දඹදෙනි යුගයට චාරිකාවක්

2018-02-01 10:45:00       639
feature-top
කොළඹ සිට මීගමුව ගිරිඋල්ල හරහා දඹදෙනියට පැය දෙකක් වගේ කාලයකින් ගමන් කළ හැකිය. කොළඹ ඉඳන් දුර කි. මී. 75ක්. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල මීගමුව මාර්ගයේ 18 – 19 සැතපුම් කණු අතර වර්තමාන දඹදෙණිය නගරය පිහිටා තිබෙනවා. අදින් සියවස් අටකට එපිටදී ශ්‍රී ලංකාවේ අගනගරය වශයෙන් බැබලුණු මේ පෙදෙස අද සංචාරක ආකර්ශනයට ලක්වූ ප්‍රදේශයක්. අපි බලමු දඹදෙනියේ දැකගත යුතු තැන් මොනවද කියලා.

රාජධානිය

එතෙක් පැවති රජරට පොළොන්නරු රාජධානියට එල්ල වූ කාලිංග මාඝ ආක්‍රමණ නිසා රාජධානිය නිරිතදිග දෙසට ව්‍යාප්ත වුණා. එලෙස පිහිටවූ  දඹදෙණිය රාජධානිය ක්‍රි.ව. 1232 දී ආරම්භ වී දශක 5 කට ආසන්න කාලයක් පුරා පැවතුණා. මුල්ම වරට දඹදෙණිය අගනගරය බවට පත්කරගත්තේ තුන්වන විජයබාහු රජුයි.  ක්‍රි.ව. 1236 දක්වා ඔහු රට පාලනය කළා.  ඉන්පසු  දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236 – 1270), සිව්වන විජයබාහු (ක්‍රි.ව. 1270 – 1272) හා පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272 – 1284) යන  රජවරු තම රාජධානිය ලෙස දඹදෙණිය භාවිතා කරනවා.


විහාර මළුව

ආරක්ෂිත පවුරු නගරයක් ලෙස දඹදෙණිය රාජධානිය තුන් දිශාවෙන් පිහිටා ඇති පර්වත සහිත කඳුවලින් ආරක්ෂිත වූ නගරයක්. එනම් මාලිගාගල, වඩුවාකෙටු ගල හා කත්ගලයි. මේ නිසා සතුරන්ට ළඟාවීමට පහසු නැති ස්ථානයක් ලෙස සැලකුණා.

විජයසුන්දරාරාමය

විහාර ප්‍රවේශයේ කැටයම්

දඹදෙනිය නගරය මැදින් යන විහාර මාවතේ කි. මී. එකහමාරක් පමණ දුරින් මේ විහාරය පිහිටා තිබෙනවා. දඹදෙනි යුගයේ දී දළදා මාලිගය පිහිටා තිබුණෙත් මෙතැනයි. දඹදෙණියේ විසූ පාලකයන් සිව් දෙනෙකුගේම නොමඳ රාජ්‍ය අනුග්‍රහය මෙම විහාරස්ථානයට හිමි වූ බව ඉතිහාසයෙන් පැහැදිලි වෙනවා. මෙය පිහිටා ඇත්තේ පුරාණ රාජධානියේ පිටිනුවර ප්‍රදේශයේයි. දෙවන පරාක්‍රමබාහු රජු මෙහි තෙමහල් දළදා මාලිගයක් ඉදිකර දළදාවේ ආරක්ෂාව සඳහා කටයුතු කර තිබෙනවා. පසුව ජරාවාස වී තිබූ විහාරය මහනුවර යුගයේ අග භාගයේ මීගස්තැන්නේ අදිකාරම් විසින් පිළිසකර කර තිබෙනවා. ඔහු දළදා මාලිගය දෙමහල් කොට ප්‍රතිසංස්කරණය කළ බව මූලාශ්‍රවල සඳහන්. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට නතු වූ යුගයේදී ද ප්‍රාදේශීය ජන නායකයින් මෙම ස්ථානයේ දියුණුවට කටයුතු කර ඇති බවට ජීවමාන ස්මාරක මෙහි හමුවෙනවා.

දළදා මාලිගය

විජයසුන්දරාරාම විහාරයේ පිහිටි ටැම්පිට ප්‍රතිමා මන්දිරය එකල දළදා මාලිගය ලෙස පැවතුණු බව විශ්වාස කරනවා. එහි පාදම කළුගල් කැටයම්වලින් යුක්තයි. ඒවා පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පළ කරනවා. තුන්වන විජයබාහු රජු දඹදෙනියේ රජකම් කළත් දළදා වහන්සේ ආරක්ෂාවට තැන්පත් කර තිබුණේ බෙලිගල පර්වතය මතයි. එසේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ දඹදෙනියට වැඩමකරවාගෙන ආවේ ඔහු පුත් දෙවන පරාක්‍රමබාහු රජු විසින්. ඉන් පසු වසර 36ක් යනතෙක් දළදා වහන්සේ මෙහි වැඩ සිටියා. පරාක්‍රමබාහු රජු දඹදෙනිය පර්වතය මතද දළදා මැදුරක් ඉදිකර පුදපූජා පැවැත්වූ බව සඳහන්.

විහාර මළුවට පිවිසිය යුත්තේ ප්‍රාකාරයකින් වටවූ වාහල්කඩක් යටින්. මෙම ප්‍රාකාරය කළුගල්වලින් ඉදිකර තිබෙනවා. වාහල්කඩ යට සඳකඩ පහණක්ද පිහිටා තිබෙනවා. විහාර මළුවේ මැද දෙමහල් ටැම්පිට පිළිම ගෙය තිබෙනවා. විහාරයේ ගර්භගෘහය ඉදිරිපසින් හේවිසි මණ්ඩපයක් තිබෙනවා. පිළිමගෙට සිව්පසින් ඇතුළු වීමේ ද්වාර සතරක් දැකගත හැකියි. ප්‍රධාන පිවිසුම් මඟ වූ නැගෙනහිර දෙසින් එහි උඩුමහලට  යොමු වූ පියගැට පෙළක් තිබෙනවා. උඩුමහල ඇතුළතින් මණ්ඩපය සහ ගර්භ ගෘහය යන කොටස් දෙකකට වෙන්කර තිබෙනවා.

විහාරය තුළ පිහිටි බිතුසිතුවම් සහ මූර්ති උඩරට සම්ප්‍රදායට අයත්. ඒවා 18වන සියවසේ කරන ලද ප්‍රතිසංස්කරණවලදී ඇඳි බව පෙනෙනවා. ඒවා අතර දළදා පෙරහර දැක්වෙන  සිතුවම්ද දකින්න පුලුවන්.

චේතියඝරය

ටැම්පිට විහාරයට පසෙකින් පිහිටා තිබෙන මෙම පූජනීය ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මකව ඉතා වැදගත්. මෙය උඩරට පියස්සකින් ආවරණය වු දාගැබක් බව මහාචර්ය සෙනරත් පරණවිතාන පවසනවා. දාගැබ මහනුවර යුගයේ ඉදිවූ එකක්. එය ඉදිකර තිබෙන්නේ බොරදම් කැටයම් සහිත දඹදෙනි යුගයට අයත් කළුගල් පදනමක් මතයි. එයට ඇතුළුවීමට කොරවක්ගල් සහ සඳකඩ පහණක් සහිත ප්‍රවේශයක් පිහිටා තිබෙනවා. මෙය පුරාණයේදී දළදා ප්‍රදර්ශන පැවැත්වීමට යොදාගත් බව විශ්වාස කෙරෙනවා.

දළදා මාලිගය පාදක කරගෙන ඉදි වූ ස්මාරක විහාර භූමිය පුරාම දැකගත හැකිය. සපු බෝධිය, ශෛලමය බෝධි ප්‍රාකාරය සහිත බෝධිය, පොහොයගෙය ඒ අතර ප්‍රධානයි. පුරාණ ගොඩනැගිලිවලට අයත්ව තිබූ ශෛලමය සිංහ රූප, බහිරව රුව සහිත කුලුනු, පාදොනි, ගල් කුලුනු ආදියද  මෙහි තැන් තැන්වල දක්නට පුලුවන්.

පොහොයගෙය ඇතුළු තවත් නටබුන් ගොඩනැගිලි කිහිපයක් මළුවෙන් පිටත දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මහනුවර අවධියේ ප්‍රාකාර බැම්ම ඉදිකිරීමෙන් පසු විහාර මළුව ප්‍රමාණයෙන් කුඩා වී තිබෙන බවයි පේන්නේ. විහාරස්ථානයේ බටහිර ප්‍රදේශයේ ද දිය අගල සහ ප්‍රාකාරය දැකගත හැකිය. මෙම පුරාවස්තුවලට අමතරව විහාරස්ථානයේ අභිලේඛන කිහිපයක් දැකගත හැකිය. මෑතකදී කරන ලද කැණීම්වලින් මතුකරගත් ගොඩනැගිලි නටබුන් කිහිපයක්ද මෙහි දැකගැනීමට ලැබෙනවා.

කැණීම් මඟින් දඹදෙණි කාසි, ලන්දේසි කාසි සහ බ්‍රිතාන්‍ය කාසි ද ලැබී තිබෙනවා.

පුරාවිද්‍යා කෞතුකාගාරය
විහාර භූමියේම පිහිටා ඇති මෙහි පුරාවස්තු රාශියක් ප්‍රදර්ශනය කරනවා. ඒවා දඹදෙනිය අවට ප්‍රදේශවලින් ලැබුණු ඒවායි.

මාලිගාගල

දඹදෙණිය විහාරය අසල සිට මාලිගා ගල පාමුලට කිලෝමීටරයක් පමණ දුරයි.   සතුරු උවදුරුවලින් ආරක්ෂාවීමට එදා රජ මාලිගය පිහිටා තිබුණේ මෙම පර්වතයේයි. එහි පාමුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් ද පිහිටුවා තිබෙනවා. විවේක ගත හැකි ශාලාවක්ද තිබෙනවා. අවශ්‍ය නම් ජල පහසුකම්ද එතැනින් ලබාගත හැකියි.

තැනිතලාව බිඳගෙන ඉහළ නගින මේ පර්වතය උසින් අඩි 800ක්. වක්‍රාකාර පර්වතය වට ප්‍රමාණයෙන් කි. මී. හතරහමාහරක් පමණ වෙනවා. දඹදෙනි රාජධානියේ ඇතුළු නුවරට මාලිගා ගල අයත්. පර්වතය මත දෙවිසි රියන් තෙමහල් දළදා මැදුරක්ද රාජකීය ගොඩනැගිලි, මුර ගෙවල්, ගබඩා ගෙවල් ද පොකුණු හයක්ද වූ බව දඹදෙනි අස්නේ සඳහන් වෙනවා. බිසෝගෙවල් 980ක්ද එහි පිහිටා තිබුණා.

එදා ඉතා අලංකාර පුරවරයක් වූ මාලිගාගල අද නටබුන් විසිරී පවතින් වන වදුලක් වෙලා. එයට පිවිසීමට කළුගල් පියගැට පෙළක් දක්නට ලැබෙනවා. පර්වතය මත තැන්තැන්වල පැරණි ගොඩනැගිලි පිහිටා තිබෙනවා. ප්‍රාකාරවල අවශේෂ, ගොඩනැගිලි පාදම්, පොකුණු ආදිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා. මාලිගාව පිහිටි ස්ථානය, සිංහාසන ගොඩැල්ල, දළදා මාලිගාව පිහිටි ස්ථානය ආදිය මෙහි දී නැරඹීමට ලැබෙනවා.

වඩුවාකෙටුගල

මාපාගෙදර ගල හෙවත් වඩුවාකොටූගල නම් ගල්පර්වතය පිටිනුවරට අයත්ව තිබුණු බවයි පැවසෙන්නේ. මෙහි අපරාධකරුවන්ට දඩුවම් කරන වධකාගාරය හා සිරගෙදර පිහිටා තිබුණු බවත් පැවසෙනවා. එය පිහිටා ඇත්තේ දඹදෙනිය හන්දියේ සිට වම්පසට ඇති පාරේ කි. මී. 1ක් පමණ දුරින්. මෙයට පිවිසීම නම් තරමක් දුෂ්කරයි.

පර්වතයට නැගීමට පටු පියගැට කොටා තිබෙනවා. පැරණි ගඩොල්, උළු කැබලි, මැටි බඳුන්, සක්ක ගල් ආදී නටබුන් ශේෂ පර්වතය මත දක්නට ලැබෙනවා.

ජනප්‍රවාද පවසන්නේ දෙවන පාරාක්‍රමබාහු රජ සමයේ අධීකරණ කටයුතු කළ මාපාවරු මේ අවට වාසය කළ බවයි.

දඹදෙනිය රාජධානිය දැකබලා ගැනීම ඉතා අපූරු අත්දැකීමක්. මේ ගල්පර්වත මතදී වයඹ පළාතේ සුන්දර දර්ශනයක්ද දැක ගැනීමට පුලුවන්


(under the courtesy of roar.media web)

More News »