අසිරිමත් පින්බිමේ වන සත්ව ප්‍රජාව සුරැකීමේ පරිසර චාරිකාව

2018-03-21 09:35:00       592
feature-top
මුතුරාජවෙල අභය භූමියට අයත්, මීගමුව කළපුව, හැමිල්ටන් ඇළ හා දඬුගම්ඔය ප්‍රදේශයේ විශේෂ පාරිසරික ගවේෂණයකට මෙන්ම එහි ජෛව විවිධත්වය අධ්‍යයනය හා ඡායාරූපගත කිරීමේ වැඩමුළුවකට සහභාගිවීමේ විරල අවස්‌ථාවක්‌ අපට පසුගියදා උදාවුණා. ඒ අසිරිමත් පින්බිමේ වන සත්ත්ව ප්‍රජාව සුරැකීමේ ඡායාරූප සංගමය මගින් කරන ලද ආරාධනාවකට අනුව. එහි නිර්මාතෘ මෙන්ම ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පියකු හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ද වන බෙනඩික්‌ මන්ත්‍රීගේ මහතා විසින් කරන ලද ආරාධනයට අනුව එහි ගිය අපට දක්‌නට ලැබුණේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය ඇතුළු ආයතන කිහිපයක පරිසරවේදීන් හා නිලධාරීන් සමඟ ප්‍රදේශයේ පාසල් දෙකක දරු දැරියන් රැසක්‌ මුතුරාජවෙල අසිරිය පිළිබඳ හැදෑරීම සඳහාත් ඡායාරූපකරණය සඳහාත් පැමිණ සිටින ආකාරයයි.
 
 වත්තල ශාන්ත ආනා සහ සාන්ත අන්තෝනි ජාතික පාසල යන විදුහල් දෙකේ දරු දැරියන් සහ ගුරු භවතුන් කිහිප දෙනෙක්‌ද පැමිණ සිටි මෙම පාසල් වැඩසටහන මෙහෙයවන ලද්දේ බෙනඩික්‌ මන්ත්‍රීගේ මහතා ප්‍රමුඛ ඔහුගේ ඡායාරූප සංගමය මගින්.
 
 ආරම්භයේදී මුතුරාජවෙල තෙත්බිම හා වගුරු ප්‍රදේශයේ පාරිසරික, සමාජමය හා ආර්ථිකමය වටිනාකම් ගැන මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මෙවන් තෙත්බිමක ඇති වැදගත්කම පිළිබඳව කරුණු කාරණා රැසක්‌ සඳහන් කළේ බෙනඩික්‌ මන්ත්‍රීගේ මහතා විසින්.
asirimath2  
 පසුව, පරිසරවේදීන්ගේ කෙටිකතා කිහිපයකට සවන්දුන් පිරිස, හැකි ඉක්‌මනින් හැමිල්ටන් ඇළේ බෝට්‌ටු සංචාරය ඔස්‌සේ මීගමුව කළපුවට යාත්‍රා කළේ හිරු නැඟ එන උදෑසන ඇළ දෙපස හා කළපු ප්‍රදේශයේ කුරුල්ලන් ඇතුළු ජෛව විවිධත්වය ගවේෂණය කිරීමේ අරමුණෙන්.
 
asirimath3මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයට අයත්, බෝට්‌ටු කිහිපයක නැඟී හැමිල්ටන් ඇළ දිගේ බෝට්‌ටු සංචාරය ආරම්භ කළ අපි මඳ වේලාවකින් මීගමුව කළපුවට ඇතුළු වී එහි පුළුල් කළපු පරිසරය අත්විඳගත්තා පමණක්‌ නොව, ඒ ඔස්‌සේ දඬුගම් ඔයටත් (අත්තනගලු ඔය ඉන්පසු දඬුගම්ඔය බවට පත්වී මීගමු කළපුවට එකතුවේ.) කළපුවේ කුඩා කුඩා දූපත් හා ඇළ මාර්ග අතරින් අපගේ බෝට්‌ටු පදවමින් එහි ජෛව විවිධත්ව වටිනාකම් ගවේෂණය කළා.
 
 කැරන්ගාල් හා මල්කඩොල්, මහ කඩොල්, කිරළ, කදුරු, කඩොලාන ශාක අතරේ බෝට්‌ටු පදවමින් ඒ අතර ලැග සිටින මහ කොකුන්, ගව කොකුන්, කණ කොකුන්, රෑ කොකුන්, කරවැල් කොකුන්. මහුදු ලිහිණින්, පිළිහුඬුවන් දැක බලාගන්නත් ඔවුන් ඡායාරූපයකට නඟන්නත් අප මෙන්ම පාසල් දරුවන් අමතක කළේ නැහැ. ඒ වගේම හැමිල්ටන් ඇළ ඉවුරු දිගේ සුපරීක්‍ෂාවෙන් බලද්දී කිඹුල් පැටවුන් කබරයින් වැනි උරගයින්ද නිරීක්‍ෂණය කරන්නට අපට හැකිවුණා.
 
asirimath4ජලජ හා කළපු පරිසර පද්ධති අධ්‍යයනයෙන් පසු, පරිසරය පිළිබඳව යම් ප්‍රායෝගික අත්දැකීමක්‌ ලබාගත් පාසල් දරුවන්, ගුරුවරුන් හා පරිසර ලෝලීන් ආපසු පැමිණ මුතුරාජවල පරිසර කේන්ද්‍රයේදී උදෑසන ආහාරයෙන් පසු පරිසර වැඩමුළුවට සම්බන්ධ වුණා. පරිසරය පිළිබඳවත්, ජෛව විවිධත්වය, පරිසර හා වනජීවී ආරක්‌ෂණ කලාප, පරිසර නීති, අසිරිය, ඡායාරූප කලාව වැනි බොහෝ මාතෘකා ඔස්‌සේ වැඩමුළුවට සම්බන්ධ වූ අප දහවලේදී පාසල් දරුවන්ට වටිනා සහතික පත්‍රය බැගින් පිරිනමා වැඩසටහන අවසන් කළා.
 
 මෙම චාරිකාව සඳහා විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් ද සහභාගි වූ අතර, මුතුරාජවෙල අභය භූමියත් එහි අසිරිමත් සත්ව ප්‍රජාවත් ආරක්‌ෂා කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අසිරිමත් පින්බිමේ වන සත්ව ප්‍රජාව සුරැකීමේ ඡායාරූප සංගමය අවධාරණය කළා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »