ආකර්ෂණීය බව නිසාම වැනසෙන ශ්‍රී ලංකාවේ පතල සංචාරක ස්ථාන 4ක්

2018-03-26 11:36:00       280
feature-top
සංචාරකයින් වැඩිපුර ආකර්ෂණය වීම සංචාරක හෝටලයකට නම් කදිම උල්පතකි. එයින් කාමර ගාස්තුව වැඩිකරගත හැකිය; කෑම සහ අනෙකුත් සේවාවන්හි මිල වැඩිකළ හැකිය; තවත් කාමර එකතු කොට හෝටලය නවීකරණය කළ හැකිය. එහෙත් ස්වභාවික ස්ථානවලට සංචාරකයින් වැඩිවීම යනු ගැටළුවකි.

පරිසරයේ සමතුලිතතාවයට පිටින් එන සංචාරකයින්ගෙන් එල්ල වන බලපෑම සුළුපටු එකක් නොවේ. බොහෝ අවස්ථාවල ආකර්ෂණයට ලක්වූ පරිසර පද්ධතියම විනාශ වී යාමට ද හේතු විය හැකිය. එසේ සංචාරකයින් උතුරා යෑම නිසාම දැඩි ලෙස බලපෑම් එල්ල වුණු ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතීන් 4 ක් ගැන මේ ලිපියෙන් කරුණු හෙළිදරව් කෙරේ.

මීමුරේ
මීමුරේ යනු මීට වසර 5කට පෙර එක්තරා වෙනස්කමක් තිබූ ගම්මානයකි. මීමුරේ ගම තුල සැබෑ ගැමියන් විසූ අතර ඔවුන් ගමට පැමිණෙන ආගන්තුකයින් ගැන වැඩි තැකීමක් කළේ නැත. ලකේගල කඳු පන්තිය ඈතින් දිස්වෙන මීමුරේ තුල බැලීමට යම් කිසි දෙයක් වෙත් නම් ඒ සොබා සෞන්දර්යය සහ පුරාණ ගැමි උරුමය පමණක් විය. එහෙත් පසුකාලීනව බොහෝ දේ වෙනස් වී තිබේ.

සූරිය අරණ චිත්‍රපටයත් සමග මීමුරේ දොල පහරවල් සහ වනය යම් ජනප්‍රියත්වයට බඳුන් වුවද එයිනුත් තවත් කලක් යනතෙක් චිත්‍රපටය රූගත කළ ස්ථාන සහ අවට පරිසරය රිසිසේ නැරඹීමට ජනතාවට ඉඩ හසර විවර විය. ඉඳහිට කොල්ලන් කුරුට්ටන් කැලක් ගොස් මීමුරේ කූඩාරමක් අටවාගත්හ. සොබා සෞන්දර්ය විඳ, ඇතැම්විට ලකේගලද තරණය කොට ඔවුන් නික්ම ආවෝය. ගැමි නිවෙසක් දෙකක් ඒ පිරිස්වලට ආහාර සැපයීම ආදී කටයුතුවල නිරත වුවත් අනෙක් ගැමියන් සංචාරකයින් ගැන එතරම් තැකීමක් කළේ නැත.

එහෙත් අද ගමම වෙනස් වී ඇත. “මීමුරේ කෑම්පින්” බිහිවිය. කොළඹින් ගිය “ඇඩ්වෙන්චර් ඔස්තාද්”ලා මීමුරේ අඩවියේ නොදන්නා දෙයක් නොමැති විය. ඔවුන් තරඟයට මෙන් නඩ රැගෙන මීමුරේ යන්නට විය. ඇතැම්විට අද ගියද ලකේගල හෝ දොල පහරවල වෙනසක් නැතුවා විය හැක, එහෙත් අද මුළු ගම්මානයම වාණිජකරණය වී ඇත. එය තුල පැරණි ගමක් දැන් දිස්වන්නේ නැති අතර සෑම සියලු දේම මුදලට නතු කරගෙන තිබේ. එය තවදුරටත් ගැමි සිරිය දැකගත හැකි පරිසරයක් නොවේ. මුදලට මීමුරේ සංචාර පැතිරීමත් සමග එදා මීමුරය අද එහි නැති බව 2013ට පෙර එහි ගිය බොහෝ දෙනා අද නගන මැසිවිල්ලෙකි.

සමනල ශ්‍රී පාද අඩවිය.
සිය දහස් ගණනක් බැතිමතුන් වසරකට මාස 6ක කාලයක් පුරා සිරිපා අඩවියයේ ගිරිහිස තරණය කොට භක්තිමත්ව සිරිපා වැදපුදා ගනිති. එම කාලය තුල සිරිපා අඩවියට එන පිරිසගෙන් වන හානිය සුළුපටු නොවේ. පිටින් කදිමෙට පෙනෙන සිරිපා මග අවට වනයේ පඳුරු යට බොහෝමයක් තැන්වල පොලිතීන්ය; ප්ලාස්ටික් බෝතල්ය; තවත් විවිධාකාර නොදිරන අයිතමයෝය.

හැටන් මගෙන් පැමිණෙන බැතිමතුන් දහස් ගණනක් භාවිත කරන වැසිකිලි වළවල් වර්ෂා කාලයේ උතුරා යන්නේ සිරිපා අඩවියට මළ අපද්‍රව්‍ය රැසක් “දායාද” කරමිනි. මෙවැනි තැනකට ඇදෙන විශාල මිනිස් කැලගේ අපද්‍රව්‍ය කිසිදු ප්‍රතිකාරයකින් තොරව මහ වනයට මුදා හැරීම එම පළාතේ ජල මූලාශ්‍ර දූෂණය වීමට ප්‍රධානතම හේතුවකි.

බැතිමතුන්ගේ බැතිබර දායකත්වය නිසා සිරිපා අඩවියට යන මග දැන් නවීකරණය වී තිබේ. එහි පෙර නොවූ විරූ පරිදි ඉඩකඩ ඇති ලෙස මළුවද සැකසී තිබේ. එසේම බැතිමතුන් ගෙනයන කුණු සහ ඔවුන්ගේ අපද්‍රව්‍ය සිරිපා ඉමෙන් ඉවත් කරගැනීමේ සාර්ථක වැඩපිලිවෙලක් තවමත් නැත. රැගෙන යන නොදිරන දෑ තවත් පිරිසක් යොදවා පහළට අදිනවාට වඩා සිරිපා කරුණාවේ යෙදෙන පිරිස රැගෙන යන කසල සියල්ලම නැවත රැගෙන එන්නට නිසියාකාර දැනුවත් කිරීම් සිදුවන්නේ නම් එය වැදගත් කාරණාවකි.

බෝඹුරු ඇල්ල
මෑතදී කාගෙත් අවධානය දිනා ගත් බෝඹුරු ඇල්ල ද කැම්ප් කරන පිරිස අතර ජනප්‍රිය තැනකි. ව්‍යාපාරයක් පිණිස කෑම්පින් කරන්නන් 20ක 30ක පිරිසක් මෙම සුළු ඉඩකඩේ කෑම්පින් කටයුතුවල නිරත වූ ආකාරය ෆේස්බුක් හරහා හුවමාරු විය. මෙය දිය ඇල්ල අසබඩ කමනීය භූමි භාගයකි. මෙවන් ස්ථානවල තුන් හතර දෙනෙකුට කෑම්පින් කළ හැකි මුත් පිරිස වැඩිවත්ම එතැන දිය ඇල්ලේ අසිරියට ඇතිවන්නේ බාධාවකි.

මෙම දිය ඇල්ලේ ජල මට්ටමද විටෙක එකවරම වෙනස් වේ. වර්තමානයේ පොලිසීයද, ගම්වාසීන්ද එකතු ව කඳවුරු බැඳීමට ඉඩ ලබා නොදෙති. එහෙත් ඇල්ල බලා ඒමේ පහසුව තිබේ.

නක්ල්ස් දුම්බර වනපෙත
නක්ල්ස් යනු අධි සංවේදී  පරිසර කලාපයකි. එවැනි කලාපවලට විශාල පිරිසක් ඇතුළු වීමෙන් එම පරිසර පද්ධතියටම සිදු වන්නේ හානියකි. නක්ල්ස් සිංහරාජ වැනි පරිසර පද්ධතීන්වල අපේ ඇසට පෙනෙන ජීවින් ප්‍රමාණයට වඩා ඇසට නොපෙනෙන ජීවින් ප්‍රමාණය වැඩිය. කටුස්සන්, උරගයින්, කුඩා ගෙම්බන් සහ සංවේදී ශාක පද්ධති ඇතුලත් එම දුම්බර වනපෙත සමස්ථ ලංකාවෙන් අත්කරගන්නේ 0.32% ක භූමිභාගයක් වුවද එ් ප්‍රදේශය තුල ලංකාවට ආවේණීක දුර්ලභ පක්ෂීන්, උරගයින් සහ ශාක ප්‍රජාවන් සුවිසල් ප්‍රමාණයක් දිවි ගෙවති. මේ දුම්බර වනපෙතේ මෙතෙක් සංචාරක ආකර්ෂණයට දැඩිව බඳුන් වූ තැන් රැසකි. ඒ එක් තැනක් වූ පිටවල පතන ගැන වාර්තාවක් පහත දැක්වේ.

“මෙම ප්‍රදේශවල සංවේදී ජෛව ප්‍රජාවට අධික සංචාරක ආකර්ෂණය තර්ජනයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පිටවල පතන හා ඒ ආශ්‍රිත ලෝකාන්තය පිහිටි ප්‍රදේශය සුවිශේෂී පරිසර පද්ධතියකි. පිටවල පතන බිමේ දුම්බර කඳුකරයට ආවේණික පතන් අල ශාකය පවතී. මීට අමතරව දුම්බර කඳුකරයට ආවේණික දුම්බර ගල්පර මැඩියාද පිටවල පතනේ දිය සීරාව සහිත ගල්පර මත ජීවත් වේ. සංචාරකයින් මෙම පතන් බිමේ සෑම තැනකම ගමන් කිරීම මෙම ආවේණික, සුවිශේෂී ජෛව ප්‍රජාවට බලපෑම් එල්ල කරයි.” (සජීව චාමිකර දිවයින පුවත්පත, 2008 සැප්තැම්බර් 02)

වර්තමානය වනවිට 2008 ටත් වඩා තත්වය දරුණුය. සංචාරක කණ්ඩායම්, ඇතැම් විට 50 – 60 දෙනෙකුගෙන් යුත් විශාල කණ්ඩායම් දුම්බර කඳුකර බිමට ඇතුලු වී තැන තැන කූඩාරම් අටවාගෙන සංචරණයේ යෙදීම බොහෝ සති අන්තවලදී සිදු වේ.


දුම්බර මානිගල කෑම්පින් යන පිරිසක්

විසඳුමක් තිබේද?
වනය මිනිසාගෙන් ඈත් කොට තබාගැනීම කල නොහැකි කාර්යයකි. ශ්‍රී ලංකාවට ඇදෙන සංචාරකයින් අධික වීම නිසාම වැනසෙමින් යන සංවේදී පරිසරයන් තවත් බොහෝ ගණනක් තිබේ. නූතනයේ පරිසරයට බැට දෙන මෙම සංචාරක කර්මාන්තය මීට වඩා තරමක් විධිමත් කළ හැකිය. බටහිර රටවල විදේශිකයෝ බොහෝවිට කසල තැන තැන බැහැර නොකරති; බීම අහවර කළ බෝතල ගල් වල ගසා බිදින්නේ නැත; තැන තැන ගල් එකතුකාට වනයේම දර වලින් ආහාර පිසින්නේද නැත. බොහෝ විට ඒ චෝදනාවලට වැරදිකරුවන් වන්නේ අපේ රටේම පිරිසයි.

අප රටේ සංවේදී පරිසරය යනු ඇතැමෙක්ට “බොන්න සෙට් වෙන්නට” නියම තැනකි. තව අයට ගොස් “විසිට් එකක් දමා, කෑම්ප් එකක් ගසාගෙන ආතල් එකක් අරං එන්නට” කදිම බිමකි. පරිසරය රැකෙන අන්දමට සංචාරකයින් කළමනාකරණය කරන ක්‍රමවේද මෙන්ම පරිසරයට හානි අඩු පරිසර හිතකාමී සංචාරකයින්ද අප බිහිකරගත යුතුව තිබේ. එසේ නොවුවහොත් සුන්දර පරිසරය යනු මීලඟ ශතවර්ෂයේ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ අතීතයේ තිබුණා යැයි වාර්තා ඇති, එහෙත් සාධක නොමැති දඬුමොණරය හෝ රාවණා වැනි වස්තුවක් විය හැකිය.


(under the courtesy of roar.media web)

More News »