උණුවතුර ළිංවලින් නාමු

2018-03-23 11:11:00       367
feature-top
සාමාන්‍යයෙන් ඔබ උණුවතුර නාන්නේ ගෙදර බාත්රූම් එකේදී නේද? ඇළේ, ‍දොළේ, ගඟේ, මුහුදේ නානවා නම් ඔබට උණුවතුර නාන්න ලැඛෙන්නේ නැහැ. ඒත් බාත්රූම් එකෙන් පිට උණුවතුර නාන්න පුළුවන් තැනක් ගැන තමයි මේ අපි ඔබට කියන්න යන්නේ.

මේ තැන හුඟක් දෙනා දන්නේ මදුනාගල උණුදිය උල්පත් කියලා. මේ උණුදිය උල්පත් පිහිටලා තියෙන්නේ මහපැලැස්ස කියන ගමේ. අපි නැවතිලා හිටිය හම්බන්තොට පීකොක් බීච් හෝටලයේ ඉඳන් මහපැලැස්සේ උණුදිය උල්පත්වලට පැය භාගයකින් වගේ යන්න පුළුවන්.

උණුදිය උල්පත් ගැන අහලා තිබුණට පළමුවැනි පාරට තමයි උණුදිය උල්පත්වලින් නාන්න ගියේ. මම නම් හිතන් හිටියේ උණුවතුර කියලා කිව්වට ඔය ළාවට වගේ උණු ඇති කියලා. ඒත් නාන්න ගියාමයි තේරුණේ සමහර ටැංකිවල තිබ්බ උණුවතුර නාන්න බැරි තරම් රස්නෙයි කියලා. මහපැලැස්සේ උණුදිය උල්පතේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ළිඳක්. ඒ ළිඳ වටේ ටැංකි පහ හයක් බැඳලා තියෙනවා. ළිඬෙන් එන උණුවතුර වටේ තියෙන ටැංකිවලට පිරෙනවා. ළිඳ පතුලේ ඉඳන් බුබුළු නංවමින් උණුවතුර උඩට එන විදිය ඔබට බොහොම පැහැදිලිව මේ මහපැලැස්සේ උණුවතුර ළිඳ තුළින් බලාගන්න පුළුවන්.

පොළොව අභ්‍යන්තරයේ තියෙන උණුදිය දහරාවලින් තමයි මේ උණුවතුර ළිංවලට ජලය උනන්නේ. ඒ ගැන භූ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මහපැලැස්සේ උණුවතුර ළිං අසල සවිකරලා තියෙනවා. ඉතින් උණුවතුර ළිංවලින් නාලා ඒ සටහනත් කියවලාම එන්න අමතක කරන්න එපා.

මහපැලැස්සේ උණුවතුර ළිං කියන්නේ ඇත්තටම ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. මේ උණුවතුර ළිංවලින් නෑම සිරුරට ඉතා හොඳයි කියලයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඒ වගේම මේ ජලයේ ඖෂධීය ගුණයක් තියෙන බවත් විශ්වාස කරනවා.

ඉතින් ඔබත් මේ මහපැළැස්සේ උණුදිය උල්පත්වලින් නාලා ඒ වෙනස් අත්දැකීම විඳගන්න අමතක කරන්න එපා. ඇඹිලිපිටියයි නෝනාගම හන්දියයි අතරින් හැරිලා තමයි මහපැලැස්සේ උණුවතුර ළිංවලට යන්න ඕන. සූරියවැව පැත්තෙන් එන්නත් පුළුවන්. තව එක දෙයක් කියන්න ඕන. නාලා යන ගමන් ඒ අසල තියෙන කඩපිලෙන් ඛෙලිමල් වීදුරුවක් බීලා යන්නත් අමතක කරන්න එපා. මොකද ඒ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතයට රුපියල් දහයකින් විස්සකින් හරි සවියක් වෙන එකත් ඒ අයට ලොකු දෙයක්. 


Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »