ගම්පහට ගිහින් ලෙන් 100ක් දැකබලා ගන්න

2018-03-07 11:12:00       363
feature-top
ගම්පහ දිස්ත්‍රික්කය කොළඹට නුදුරු නාගරික කලාපයක් වශයෙන් තමයි සලකන්නේ. විශාල ජනගහනයක් මෙහි වාසය කරනවා. ගම්පහ දිසාවේ වැඩි ප්‍රමාණයක පැතිර තිබෙන්නේ සියනෑ කෝරළයයි. සියනෑ කෝරළය එක් පසෙකින් කැලණි නදියටත් අනෙක් පසින් අත්තනගලු ඔයටත් මැදිවූ බිම්කඩක්.

අත්තනගල්ල අලවල ප්‍රදේශයෙන් මෙම කෝරළය කෑගල්ල දිස්ත්‍රික්කයට මායිම් වෙනවා.

මෙම කලාපයේ ක්‍රිස්තු පූර්ව යුගයට දිවයන පුරාණ ලෙන් විහාර හා පර්වත කූටවල ඉදිවූ ආරණ්‍ය දක්නට පුළුවන්. පාරිසරික අතින් ද මේ පුදබිම් සොඳුරු දසුන් මවනවා. ඒ නිසා දුරබැහැර ඇවිදින අතරම කොළඹට නුදුරු ගම්පහ සියනෑ කෝරළයේද සුන්දරත්වය සොයා චාරිකාවක යෙදීමටයි ඔබට මෙලෙස ආරාධනා කරන්නේ.

පිළිකුත්තුව ලෙන්

නුවර පාරේ ගම්පහ මිරිස්වත්ත හන්දියෙන් හැරී වතුරුගම පාරේ කි. මී. 4ක් ගමන් කළ විට පිළිකුත්තුව රජමහා විහාරයට යන අතුරු මාවත හමුවෙනවා. එම පාරේ තවත් කි. මී. එක හමාරක් පියමං කළ විට පර්වත බහුල කුඩා කඳුගැටයක් දැකගැනීමට ලැබෙනවා. පිළිකුත්තුව ලෙන් විහාරය පිහිටා තිබෙන්නේ එම කන්ද ආශ්‍රිතවයි.

කඳුගැටයේ අක්කර 48ක් පමණ විහාරයට අයත් ලෙන් පැතිරී තිබෙනවා. සියනෑ කෝරළයේ පැරණි ලෙන් බහුලවම හමුවන ස්ථානය වන්නේ ද පිළිකුත්තුවයි. මෙහි කටාරම් කොටා භික්ෂුන්ගේ වාසයට සුසුදු පරිදි සකස් කළ ලෙන් 54ක් තිබෙනවා. ලෙන් කිහිපයක් පෞද්ගලික ඉඩම්වලද දැකගත හැකියි.

මෙහි පිහිටි සියලු ලෙන් සංඛ්‍යාව 86ක් බව පැවසෙනවා. මෙම ලෙන් පුරාවිද්‍යා රක්ෂිත වශයෙන් නම් කර තිබෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි තුනක්ද මේ ලෙන් ආශ්‍රිතව දැක ගන්න පුළුවන්.

ලෙන් විහාර දෙකක් පිළිකුත්තුවේදී හමුවෙනවා. පහත මළුවේ පිහිටි ලෙන් විහාර මන්දිරයේ උඩරට සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් සහ ප්‍රතිමා සුරැකී තිබෙනවා. එය කලා ඉතිහාසය හදාරන්නන්ට ඉතා වැදගත්. ලෙන් වියනක් යට පිහිටි දාගැබ ද සුන්දර දර්ශනයක් මවනවා. පැරණි පොකුණු ආදියත් මෙහි දැකගත හැකියි. ඉන් එක් පොකුණක් කුඩා ජලාශයක් තරම් විශාලයි.

පිළිකුත්තුව  කුඩා වනාන්තරය පාරිසරිකවත් ඉතා වැදගත්.  වල්දෙල්, ඇටම, දොඹ, ගල්කරඳ, කටුකිතුල්, පුස්වැල් ඇතුළු ශාක විශේෂ රැසක් එහි දී දැකගත හැකියි. වන සංරක්ෂණ දොපාර්තමේන්තුවේ වන සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ වෘක්ෂ අභය භූමයක් ලෙස පිළිකුත්තුව නම් කර තිබෙනවා. මෙහි වනගත සුන්දරත්වය නිසා පසුගිය කාලයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසක දර්ශන තලයක් ලෙසද භාවිත කළා.

කොස්කඳවල

මෙය පිළීකුත්තුවේ සිට කි. මී. 6ක් දුරින් පිහිටි ලෙන් විහාරයක්. යක්කල හන්දියෙන් රදාවාන පාරට හැරී කි. මී. 3ක් ගමන් කළ විට අහස උසට විහිදෙන අඩි 200ක් පමණ උස විශාල පර්වත තල්ලක් දක්නට ලැබෙනවා. කොස්කඳවල විහාරය පිහිටා ඇත්තේ එම පර්වතය පාමුලයි. මෙම විහාර භුමිය තුන් පැත්තකින් පර්වත බිත්තිවලින් වටවී තිබීමත් සුවිශේෂත්වයක්. මෙහි පැරණි බිතුසිතුවම් නම් නවීකරණය නිසා වැනසී ගිහින්. මෙහි ලෙන් විහාරය පිහිටි පර්වතය මත සිරිපතුල් සලකුණද කොටා තිබෙනවා.

වාරණ

යක්කල රදාවාන මාර්ගයේ නෙල්ලිගහමුල හන්දියෙන් හැරී අතුරු මාවතක ගමන් කරන විට වාරණ ලෙන් පිහිටි ඉසව්වට ළඟා වෙන්න පුළුවන්. වාරණ රජමහා විහාරය පිහිටි කඳුගැටරයට අමතරව තවත් ලෙන් පිහිටි කඳුගැටයක් එයට ඉදිරියෙන් පිහිටා තිබෙනවා. වාරණද ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපියක් දැකගන්න ලැබෙනවා.

වාරණ කන්ද මුදුනේ මෑතක දී කළ පුරාවිද්‍යා කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයට අයත් මානවයන් භාවිත කළ ගල්ආයුධ සොයා ගනු ලැබුවා. මෙහි ලෙන් 12ක් පමණ පිහිටා තිබෙනවා.

මළු වශයෙන් ඉහළට ඇදීයන පර්වත රාශියක කටාරම් කොටා ලෙන් වශයෙන් සකස් කර තිබෙනවා. ඒවාට ගමන් කිරීමට කලුගලෙන් කළ පියගැට පෙළවල් ලවා සකසා තිබෙන අාකාරය ඉතා සුන්දර දසුනක්. කඳු පාමුල ධර්ම ශාලාව සහ සංඝාවාසය පිහිටා තිබෙන්නේ ද ලෙන්වලයි. ධර්ම ශාලාවේ පියස්සක උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම් කොටසක් දැකගත හැකියි.

කඳු බෑවුමේ මැද මළුවේ ලෙන් විහාරය තුළ සූවිසි බුද්ධ රූප ඇතුළු බුද්ධ ප්‍රතිමාත්, ලෙන් පියස්ස යට දාගැබකුත් දක්නට ලැබනවා. ඉහළ මළුවේත් ලෙන් විහාරයක් සහ පැරණි ලෙන් ආවාස දක්නට පුලුවන්. කඳු මුදුන වටේ කුඩා වන වදුලක් නිර්මාණය වී තිබෙනවා. එය මෙතැනට පැමිණෙන හාවන්, ඉත්තෑවන්, මීමින්නන් ඇතුළු වන සතුන්ට නිවහනක් වෙලා.

ඇවරියවල අම්බලම

යක්කල රදාවාන මාර්ගයේ පැමිණ අඹගස්පිටියෙන් හැරී කි. මී. එක හමාරක් අතුරු මාවතක ගිය විට ඇවරියවල ගම්මානයට පිවිසෙනවා. එහි වෙල්යායක් අසල කුඩා ජලාශයක් පසුබිම් කරගෙන පිහිටි පර්වතයක් මත පැරණි අම්බලම පිහිටා තිබෙනවා. ජනප්‍රවාදවල වළගම්බා රජුගේ බිසව දියනෑමට මෙම පොකුණට පැමිණි බවත්, ඇගේ හවරිය අමතකව යාම නිසා හවරිය වළ යන්න භාවිත වී පසුව ඇවරියවළ වූ බවත් පැවසෙනවා.

මෙම ස්ථානයේ මහනුවර යුගයේ දී දැව භාවිතයෙන් අම්බලමක් ඉදිකර තිබෙනවා. දිරාපත්වී තිබූ මෙම අම්බලම මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලැබුවා.

මාලිගාතැන්න

ගම්පහ මිරිස්වත්ත  රදාවාන මාර්ගයේ කි. මී. 5ක් පැමිණ උඩතුත්තිරිපිටියෙන් හැරුණු පසු මාර්ගය වම්පසින් ඇදීයන කුඩා කඳුවැටියක් නෙත ගැටේවි. මේ මාර්ගයේ කි .මී. 2ක් දුර යන විට එම කඳුවැටියට අයත් මහා පර්වතයක් මාර්ගයට බෑවුම්ව පිහිටා තිබෙන අන්දම පේනවා, ඒ මාලිගාතැන්නයි. කෝට්ටේ යුගයේ දී දිනක් දළදා වහන්සේ මෙහි සඟවා තිබු බව ජනප්‍රවාද පවසනවා. අඩි 800ක් පමණ උසට ඇදී යන මාලිගාතැන්න කන්ද වනවදුලු, පර්වත හා ලෙන් සහිත සුන්දර වටපිටාවක් මවනවා.

කන්ද මඳක් දුර නගින විට මැද මළුවේ පිහිටි පූජනීය ස්ථාන අතර ප්‍රධානත්වය ගන්නේ ලෙනක පිහිටි ධර්ම ශාලාවයි. එහි 200ක පමණ පිරිසකට සිටිය හැකියි. පැරණි ගල් උළුවස්සක්, ලෙන්වල පැරණි බිත්ති ශේෂ, යන්ත්‍රගලක්, කලුගල් කුළුණු ආදිය මේ අවට දැකගත හැකි වෙනවා.

කඳු මුදුනට යා හැක්කේ පර්වත විවර දෙකක් මැදින් වැටී ඇති ගල්දොරුවක් අතරින්. එය අපූරු දර්ශනයක් මවා පාන සොබාදහමේ සොඳුරු නිර්මාණයක්. කඳු මුදුන මත දාගැබක් සහ පොකුණක් පිහිටා තිබෙනවා. එක් පසෙකින් මුහුද ආසන්නයට යනතෙක්ම පැතිරී තිබෙන බස්නාහිර තැනිතලාවේ කදිම දර්ශනයක් මෙම පව්ව මතට පේනවා. අනෙක්  පසින් කැලණි ගංමිටියාවත දෙසට පැතිර යන සියනෑ කෝරළයේ කඳුගැට, කෙත්වතු, පොල්වතු, ගෙවතු අප ඉදිරියේ මැවෙනවා දකින්න පුළුවන්.

ඌරුවල ලෙන්

මිරිස්වත්තේ සිට කි. මී. 5ක් දුරින් පිහිටා තිබෙන ලෙන් විහාරයක්. මෙහි කඳු පාමුල පැරණි ලෙන් විහාරය සහ සංඝාවාසය පිහිටා තිබෙනවා. කටාරම් කෙටූ ලෙන් විහාරය කුමන කාලයකට අයත්දැයි නිශ්චිතව පැවසිය නොහැකියි. ලෙන් විහාරයේ වියනේ උඩරට සම්ප්‍රදායට අයත් පැරණි සිතුවම් කොටසක් දක්නට ලැබෙනවා. කඳු මත පැතිර තිබෙන්නේ දිගු පර්වතයක්. ඒ මත මෑතකදී දාගැබක් සහ බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා.


(under the courtesy of roar.media web)
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »