බලන්න තියෙන හොඳම තැනක්. හවස් වරුවේ තමයි සෆාරි එක පටන් ගන්නේ. දවාලේ තියෙන උණුසුම පහ වෙලා ගිහින් රන්වන් හිරු රැස් වැටෙන, සීතල සුළඟ හමන වෙලාවට අලි ඇතුන් වතුර බොන්න එලියට එනවා. සෆාරි ජීප් යන මාර්ගයට බොහොම කිට්ටුවෙන් මේ සත්තු නිතර ගැවසෙන තැන් බොහොමයක් දකින්න පුළුවන්.

අලින්ට අමතරව තිත් මුව රංචු වගේම නොයෙක් වර්ග වල පක්ෂීන් දැක ගන්න ඉඩ ලැබෙනවා.

කළු හිස දෑකැත්තන් රංචුවක්.
කළු හිස දෑකැත්තන් රංචුවක්.

කැමති නම් මකර ඇළෙන් නාන්නත් ඔබට අවස්ථාව තියෙනවා. නමුත් මේකට උදෑසන වරුව තෝරාගන්න එක වඩා හොඳයි. හවස් වෙද්දී සීතල තද වැඩියි.

ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ තැනකුත් මෙහෙදී දැක ගන්න පුළුවන්. දුටුගැමුණු කුමාරයා එළාර රජුට එරෙහිව යුද්ධ කරන්න යන අතරේ සේනාව අනුරාධපුරය දක්වා ගමන් කරන්න හදා ගත්තු පාරේ ගල් තවමත් තැනින් තැන දකින්න ලැබෙනවා. දැන් මේක පාරක් විදිහටනම් දකින්න ලැබෙන්නේ නැහැ, නමුත් සෆාරි ජීප් ගමන් කරන මාර්ගයට ආසන්නයෙන් මේකට යොදා ගත්තු සුමට ගල් කැබලි විසිරිලා තියෙනවා බලා ගන්න පුළුවන්.

මකර ඇළ.
මකර ඇළ.

යාල හා විල්පත්තු යන සංචාරකයන්ට වටපිටාව දැකගන්න ලැබෙන්නේ ජීප් එකේ වැඩි වෙලා විතරක් වුණත් ගල් ඔය නම් එහෙම තද නීති නැහැ. කැමති නම් මග පෙන්වන්නෙක් එක්ක ජීප් එකෙන් බැහැලා ඇවිදලා බලන්නත් අවස්ථාව තියෙනවා. මේ මගපෙන්වන්නා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන කෙනෙක්. මකර ඇළ බලන්නත්, විවිධ ගහකොළ, කුරුල්ලන් හා වන සතුන් ගැන විස්තර ඇතිව දැන ගන්නත් මේ ගමනේදී ඔබට පුළුවන්. අතීතයේ වැද්දන් මෙහි තියෙන උස ගල් වලට නගින්න යොදා ගත්තු ඉණිමගකුත් ඔහු ඔබට පෙන්වාවි. මී වද කඩා ගන්න ඉතාම භයානක ප්‍රපාතයක් තියෙන ගලක තමයි මේ ඉණිමග හදලා තියෙන්නේ.

කඳවුරු බඳින එක – කෑම්පින්
අපිට තිබුණු කාල වෙලාවත් එක්ක කෑම්පින් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ, නමුත් ඔබට කැමති නම් කුඩාරමක් ගහගෙන කෑම්පින් කරන්න අවස්ථාව තියෙනවා. මේ වනෝද්‍යානයේ විවිධ ප්‍රදේශ වල කෑම්පින් කරන්න හොඳ තැන් හතරක් වගේ තියනවා. මේ හැම තැනක්ම නාන්න ඉතා සුදුසු ප්‍රදේශයකට යාබදව පිහිටලා තියෙන නිසා උදෙන්ම නැගිටලා නා ගන්න කියාපු තැන්.

එක කෑම්පින් ප්‍රදේශයකට යාබදව තියෙන මකර ඇළ.
එක කෑම්පින් ප්‍රදේශයකට යාබදව තියෙන මකර ඇළ.

ඔබට අවශ්‍ය හැම දෙයක්ම අරගෙන එන්න සිද්ධ වෙනවා. කුඩාරම් ගහන්න අවශ්‍ය දේවල්, ආහාර පාන, උයා පිහ ගන්න අවශ්‍ය කරන උදුන් සහ බඩු මුට්ටු වගේ දේවල් ගෙන එන්න අවශ්‍යයි. (කැමති නම් කැලෙන් වියලි දර එකතු කරගෙන ඇවිත් ලිප් බැඳලා උයන්න, ගිනි මැලයක් ගහ ගන්න වුණත් පුළුවන්.) මේ කෑම්පින් ප්‍රදේශ හතරේම වැසිකිළි පහසුකම් තියෙනවා. සුඛෝපභෝගී විදිහට හදලා නැති වුණත් කාට වුණත් අප්‍රියත්වයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒවා පිරිසිදුව තියෙනවා. මේ නිසා වැසිකිළි යන්න කැලෑවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

උද්‍යානයට ඇතුළු වෙලා වනජීවී කාර්යාලයෙන් විස්තර ඇහුවොත් කෑම්පින් සයිට් තියෙන තැන් ගැන වගේම ඒවාට ලඟා වෙන විදිහ ගැනත් විස්තර දැනගන්න පුළුවන්.

අපිට කියපු විදිහට නම් වනෝද්‍යානයට ටිකක් ඈතින් පිහිටලා තියෙන සේනානායක සමුද්‍රය මැද තියෙන දූපතේ වුණත් කෑම්පින් කරන්න පුළුවන්. නමුත් මේකට අවසර දෙන විදිහ ගැන අපි හරියටම දන්නේ නැහැ. ඒ ගැන දූපතේ තියෙන වනජීවී කාර්යාලයෙන් අහලා බලන්න ඔබට පුළුවන්.

බෝට්ටු සෆාරිය
මේ බෝට්ටු සෆාරිය තියෙන්නේ අපි දැන් කියපු සේනානායක සමුද්‍රයේ. ගල් ඔය වනෝද්‍යානයේ ඉඳන් කිලෝමීටර් 40ක් විතර දුරින් තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. මේ වැවටම විශේෂයෙන් වනජීවී කාර්යාලයක් පිහිටුවලා තියෙන නිසා සෆාරි බෝට්ටුවක් විශ්වාසවන්තව කුලියට ගන්න ඔබට පුළුවන්. වැවට ඇතුළු වෙන්න අවශ්‍ය ටිකට් ගමන යන අතර මග හමු වෙන ප්‍රධාන වනජීවී කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බෝට්ටුව පදවන කෙනාව සහ මග පෙන්වන්නාවත් මෙතැනින්ම ගමනට එකතු කර ගන්න අවස්ථාව තියෙනවා.

බෝට්ටු සෆාරි එක යන්න හොඳම වෙලාව උදේ කාලය හරි හවස් කාලය හරි තමයි. මේ වෙලාවට තියෙන සීතල කාලගුණය නිසා අලි සහ කුරුල්ලන් වැඩි වශයෙන් බලා ගන්න ඉඩ ලැබෙනවා.

අපි මේ බෝට්ටු සෆාරි අතරතුර කුරුල්ලන් වර්ග රාශියක් දැක ගන්න ලැබුණා. කළු හිස දෑකැත්තත්, කුඩා කොකුන්, මධ්‍යම ප්‍රමාණයේ කොකුන්, කොළ කොකුන් වගේ කොක්කු වර්ග රාශියක්, ඉන්දියානු ලිහිණියන් සහ බ්‍රාහ්මණ මිලවුස් කුරුල්ලන් මේ අතර සිටියා.

මේ වැව මැද තියෙන දූපත තමයි මේ කුරුල්ලන් ජීවත් වෙන්නත්, වර්ගයා බෝ කරන්නත් පාවිච්චි කරන ප්‍රධානම ප්‍රදේශය. ජලාශ්‍රිත කුරුල්ලන් වර්ග සිය ගාණක් එකම තැනක දැකගන්න ලැබෙන එක හරිම සුන්දර අත්දැකීමක් වුණා.

මේ දූපත් ප්‍රමාණයෙන් විශාල නිසා කැමති නම් පික්නික් එකක් යන්නත් පුළුවන්. තමන්ට අවශ්‍ය කෑම බීම සහ බිමට එලන්න සුදුසු අතුරනයක් අරගෙන ගියා නම් මග පෙන්වන්නා ඔබව මේ තැන් වලට එක්කගෙන යාවි.

වැද්දන් මුණ ගැසීම
වැදි නායක සුදා වන්නිලැත්තෝ.
වැදි නායක සුදා වන්නිලැත්තෝ.

මේ ප්‍රදේශයේ වෙසෙන රතුගල වැදි රැහැට අයත් වැදි පරපුරේ නායකයාත් අපිත් එක්ක මේ ගමනට එකතු වුණා. ඔහුගේ සම්පූර්ණ නම “දණිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නිලැත්තෝ”. වයසින් අවුරුදු 51ක් වන සුදා වන්නිලැත්තෝ නායකතුමාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවන් දෙන්නාට නම් වැද්දන් වගේ ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ කියල තමයි ඔහු අපිට කිව්වේ. දැනටමත් ගමේ ඉස්කෝලෙට ගිහින් අනිත් ළමයි වගේම ඉගෙන ගන්න ඔවුන් දෙන්නා ගමට වෙලා ගොවිතැන් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මොන තරම් කණගාටු හිතුණත් ඇත්තටම දැන් වැදි ජීවිතය ගෙවන එක හරිම අපහසු වැඩක් වෙලා. තමන් පොඩි කාලේ ඉඳන් සතුන් දඩයම් කරපු ප්‍රදේශ වලින් ඒ සතුන් ඉවත් වෙලා ගිහින්. මේ නිසා ගොඩක් වෙලාවට ගමේ මිනිස්සු විදිහටම කන්න බොන්න, ජීවත් වෙලා තියෙන බව නායකතුමා අපිට කිව්වා.

අපි සුදා වන්නිලැත්තෝ නායකතුමාට “නායකතුමා” කියලා කතා කරන එක සමහරුන්ට විහිළුවක් වගේ හිතෙන්න පුළුවන්. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන වැදගත් විදිහට සමාජයේ ඉන්න අය වැදි නායකයෙක්ට ඒ වගේ කතා කරන්න මැලි වෙනවා. ඒත් අපේ අදහස නම් මේ පුද්ගලයා ඉතා ගරු කොට සලකන්න ඕන කෙනෙක් කියන එකයි. අපි කවුරුත් පැවත එන්නේ ඉන්දියාව හෝ අරාබිය, යුරෝපය වගේ තැන් වලින් මේ රටට සංක්‍රමණය වුණු පිරිස් වලින්. එහෙම වෙන්න අවුරුදු ගණනාවකට කලින් ඉඳන් අපි අද ශ්‍රී ලංකාව කියන භූමි ප්‍රදේශයේ සැබෑ හිමිකරුවන් වුණු පරම්පරාවට තමයි සුදා වන්නිලැත්තෝ අයත් වෙන්නේ.

දැනට ඔහුගේ රැහේ ඉන්නේ වැදි පවුල් 80ක් විතරයි. ඒ පවුල් හැම එකකම ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන රස්සාවල් කරන්නත්, ගොවිතැනට යොමු වෙන්නත් හිතාගෙන ඉන්න නිසා සුදා වන්නිලැත්තෝ නායකතුමාගේ පරම්පරාව ඔවුන්ගේ අවසාන පුරුක වෙන්න බොහොම දුරට ඉඩ තියෙනවා. දැනටමත් ජීවිතයේ සැඳෑ සමයේ ඉන්න එතුමා හමු වෙන්න යන එක හරිම වැදගත් වෙන්නේ ඒ නිසයි. අපෙන් පස්සේ පරම්පරාවට සැබෑ වැද්දන් දකින්න නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

තමන්ගේ පිරිස තුවාල සහ ලෙඩ හොඳ කරගන්න පාවිච්චි කරන බෙහෙත් පැළෑටි මේ ගමනේදී ඔහු පෙන්වා දෙනවා. තමන්ගේ මුතුන් මිත්තන් ජීවත් වුණු ගුහා එහෙම පෙන්නන්නත් ඔහු අපිව එක්කගෙන ගියා. සතුන්ට උගුල් අටවන විදිහ ගැන වගේම ඒවා ක්‍රියාත්මක වෙන විදිහත් ඔහු අපිට පෙන්නලා දුන්නා. මේ ගමන අපේ මතකයේ හිටින එකක් වෙන්න සුදා වන්නිලැත්තෝ නායකතුමා එක්ක අපි ගත කරපු බොහෝ දුරට හේතු වුණා කියන්න පුළුවන්. කැමති නම් ඔබට පුළුවන් අපි වැදි ජනතාව ගැන වැඩි විස්තර ඇතුලත් මීට කලින් පළ කරපු ලිපියත් කියවලා බලන්න. අපි මේ කියන දේවල් එතකොට ඔබට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් වේවි.

ගල් ඔය කියන්නේ ලංකාවේ ජනප්‍රියම සංචාරක ආකර්ෂණයක් නොවෙන නිසා හොඳම සෆාරි ජීප් සහ වෙනත් පහසුකම් ඔබට නොලැබෙන්න පුළුවන්. යන්න තියෙන ගමන් මාර්ග එහෙමත් හොඳම තත්වයේ නැහැ. කොහොම වුණත් වෙනත් සෆාරි ජීප් සහ සංචාරකයන් බහුලව ගැවසෙන්නේ නැති නිසා බොහොම නිස්කලංක බවක් තියෙනවා. යාල සහ විල්පත්තු වගේ කර්මාන්තකරණය වුණු තැන් වලට වඩා ගල් ඔය වනෝද්‍යානයේ ගමන පහසුවෙන් මතක හිටින්නේ ඒ නිසයි. නාගරික ජීවිතයෙන් හෙම්බත් වෙලා, තාක්ෂණික ලෝකයෙන් ටිකක් ඈත් වෙලා (මේ ප්‍රදේශයේ ජංගම දුරකථන සහ වයි ෆයි සිග්නල් නැහැ.) මිනිසුන්, සතුන් සහ පරිසරය ලඟින් ඇසුරු කරන්න බොහොම හොඳ තැනක්. වෙන කොතැනකටත් වඩා හීලෑ අලි රංචු දැක ගන්නත් මේක හොඳම තෝතැන්නක් කිව්වොත් නිවැරදියි.

මේ නිසා පුළුවන් දවසක ගල් ඔය වනෝද්‍යානය නරඹන්න එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒක ඔබට මතක හිටින ගමනක් වෙනවා නිසැකයි.


(under the courtesy of roar.media web)
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »