රුවන්වැල්ල යන ගමන්

2018-02-09 11:40:00       364
feature-top
කොළඹ සිට අවිස්සාවේල්ල හරහා කි.මී. 62ක් දුරින් පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පිටිසර පෙදෙසක් රුවන්වැල්ල. කැළනි ගඟ සහ ගුරුගොඩ ඔය මේ පෙදෙස සාරවත් කරනවා. ඒ වගේම වැහි කාලයට මේ දෙගං උතුරා ප්‍රදේශය යට වෙනවා. කැලණි නදියට ගුරුගොඩ ඔය එකතු වන්නේ රුවන්වැල්ල නගරය අද්දරින්මයි. මෙම ස්ථානයෙන් බුලත්කොහුපිටිය, කෑගල්ල හා අවිස්සාවේල්ල නගර කරා මාර්ග ගමන් කරනවා. සැබවින්ම රුවන්වැල්ල සොබා සුන්දරත්වය සපිරි පෙදෙසක් ලෙස හැඳින්විය හැකියි.

පුරාණයේ උඩරටට යන පාර තිබුණේ දැන් මෙන් යක්කල නිට්ටඹුව හරහා නොවේ. අවිස්සාවේල්ල රුවන්වැල්ල හරහායි.  මේ නිසා රුවන්වැල්ල අතීතයේ දී පහතරට ප්‍රදේශවල සිට උඩරටට පැමිණෙන විට පසු කළ යුතු කැලණි ගඟේ තීරණාත්මක තොටුපළක් පිහිටි ස්ථානයක්. මේ තොටුපොළ පිහිටියේ හරියට ම කැලණි ගඟට ගුරුගොඩ ඔය එක්වන තැන මෝය අසල යි. බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කරන්නට පෙර තුන් කෝරළයට අයත් රුවන්වැල්ලේ බලය තිබුණේ උඩරට රජවරුන්ට. රජුගේ ඇත් පන්තිය රඳවා තිබුණේ රුවන්වැල්ලේ තොටුපොළ අසල පාලංගමුව වත්තේ බව ක්‍රි.ව. 1800 දී එහි ගිය රොබට් පර්සිවල් ලියා තිබෙනවා.

ඕලන්ද ජාතිකයන් ක්‍රි. ව. 1665 දී දඬු වැටකින් වට කළ කණු ගසා සුරක්ෂිත කළ සහ ඇතුළතින් මැටි බිත්ති සහිත කඳවුරක් මෙහි පිහිට වූ බව එච්. සී. පී. ද බෙල් 1892 කෑගලු වාර්තාවේ සඳහන් කරනවා. පසුව සුද්දන් උඩරට යටත් කරගත් පසුව නිතර මහනුවරට යා යුතු වුණා. මේ නිසා ඔවුන් ඒ ගමනේ සන්ධිස්ථානයක් වන රුවන්වැල්ලේ ස්ථිර බලකොටුවක් තැනීමට තීරණය කළා.

බලකොටුව

නගරයේ උස්බිමක පිහිටි බලකොටුව තුළ අද පොලීසිය පිහිටා තිබෙනවා. උතුරින් හා නැඟෙනහිරින් ඇළ මාර්ගයකින් ද  බටහිර හා නිරිතට ගුරුගොඩ ඔය හා කැලණි ගඟට ද මායිම් වන සේ මෙම ඉඩම පිහිටා තිබූ බව සඳහන්. එවකට එහි අට්ටාල දෙකක් තනා තිබුණා. බලකොටුවට පිවිසෙන්නට තිබූ මාර්ගය අදටත් ඇති (රුවන්වැල්ල මහා විද්‍යාලය ඉදිරිපිටින් දිවෙන) කොටු දොරටුව ඔස්සේ ඇති මාර්ගයයි. අද සංරක්ෂණය කොට ඇති කොටු දොරටුවේ ක්‍රි. ව. 1817 වර්ෂය සමඟ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ නමේ මුල් අකුරු සඳහන්.

ක්‍රි.ව. 1817 දී මේජර් ජෝන් ඩේවි රුවන්වැල්ල කොටුවට පැමිණෙනවා. ඒ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මහනුවරට යන සංචාරයක දී ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස යි. මේ සංචාරයේ දී බ්‍රවුන්රිග් රුවන්වැල්ල කොටුවේ දවසක් ගත කරනවා. ඩේවි ලංකාව ගැන ලියූ ග්‍රන්ථයේ රුවන්වැල්ල හා එහි බලකොටුව පිළිබඳව ද අපූරු විස්තරයක් කරන්නේ මේ විදිහටයි.

“අවුරුදු තුනකට පෙර ජනශූන්‍ය ස්ථානයක් වූ රුවන්වැල්ල අද සමෘද්ධිමත් නැවතුම් පොළකි. මෙය පැහැදිලි කැලණි ගඟ බොර සහිත ගුරුඟු ඔය (ගුරුගොඩ ඔය) හා එකතු වන තැන ප්‍රයෝජනවත් ලෙස පිහිටියේ ය. මෙහි කොටුව නිම වීමට ආසන්න ය. නිලධරයන්ට මෙන් ම හේවායින්ට ද මෙහි විශිෂ්ට නිවාස ඇත්තේ ය. කඩපොළක් පිහිටුවා තිබිණි. ලාභය පිළිබඳ අපේක්ෂාවෙන් පොළඹවනු ලැබූ පවුල් දෙතුන් සියයක් මෙහි පදිංචි වී සිටිති. අප මෙහි පැමිණි විට මේ කුඩා නගරයේ ශීඝ්‍ර දියුණුව හා විලාසවත් උත්සවශ්‍රීය නිසා ප්‍රහර්ෂයටත් විස්මයටත් පත් වීමු.”( ඩේවි දුටු ලංකාව – පරිවර්තනය- ඇල්ලේපොළ එච්. ඇම්. සෝමරත්න)

පසුව කොළඹ නුවර මාර්ගය අද පවතින සේ නිට්ටඹුව හරහා ඉදිකළ බැවින් මෙම පැරණි මාර්ගයේ වැදගත්කම අඩු වී ගියා. ඊට පසු බලකොටුව තානායමක් බවට පත්වූ බව පැවසෙනවා.

ජුබිලි අම්බලම

ජුබිලි අම්බලම නමින් හැඳින්වෙන්නේ රුවන්වැල්ල නගරයේ පිහිටි තවත් අපූරු කතාවක් පවසන ස්මාරකයක්. අම්බලම නිර්මාණය වූයේ ක්‍රි.ව.1887 වර්ෂයට යෙදී තිබූ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජනගේ පදවි ප්‍රාප්තියේ 50 වැනි ජුබිලිය සැමරීම උදෙසා බව පැවසෙනවා.

1892 – 1896 දක්වා මේ පළාතේ සිටි ඒජන්තවරයාගේ භාර්යාව වු හදිසියේ මියගිය ලිලී හෙන්රික් ඩේවිඩ් සිහිවීම පිණිස ඇයගේ මිත්‍රයන් විසින් මෙම අම්බලම ගොඩනගා ඇති බවටද මතයක් පවතිනවා. රුවන්වැල්ල අම්බලම දැව නිර්මාණයක්. එහි එක ළඟ කුලුනු සතර බැඟින් දැව කුලුනු 16 ක් මෙහි දක්නට ලැබෙනවා. සෑම දැව කුලුනකම මුලින්, මැදින් සහ අගින් උඩරට සම්ප්‍රදාය සිහිපත් කරවන කැටයම් කපා තිබෙනවා. මෙහි විසල් ලී කුලුනු මත ගොඩනංවා ඇති පෙති උළු සහිත වහලය දැකුම්කළු නිර්මාණයක්. මෙම අම්බලම මෑතකදී සංරක්ෂණය කර තිබෙනවා.

සංගිලි පාලම

රුවන්වැල්ල නගරය මැදින් වක්වී ගලන කැලණි නදිය හරහා ඉදිකර ඇති සංගිලි පාලම නිසා අදටත් විශාල පිරිසකට සෙත සැලසෙනවා. මෙයින් එතෙර වීමෙන් පාලංගමුව, නිකවලමුල්ල, දයිගල, කුරුපැත්ත වැනි ගම්මානවලට යායුතු දුර කි. මී. ගණනාවකින් පමණ අඩු වෙනවා.

ආචර්ය ඇන්. ඇම්. පෙරේරාගේ සියවන ජන්ම දිනය සමරමින් වර්ෂ 2007 දී සබරගමුව පළාත් සභාව විසින් තැනූ මේ පාලම ලංකාවේ දිගින් වැඩිම සංගිලි පාලම ලෙසත් සැලකෙනවා. එහි දිග අඩි 550ක්.

නිකවලමුල්ල ප්‍රාග් ඓතිහාසික සොහොන
සංගිලි පාලමෙන් එගොඩ වී යාහැකි මේ ගම පසුගියදා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කළ කැණිමක් නිසා ප්‍රසිද්ධ වුණා. මේ කඳුකර ගම්මානයේ ගුරුගොඩ ඔයට ආසන්නව මැටිවලින් කළ සොහොන් ගර්භ කිහිපයක් හමුවුණා. දයිගල කඳුවැටියේ බෑවුමක පිහිටි පහන් ලෙන නමින් හඳුන්වන ලෙන ආසන්නයේ මෙම සොහොන් පිහිටා තිබෙන්නේ. මෙලෙස මැටි ඔරු වැනි සොහොන් භාවිතා කර ඇත්තේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමටයි. එසේ මැටි ඔරුවල දමා භෂ්මාවශේෂ තැන්පත් කිරීමට ප්‍රථමයෙන් එම මැටි ඔරු මැනවින් පුළුස්සා තිබෙනවා. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නටද හේතුව එයයි.

හකුරුගල විහාරය

කරවනැල්ල හරහා පැමිණීමෙන් මෙන්ම රුවන්වැල්ලේ සිට කැලණි නදිය හරහා වූ සංගිලි පාලමෙන් එතෙර වීමෙන් ද හකුරුගල විහාරය පිහිටි නිකවලමුල්ල ගම්මානයට යා හැකිය.

කැලණි ගඟ ඉස්මත්තේ ගිරි කුළුවලින් ගහන දැකුම්කලු බිමක පිහිටි ලෙන් විහාරයක්. එයට පිවිසීමට ගල්පඩි සියගණනක් තරණය කළ යුතුයි. කටාරම් කෙටූ ගල් ලෙන් තුළ විහාර මන්දිරය මෙන්ම සංඝාවාසයද පිහිටා තිබෙනවා. නමුත් මෙහි සිතුවම් සහ මූර්ති නම් නවීකරණය කරලා. වළගම්බා රජතුමන්ට ආරක්ෂාව සැලසූ ස්ථානයක් ලෙස ජනප්‍රවාද පවතිනවා.

වරාවල ආරුක්කු පාලම

රුවන්වැල්ල නගරය පසුකර කෑගල්ල පාරේ මඳ දුරක් යන විට අඟුරුවැල්ල හමු වෙනවා. වරාවල යකඩ පාලම පිහිටියේ අඟුරුවැල්ල ආසන්නයේ ගුරුගොඩ ඔය මතින්. ඒ අසලම මෑතක දී අලුතින් ඉදි කළ පාලමක්ද තිබෙනවා.

සුද්දන්ගේ යකඩ පාලම් තාක්ෂණය ගැන නිහඬව පවසන මේ පාලම ඉදි කර ඇත්තේ 1897 දීයි. එවකට මේ මාර්ගය ඔවුන්ට කොතරම් වැදගත් වුණාදැයි ඉන් පැහැදිලි වෙනවා.

මෙය නිර්මාණය කර ඇත්තේ කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ. අද ඓතිහාසික ස්මාරකයක් වී ඇති මෙම පාලම දැක්වෙන මුද්දරයක් ද 2011 දී  නිකුත් කළා.

මේ ස්ථානවලට අමතරව කඩදොර පත්තිනි දේවාලය, පෙතන්ගොඩ කටු උණ පඳුර, මැදගොඩ පත්තිනි දේවාලය වැනි ඓතිහාසික ස්ථානවලටත් රුවන්වැල්ලේ සිට එතරම් දුරක් නැහැ.


(under the courtesy of roar.media web)
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »