මහනුවරට ගියත් නොදකින අපූරු තැන්

2018-02-26 11:46:00       557
feature-top
මහනුවර සංචාරය කරන එහෙමත් නැත්නම් වන්දනාවේ යන හුඟ දෙනෙක් නරඹන්නේ දළදා මාලිගාව සහ ඒ අවට තැන් කිහිපයක් පමණයි. සමහරු සිව් මහා දේවාල, පුරාවිද්‍යා කෞතුකාගාරය, ජාතික කෞතුකාගාරය වගේ තැන්වලටවත් යන්න උනන්දු වන්නේ නැහැ. කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සැලසුම් කළොත් ඔබට මහනුවර දැකගත හැකි තැන් තවත් රාශියක් තිබෙන බව වැටහේවි. මේ නිසා මහනුවර ඓතිහාසික මෙන්ම පාරිසරික සුන්දරත්වය සම්පූර්ණයෙන් දැකබලා විඳ ගැනීමට වැඩි දෙනෙකුට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ එලෙස මඟහැරෙන තැන් කිහිපයක් ගැන මතක් කර දීමටයි.

උඩවත්ත කැලේ

දළදා මාලිගය පිටුපසින් ඇදී යන මේ කුඩා වනාන්තරය රාජධානි සමයේ තහංචි කැලෑවක්.  එය අද පාලනය වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමෙන් ඔබටත් මේ වනය නැරඹිය හැකියි. ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ නගර සභා ගොඩනැගිල්ල අසලින් දිවෙන කන්දේ වීදියේ ගමන් කිරීමෙන් උඩවත්ත කැලේට ළඟා විය හැකියි. වනය ඔස්සේ මාර්ග සකසා තිබෙන නිසා පහසුවෙන් එය ඔස්සේ පියමං කළ හැකියි. ජනප්‍රවාද පවසන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජු මුලින්ම තම මාලිගය ඉදිකර ගත්තේ මේ වනාන්තර භූමියේ බවයි. සෙංකඩගල නුවරට ඒ නම ලැබීමට හේතු වූ බව පැවසෙන සෙංකණ්ඩ බමුණා විසූ ලෙන පිහිටියේත් උඩවත්ත කැලේ යි.

ලංකාවේ ප්‍රථම රක්ෂිත වනාන්තරය බවට පත්වූයේ මේ වනපෙතයි. ඒ 1856 ඔක්තෝබර් 25 දා නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුවයි. එම වනපෙත 1938 ජූලි 29 දා අභය භූමියක් බවට පත් කළා. මෙහි විශාලත්වය අක්කර 257ක්. වනය ආරම්භ වන ස්ථානයේ පසෙකින් ශ්‍රී දළදා තපෝවනය පිහිටා තිබෙනවා. ඊට අමතරව ජර්මන් විහාරය, සේනානායක ආරාමය, මෛත්‍රී කුටිය වැනි බොදු පුදබිම්ද මේ තුළ පිහිටා තිබෙනවා.

පුරාණ පොකුණක් ද මෙහි තිබෙනවා. රජ සමයේ එහි සිට රජ වාසල දක්වා උමඟක් පැවති බව ජනප්‍රවාද පවසනවා.

මෙහි පැතිර තිබෙන්නේ තෙත් කලාපීය නිවර්තන වර්ෂා වනාන්තරයක්. වනයේ උසම ස්ථානය( අඩි 1800ක්) කොඩිගල නමින් හැඳින්වෙනවා. රජ සමයේ එහි කොඩි ගසක් ඉදිකර තිබූ බව සඳහන්. කොඩිමලේට ආසන්නව විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පුස්වැලක්ද දක්නට ලැබෙනවා. වනයේ එක් ප්‍රදේශයක සම්පූර්ණයෙන් පැතිර තිබෙන්නේ නා වනයක්. උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405 ට වැඩි සංඛ්‍යාවක් පැතිර තිබෙනවා. කොස්, අංකෙන්ද, වල්දෙල්, පිහිඹිය, මහෝගනී, කිතුල්, මී, නා, මදටිය, වන සපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග, යනාදී තුරුලතා මෙම වනයේ සුලබයි.

පක්‍ෂි විශේෂ 81 ක්‌ උඩවත්ත කැලේ වන පියස තම නිවහන කරගෙන සිටිනවා. ලංකා රත්නළල් කොට්‌ටෝරුවා, අළු කොබෙයියා, නීල කොබෙයියා, කොණ්‌ඩ උකුස්‌සා, සර්ප උකුස්‌සා, සැළලිහිණියා, රන් පිළිහුඩුවා, කහ කුරුල්ලා, ලංකා ගිරා මලිත්තා, අළු ගිරවා, අඳුරු නිල් මැසිමාරා යනාදි කුරුලු විශේෂත් ඒ අතර සිටිනවා.  සර්ප විශේෂ 21 ක්‌ පමණ මෙහි සිටින බවට හඳුනාගෙන තිබෙනවා. උඩවත්ත කැලේ දිවිගෙවන සමනල විශේෂ  සංඛ්‍යාව 75ක්.

දළදා මැඳුරේ ප්‍රාචීන පුස්තකාලය

මෙම පුස්තකාලය 1875 දී ආරම්භ කර ඇත්තේ එවකට ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිගේ මූලිකත්වයෙන්. ඉංග්‍රීසින් විසින් විහාරස්ථානවලින් කොල්ලකන ලද පුස්කොළ පොත් රාශියක් මෙහි තිබෙනවා. මෙහි පුස්කොළ පොත් 2000කට වැඩි සංඛ්‍යාවක් තැන්පත් කර තිබෙනවා. මේවා වැඩි ප්‍රමාණයක් අවුරුදු 150කට වඩා පැරණි ධර්ම ග්‍රන්ථයි. මුද්‍රිත පැරණි පොත් රාශියක් ද මෙහි තිබෙනවා. මෙම පුස්තකාලය සාමාන්‍ය වන්දනාකරුවන්ට නැරඹීමට අවස්ථාවක් නැහැ. ඒ සඳහා කලින් දළදා මාලිගයේ පරිපාලන අංශයෙන් අවසරය ලබාගත යුතුයි.

ගැරිසන් සුසානය

දළදා මාලිගය අසල ඇති ජාතික කෞතුකාගාරය මායිම් කරමින් ඇති මාවත ඇදී යන්නේ ගැරිසන් සුසාන භූමිය වෙතටයි. පර්චස් 130ක විශාලත්වයෙන් යුත් මේ බිම්කඩ පළලින් අඩු දිගින් වැඩි බිම් තීරුවක් ලෙස පැතිර තිබෙනවා. කලක් වන වදුලින් වැසී පැවති මේ බිම්කඩ 1998 දී චාල්ස් කුමාරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් සංරක්ෂණය කළා. වර්ෂ 2013 දී චාල්ස් කුමාරයා අප රටට පැමිණි විටත් මෙම සොහොන් බිම නැරඹීමට ගියා. ගැරිසන් කියා කියන්නේ යුද්ධ සෙබළුන්ගේ රැඳවුම් පොළටයි. ඉංග්‍රීසි කාලයේ මෙහි යුද්ධ සෙබළ රැඳවුම් ස්ථානයක් තිබෙන්නට ඇති. මෙය පුරාවිද්‍යාත්මකවත් වටිනා ස්මාරකයක්.

අවුරුදු 133ක් අප රට පාලනය කළ ඉංග්‍රීසින්ගේ අමිහිරි මතක සටහන් අපට ස්මරණය කරවන තැනක් තමයි ගැරිසන් සොහොන. මෙම සුසානයේ ඇත්තේ ක්‍රිස්තියානි බැතිමත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සොහොන් කොත් පමණයි. මෙහි සැතපෙන බොහෝ දෙනා අඩු වයසින් මියගිය අය බව සොහොන් කොත්වල සටහන් කියවන විට පේනවා. මෙය මුලින්ම භාවිත කර ඇත්තේ 1817දී. අවසන් වරට භූමදානය කර ඇත්තේ 1909දී. මහනුවර මහයියාව සුසානය ආරම්භ කිරීමත් සමඟ මෙහි වැදගත්කම අඩුවෙලා ගිහින්. 1914 වනවිට මෙහි සොහොන් කොත් 163ක් තිබුණු බව සඳහන්. අදටත් මෙහි සොහොන් කොත් කදිමට ආරක්ෂා වී තිබෙනවා.

සොහොන් ලෑලි, සොහොන් කණු, සොහොන් පුවරු වශයෙන් මෙහි සොහොන් වෙන්කළ හැකියි. මේවායේ අලංකාර කැටයම් ද දක්නට පුළුවන්. මේ අතරින් විශාලම සොහොන වෙන් වන්නේ උඩරට නේවාසික නියෝජිත වශයෙන් සිටි ජෝන් ඩේවි වෙනුවෙන්. ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිගේ බිරිය වූ එළිසබෙත්ගේ සොහොනද මෙහි තිබෙනවා. විශිෂ්ට ඉංග්‍රීසි ඉංජිනේරුවකු වූ ජෝන් ප්‍රෙසර්, සැළලිහිණි සංදේශය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විලියම් චාල්ස් මැක්රෙඩි ආදිහු මෙහි නිදන සුවිශේෂී චරිත අතර සිටිනවා.

රජපිහිල්ල

රාජකීයයන්ගේ ස්නානය සඳහා ඉදිකළ මෙම නාන ස්ථානය පිහිටියේ අම්පිටිය පාරේ රජපිහිල්ල හන්දියෙන් හැරී යන අතුරු මාවතකයි. නගරයේ සිට ඇති දුර කි. මී. දෙකක් පමණ වෙනවා. දුනුමඬලාව රක්ෂිත වනාන්තරයෙන් ගලා එන රජපිහිල්ල ඇළේ ජලය හරස් කිරීමෙන් මෙම දිය පිහිල්ල නිර්මාණය කර තිබෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ කාලයේ බව පිළිගැනීමයි. ඒ රජු තම බිසෝවරුන්ට ස්නානය කිරීමට මෙම පිහිල්ල තනා දුන්නාලු. මහනුවර වැව් ඉවුරේ දක්නට ලැබෙන බිසෝ උල්පැන්ගේ නම් තනවා තිබෙන්නේ ශ්‍රී වික්‍රම රජසිංහ රජුයි.

රජ-පිහිල්ලේ දී අපට දැකගත හැක්කේ දිය බේසමකට වැටෙන ජලය හිසට වෑස්සීම සඳහා සකස් කළ දිය බේසමක්. කළුගලින් කළ එය අඩි 6ක් උස ගල්ටැඹක් මත සවිකර තිබෙනවා. දියබේසමේ ජලය පිටවීමට පීලි තුනක් තනා තිබෙනවා. අදත් රජ පිහිල්ල දොළේ ජලය උපයෝගී කරගෙන මහනුවර නගර සභාව ජනතාවට ස්නානය කිරීමට පොදු නාන ස්ථානයක් ඉදිකර තිබෙනවා.

ආතර් සීට්

ආතර් සීට් අසලට පෙනෙන දළදා මාලිගා පරිශ්‍රය

මහනුවර වැවේ බස්නාහිර සොරොව්ව අසලින් ඇරඹෙන රජපිහිල්ල මාවතේ ගමන් කරන ඔබට ආතර් සීට් නම් ස්ථානයට පිවිසිය හැකියි. එය මහනුවර නගරය කුරුළු නෙතකින් දැකගත හැකි ස්ථානයයි.


ආතර් සීට් සිට මහනුවර නගරය දකින්න

ඉංග්‍රීසි පාලන සමයේ දී ආතර් නම් වැවිලිකරුවා නගරය දෙස බැලීමට මෙහි කළුගලින් ආසනයක් කරවා තිබෙනවා. එදා පටන් අද දක්වාත් මහනුවර කදිම දර්ශනයක් නැරඹීමට කැමැති විදේශිකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට එනවා. ඔවුන්ට සමරු අලෙවි කරන වෙළෙඳසල් කිහිපයකුත් මෙතැන තිබෙනවා. ඒත් දේශීය සංචාරකයන් නම් ආතර් සීට් ගැන එතරම් දැනුවත් නැහැ.

දුනුමඬලාව වනාන්තරය

පරිසරය ගැන උනන්දු වන කාටත් වැදගත් ස්ථානයක්. ආතර් සීට් අසලින් ඉහළට දිවෙන සරණංකර මාවත ඔසසේ යාමෙන් මෙම වනාන්තරයට පිවිසිය හැකියි. වනයේ විශාලත්වය අක්කර 753ක්. එය මුහුදු මට්ටමේ සිට අඩි 1800-3200 අතර උසකින් පැතිර තිබෙනවා. මේ නිසා මහනුවර නගරයට වඩා වැඩි සිසිලක් මෙහිදී විඳගත හැකියි.  මහනුවර නගරයට පානීය ජලය සපයන ජලාශය ඇත්තේ මේ වනය තුළයි. මුලින්ම මෙහි කෝපි වතුයායක් තිබුණූ අතර 1870 දී එම වතුයාය මහනුවර නගර සභාවට පවරාගෙන තිබෙනවා. ඊට පසු එහි ජලාශ දෙකක් ඉදිකළා. මෙම වනාන්තරය පාලනය වන්නේ මහනුවර මහ නගර සභාව මගින්. එයට ඇතුළුවීමට නගර සභාවෙන් අවසරය ලබාගත යුතුයි.


(under the courtesy of roar.media web)

More News »