ගම්පහ සොබා සුන්දරත්වය විඳින්න

2018-02-12 11:52:00       114
feature-top
කොළඹට නුදුරින් පිහිටි ගම්පහ සොබාදහමේ සුන්දරත්වය නැරඹීමටත් ඉඩ සලසන ප්‍රදේශයක් බව ඔබ සමරවිට ‍නොදන්නවා ඇති.  දිනක චාරිකාවකට කදිම එවැනි තැන් දෙකක් ගැන කියා දෙන්නයි මේ සූදානම. ඒ අගනුවරට ළඟම උද්භිද උද්‍යානය සහ ජාතික වනෝද්‍යානය ගැන තොරතුරුයි ඒ.

ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

ගම්පහ නගරයේ සිට මිනුවන්ගොඩ පාරේ කි. මී. එකහමාරක් ගමන් කරන විට මාර්ගයේ වම්පසින් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට මඟ පෙන්වන නාම පුවරුව හමුවෙනවා. අතීතයේදී ගම්පහට භාවිත කළේ හෙනරත්ගොඩ කියන නම නිසා උද්‍යානයත් ඒ නමින්ම හඳුන්වනවා. එතැනින් හැරී තවත් කිලෝමීටර තුන්කාලක් යන විට උද්‍යාන ප්‍රවේශ දොරටුව දැකගත හැකියි. මෑතකදී මෙම උද්‍යානය නවීකරණය කර විවෘත කළ නිසා සංචාරකයන්ට නවතම පහසුකම් කිහිපයක්ද විඳගැනීමට පුලුවන්.

පිහිටීම

පහතරට තෙත් කලාපයකට අයත් හෙනරත්ගොඩ උද්භිද උද්‍යාන පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 10ක් උසින්. එහි විශාලත්වය හෙක්ටයාර් 14.4 (අක්කර 43ක්) උද්‍යානය ඉදිරිපසින් ගම්පහ කුඹුරු යාය දක්නට ලැබෙනවා. මීගමුවෙන් මුහුදට වැටෙන අත්තනගලු ඔය ගලා යන්නේ උද්‍යානයට මායිම්වෙමින්. වර්ෂා කාලයට මැඩිල්ල ඇළ හා අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා උද්‍යානයේ සමහර කොටස් ජලයෙන් යටවෙනවා. සංචාරකයන් වගේම පෙම්වතුන් පෙම් සුව විඳීමටත් මෙයට බහුලව ඇදී එනවා. පාසල් සිසුන්ට ශාක පිළිබඳ අධ්‍යයනයටත් ගම්පහ මල්වත්ත උපකාරී වෙනවා.

පළමු රබර් ගස

මෙම උද්භිද උද්‍යානය බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ ආරම්භ කළේ වර්ෂ 1876 දීයි. ඒ බ්‍රිතාන්‍යයේ කිව් උද්‍යානයේ සිට ‘ඩියුක් ඔප් ඩෙවොන්ෂර්’ නෞකාවෙන් ලංකාවට මුලින්ම රැගෙන ආ රබර් බීජ 1919ක් මෙහි රෝපණය කිරීමෙන්. ගම්පහ දේශගුණය රබර් වැවෙන බ්‍රසීලයේ ඇමේසන් වනයේ දේශගුණයට සමාන වීම නිසයි එලෙස රබර් වගාවට එම ප්‍රදේශය තෝරාගෙන ඇත්තේ. එවකට රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයා වූ ආචර්ය ජී. එච්. කේ. ත්වේයිට්ස්ගේ අධීක්ෂණය මත රබර් රෝපණය කර තිබෙනවා. 1880 දී එම රබර් ගස්වල මල් හටගත් බවත්, පසුව ඒ රබර් බීජවලින් මෙරට මෙන්ම දකුණු ආසියාතික රටවල් කිහිපයකම රබර් වගාව ආරම්භ වූ බවත් වාර්තාවල සඳහන් වෙනවා. පසුව රබර් වගාව එලෙසම තිබියදී මෙහි කොටසක් උද්භිද උද්‍යානයක් බවට පත් කර තිබෙනවා.

ලංකාවේ පළමු රබර් ගස වශයෙන් සැලකෙන රබර් ශාකය මෑතක් වනතෙක් මෙහි දැකගත හැකිවුණා. වර්ෂ 1988 දී හැමූ සුලිසුළඟක් නිසා එම රබර් ගස වැනසී ගියා. දැනට දැකගත හැක්කේ එය පිහිටි ස්ථානයේ තිබෙන මුල් කිහිපයක් පමණයි. එයට අමතරව පැරණි රබර් ගස් කිහිපයක්ද උද්‍යානයේ දක්නට ලැබෙනවා.

වර්ෂා වනාන්තරය

උද්‍යානයේ ප්‍රධාන පිවිසුම දෙපස පිහිටි වනාන්තරය ආරම්භයේ පටන්ම නිවර්තන වර්ෂා වනාන්තරයක ආදර්ශයක් ලෙස පවත්වාගෙන යනවා. මෙයට 1988 සුළි සුළඟින් විශාල හානියක් වුණා. එයට නුදුරින් පිහිටි පාම් ගස්වලින් ලැබෙන්නේ ද අලංකාර පෙනුමක්. ජපන් උද්‍යානය, උඩවැඩියා එකතුව, ඖෂධ උයන, පලතුරු උයන, පුෂ්ප උයන, මීවන උයන, තාල වර්ගයේ ශාක එකතුව ආදී වශයෙන් මෙහි ශාක පැතිරී තිබෙනවා.

විනෝද වන්න

උද්භිද අධ්‍යයනයට අමතරව නරඹන්නන්ට විනෝදවීම සඳහා අවස්ථාව සලසා දී තිබෙන්නේ අංග කිහිපයක් එක් කිරීමෙන්. ළමා උද්‍යානය සහ නුග ගසක් මත තැනූ නිවස ළමුන් අතර ජනප්‍රියයි. ළමුන්ට විවිධ ක්‍රීඩා කරමින් මෙහි සතුටුවිය හැකියි. පෙම්වතුන් අතරත් හෙනරත්ගොඩ උද්‍යානය ඉතා ජනප්‍රියයි.

ඒ වගේම උද්‍යානයේ අන්තයේ මෑතක දී නිර්මාණය කළ ජලාශයේ බෝට්ටු පැදීමටත් අවස්ථාව ලබාදී තිබෙනවා. ක්‍රීඩා කිරීම සඳහා මෙහි ක්‍රීඩා පිටි වෙන්කර ගැනීමටත් පුළුවන්.

මංගල පින්තූර ගන්න

මංගල ඡායාරූප ගැනීමට සහ වීඩියෝ ගත කිරීම සඳහා ද උද්‍යානයේ ඉඩපහසුකම් තිබෙනවා. ගීත රූප රචනා, ටෙලි නාට්‍ය, චිත්‍රපට රූගත කිරීම්, රූපවාහිනී වැඩසටහන් රූගත කිරීම් සඳහාද මෙහි ඉඩපහසුකම් වෙන්කර ගත හැකියි. සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ඇන්තූරියම් වගාව, විසිතුරු පත්‍රික ශාක වගාව, ඕකිඩ් වගාව සහ ජර්බරා වගාව පිළිබඳව දේශන හා ක්ෂේත්‍ර අධ්‍යයන මගින් පුහුණු පාඨමාලා ද මෙහි පැවැත්වෙනවා. ඉල්ලීම අනුව රෝස වගාව හා බොන්සායි වගාව පිළිබඳව පුහුණුව ලබාදීමද සිදු කරනවා

හොරගොල්ල ජාතික උද්‍යානය

ගම්පහ සිට කි. මී. 17ක් දුරින් පිහිටි නිට්ටඹුවට පැමිණ වේයන්ගොඩ මාර්ගයෙහි පින්නගොල්ල මංසන්ධියට පැමිණ අතුරු මාවතක කිලෝ මීටරයක් ගමන් කළ විට උද්‍යාන පිවිසුමට ළඟාවිය හැකියි. ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යාන 22 අතරින් කුඩාම උද්‍යානය වන්නේ හොරගොල්ලයි. එහි විශාලත්වය හෙක්ටයාර් 13.36ක් පමණයි. ඊළඟට කුඩාම ජාතික උද්‍යානය ( හෙක්. 29) නුවරඑළියේ ගල්වේස් ලෑන්ඩ්.

වන උද්‍යාන පිවිසුම අසලම පිහිටා ඇත්තේ කුඩා වැවක්. වනය පසුබිම් කරගත් වැවෙන් උද්‍යානයේ අලංකාරය වැඩි වෙනවා. එයට එපිටින් පිවිසුම් දොරටුවත් වනජීවි කාර්යාලය හා  කුඩා කෞතුගාරයත් පිහිටා තිබෙනවා. විවිධ ආබාධවලට ලක්වූ සතුන් රැක බලා ගන්නා ස්ථානයක්ද හොරගොල්ල ජාතික උද්‍යාන පිවිසුමට ආසන්නයේ පිහිටුවා තිබෙනවා.

මුලින්ම අභය භූමියක්

මුලින්ම බණ්ඩාරනායක පරපුර සතුව පැවති මෙම කැලෑ ඉඩම 1970 වසරේ ඉඩම් කොමිෂන් සභාව මඟින් අක්කර පනහකට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම යටතේ රජයට පවරා ගැනුණා. ඊට පසු  වන සතුන් දඩයම සහ ගස්වැල් කැපීම සිදුවූ නිසාත් මෙහි ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහාත් 1973 ගැසට් නිවේදනයක් මඟින් අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කළා.

ඉන්පසුව මේ ස්ථානය සංචාරකයන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, පාසල් ශිෂ්‍යයන්ට, පරිසර සංවිධාන සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ද සිදු වුණා. හොරගොල්ල ජාතික උද්‍යානයක් බවට පත් වුණේ  2004 ජූලි 28 දා විශේෂ ගැසට් නිවේදනයක් මඟින්. උද්‍යානය තුළ නරඹන්නන්ට පියමං කිරීමට කුඩා මංපෙත් සකස් කර තිබෙනවා. ඒ අතර විවේක ගැනීමේ ස්ථානත් සකසා තිබෙනවා.

පහතරට තෙත් වනාන්තරය

හොරගොල්ල ජාතික උද්‍යානය පහතරට තෙත් වනාන්තරයක්. නමුත් මෙහි කුළුඳුල් වනාන්තරයක් දැකගැනීමට ලැබෙන්නේ නැහැ. පසුකාලීනව විවිධ හේතු නිසා  මෙය එළිකිරීම කර තිබූ අතර මේ වන විට ද්විතීයික වනාන්තරයක් වර්ධනය වී තිබෙනවා. අතරින් පතර විශාල ගස් ද දැකගැනීමට ලැබෙනවා. හොරගොල්ල කියා හඳුන්වන්නේ මෙහි ප්‍රමුඛ ශාකය හොර නිසයි.

හොරගොල්ල ජාතික උද්‍යානයේ වියන් ස්තරයේ ශාක අතර නැටව්, හොර, වල්දෙල්, හවරිනුග, කුඹුක්, වල් ඇහැල, මහෝගනි, කොස්, හල්මිල්ල, ගොන්න, ඇටඹ බහුලව දක්නට ලැබනවා.

ශාක අතර බඹර වැල්, පුස්වැල්, වෙනිවැල් වැනි වර්ග වැවී තිබෙනවා. ඊට පහළින් උප වියන් ස්ථරය ලෙස රුක්, ඊරිය, මලබොඩ, ගොඩපර, දියපර, ගොරක, කැන්ද, පොරෝමාර, කැටකෑල, කිතුල්, පත්කෑල වැනි ශාක පැතිර තිබෙනවා .

බිම් ස්තරයේ හීන්කෙන්ද, අංකෙන්ද, බෝවිටියා, හින්කැබැල්ල, දිවිකදුරු, බලල් කදුරු, වල්ල, පලොල් වැනි ශාක දැකිය හැකිය. හෙක්ටයාර් 1.5ක ප්‍රමාණයෙන් යුත් කුඩා තණ බිමක් ද මෙහි දැකගත හැකියි.

සත්ත්ව විවිධත්වය
කාලයක් මේ කැළෑවට ගෙවතුවල හමුවන විසකූරු සර්පයක් අල්ලා ගෙනවිත් දැමීමට ගැමියන් පුරුදුව සිටියා. අදත් නයා, තිත්පොළඟා, පිඹුරා ඇතුළු සර්ප විශේෂ රාශියක් මෙහි ජීවත් වෙනවා. ක්ෂීරපායී සත්ව විශේෂ කිහිපයක්ම හොරගොල්ලෙන් වාර්තා වෙනවා. කොළ දිවියා, වල් බළලා, හඳුන් දිවියා යන බළල් විශේෂ ද, කලවැද්දා, රන් හෝතඹුවා, දඬුලේනා, මීමින්නා, ඕලුමුවා, නරියා. ඉත්තෑවා, රිලවා ලංකාවට ආවේණික කළු වඳුරා යන සතුන් ද  දැකිය හැකියි. ආවේණික අළු කෑඳැත්තා, ගිරාමලිත්තා, හිස කළු කොණ්ඩයා, අළු ගිරවා, මුදුන්බොර දෙමලිච්චා ඇතුළු කුරුලු විශේෂ රැසක් ද මෙහි සරනවා.

විල්මුවා සංරක්ෂණ ව්‍යාපෘතිය

ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු වගාබිම් හා වනවදුලුවලින් වාර්තා වන වඳවී යන විල්මුවා සංරක්ෂණය කිරීමට උද්‍යානයේ කොටසක් වෙන්කර තිබෙනවා.

හොරගොල්ල ජාතික උද්‍යානයේ ජලජ ජීවීන් ලෙස කනයා, මගුරා, කොරලියා, කොටපෙතියා, තිලාපියා, අහිරාවා, කාවයියා, මල් කොරලියා වැනි මත්ස්‍ය විශේෂ පැතිර සිටිනවා. උන් වැව හා අවට ඇළ මාර්ගවල ජීවත් වෙනවා.

බස්නාහිර වනජීවී කලාපය තුළ අවතැන් වන සතුන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් මෙම ස්ථානය හැඳින්විය හැකිය. පසුගිය වසර කිහිපය තුළ පක්ෂීන්, උරගයන්, කුඩා ක්ෂිරපායින් සහ විශාල ක්ෂිරපායි කාණ්ඩවලට අයත් සත්ත්වයන් රැසක් මෙහි පුනරුත්ථාපනය කටයුතු කර සුවපත් කිරීමෙන් අනතුරුව සුදුසු පරිසරවලට මුදාහැර තිබෙනවා.


(under the courtesy of roar.media web)

More News »