මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි සිංහල ගම්මානය

2018-04-02 11:40:00       115
feature-top
අලුත් දේවල් දකින්නට ආසාවෙන් ලංකාව වටේ ගමන් කරන අයෙකුට නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලයෙන් ඉහළ මුලතිව් දක්වා ඇති මාර්ගයේ ගමන් ගතහොත් ඉතාම නැවුම් අත්දැකීමක් ලබන්නට හැකිවේවි. අපූරු පරිසර පද්ධතියක් මේ මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව පිහිටා තියෙනවා. යුද්ධය නිසා ස්පර්ශ නොවූ ප්‍රදේශ සහ පුංචි නිවාස පමණක් ඇති නිසා ගාලු පාර හෝ වෙනත් වෙරළබඩ මාර්ගයකදී විඳින්නට නොලැබෙන අත්දැකිම් විඳින්නට පුළුවන්. එහෙත් මේ මාර්ගය ත්‍රිකුණාමලය පසුකොට මුලතිව් ඉහළට යන මාර්ගය පුල්මුඩේ වලදී ලොකු මාර්ග බාධකයකට මුහුණදෙනවා. ඒ කලපුවක් සහ අභය භූමියක්. කෝකිලායි කලපුව සහ ඒ සමඟ ඇති කෝකිලායි අභය භූමියයි ඔබට හමුවෙන මාර්ග බාධකය.

පුල්මුඩේ පසුකරන මාර්ගයට කෝකිලායි කලපුව හරහා මුහුද අයිනෙන් වැටෙන පාලමක් තිබුණානම් කෝකිලායි අභය භූමිය වටේ ගමන් කරන්නට ඇති කිලෝමීටර් ගණනාවක දුර ඉතිරි කරගත හැකියි. එවන් පාලමක් ගැන යෝජනා තිබුණත් එය නුදුරේ ඉදිවන බවක් පෙනෙන්නට නැහැ. ඉතින්, පුල්මුඩේ පසුකරන අයෙක් පදවිය දෙසට ගොස් වටයකින් මුලතිව් දෙසට යා යුතුයි. එයත් අපූරු අත්දැකීමක්.

අභය භූමිය
කෝකිලායි කලපුව ආශ්‍රිතව විශේෂ පරිසර පද්ධතියක්, කඩොලාන පද්ධතියක් සහ සත්ව ගහණයක් පවතින නිසායි කෝකිලායි කළපුව ආශ්‍රිත පරිසර ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කර ඇත්තේ.

කෝකිලායි අභය භූමිය පක්ෂි විශේෂ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන් ලංකාවේ විශාලතම පක්ෂියා ලෙස සලකන අලි මානාවා කෝකිලායි අභය භූමියේ ජීවත් වෙනවා. කුමන වැනි වනාන්තර කිහිපයක පමණක් ජීවත්වෙන අලි මානාවා රතු දත්ත පොතට ඇතුලත් වී සිටින පක්ෂියෙක්. මීට අමතරව පක්ෂි විශේෂ 176ක් පමණ කෝකිලායි කලපුවේ පහස විඳිනවා.

කෝකිලායි අභය භූමිය අලි ඇතුන් තිහකට වැඩි ප්‍රමාණයක් වාසය කරන ප්‍රදේශයක් බවද පරිසරවේදීන් කියනවා. කෝකිලායිහිදී අලියෙකු මුහුදෙහි ගසාගෙන යන අතරෙහි නාවික හමුදාවෙන් ගලවාගත් සිදුවීම මෑතකදී බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වුණා. මේ වෙද්දී මිනිස් ක්‍රියාකාරකම් නිසා කෝකිලායි අභය භූමිය පැවැත්මේ තර්ජනවලට මුහුණදෙමින් සිටින බවත් පරිසරවේදීන් කරුණු දක්වා තියෙනවා.

කෝකිලායි ගම්වාසීන් අප සමඟ කී විදියට කෝකිලායි අභය භූමිය වෙත විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ කලාතුරකින්. එසේ පැමිණියත් කෝකිලායි සහ ශ්‍රී ලංකාව ගැන විශේෂ තොරතුරු දත් කුරුල්ලන් සහ පරිසරය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සංචාරකයන්. ලාංකික සංචාරකයන්ද තමන්ගේ චාරිකාවල ගමනාන්තය ලෙස කෝකිලායී, පුල්මුඩේ ප්‍රදේශ තෝරාගන්නේ කලාතුරකින්. ත්‍රිකුණාමලයට පැමිණෙන සංචාරකයන් වුව කෝකිලායි වෙත යන්නට උනන්දුවක් දක්වන්නේ නැහැ. එහෙත් කෝකිලායි පරිසර පද්ධතිය නැරඹීමට වෙන්කරගන්නා කාලය කිසිසේත් අපතේ නොයන බව ඒ ප්‍රදේශවල සංචාරයේදී අප ලත් අත්දැකීමයි. කෝකිලායි කලපුව ආශ්‍රිතව ඇති වැලිපරයත් නිතර දකින්නට නැති හැඩතල දෑස් ඉදිරිපිට මවනවා.

ගම්වාසීන්ගේ මතක
කෝකිලායි කළපුව සහ අභයභූමිය සමඟ පිහිටා ඇති ගම්මානයක් බොහෝදෙනෙකුගේ අවධානයට ලක් වුණේ යුද්ධය පැවති සමයේදී. ඒ කෝකිලායි සිංහල ගම්මානය. සිංහල කතාකරන කතෝලික ජනතාව වෙසෙන මෙම ගම්මානයේ වැසියන් සියල්ලන්ම පාහේ තමන්ගේ ප්‍රධාන රැකියාව ලෙස කරන්නේ ධීවර රැකියාව.


කෝකිලායි ගම්මානය 

කෝකිලායි ගම්මානයට යන අයෙකුට පුල්මුඩේ දෙසින් නම් කෝකිලායි කලපුව තරණය කරන්නට සිදුවෙනවා. පදවිය පැත්තෙන් ගොඩබිමින් කෝකිලායි වෙත යා හැකියි. අප කෝකිලායි ගම්මානය වෙත ගිය ගමනේදී තෝරාගත්තේ කළපුව තරණය කිරීමේ මාර්ගය. වඩා සුන්දර මාර්ගය. කෝකිලායි කලපුවෙහි බෝට්ටු සංචාරයක් යන අයෙකුට සුමුදු ජල තලය මතින් ගමන් කරන අතරේ සුවිශේෂී කුරුළු වර්ග දැකබලාගන්න පුළුවන්.

කෝකිලායි ගම්වාසීන් සහ පුල්මුඩේ වෙසෙන ධීවර ජනතාව කෝකිලායි කලපුවේ සහ ඒ ආශ්‍රිත මහමුහුදේ ධීවර කටයුතුවල යෙදෙනවා. පුල්මුඩේ සිට පැමිණෙද්දී කෝකිලායි කලපුව හමුවෙන්නේ පුල්මුඩේ ධීවරයන්ගේ වාඩිය සමඟයි. කෝකිලායි සහ පුල්මුඩේ අතර සහන මිලට බෝට්ටුවකින් ප්‍රවාහන සේවාව සපයන තරුණයාව සියල්ලන් හඳුන්වන්නේ බට්ටා යන නමින්. අප කෝකිලායි ගිය ගමනේදී අපට කලපුව තරණය කරන්නට උදව් කළේත් බට්ටා විසිනුයි.

කෝකිලායි ගම්මානයට අප ගිය ගමනේදී අපට හමුවුණ කෝකිලායි ගම්මානයේ වැසියන් පවසන්නේ කෝකිලායි ගම්මානයේ සිංහල ජනතාව පැමිණ පදිංචිවුණේ විසිවන සියවසේ මුල භාගයේදී බවයි. ඒ බව වෙනත් වාර්තා තහවුරු කරනවා. ඒ කියන්නේ එක්දහස් නවසිය ගණන්වල මුල් කාලයේදී. මේරි එලිසබෙත් මහත්මිය කෝකිලායි ගම්මානයේ සිටින වියපත්ම කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙක්. ඇය 1950 දී උපත ලද කාන්තාවක්. ඇගේ පියාගේ උපන්ගම කෝකිලායි නොවන බව ඇය කියනවා. ඇගේ පියා පළමුවරට කෝකිලායි වෙත මීගමුවෙන් සංක්‍රමණය වූ කණ්ඩායමෙන් කෙනෙක්.

මේරි තෙරේසා මහත්මිය මීගමුවේ පදිංචිව සිට 1967 දී කෝකිලායිහි පදිංචියට පැමිණි කාන්තාවක්. ඇය ළමා කාලයේදී ඇගේ මාපියන් සමඟ ජීවිත සටන වෙනුවෙන් කෝකිලායි පැමිණි බව ඇය කියනවා. මීගමුව ආදී ප්‍රදේශවල ධීවර රැකියාව එක්තරා විදියක තරඟයක්ව තිබුණු බවත්, ඒ නිසා කෝකිලායි වැනි ජනගහනය අඩු පෙදෙසක ධීවර රැකියාවේ යෙදෙන්නට පැමිණි බවත් ඇය කියනවා.

කෝකිලායි ගම්මානය විශේෂ වන්නේ දෙමළ සහ මුස්ලිම් ජනතාව සිටින කලාපයක ඇති එකම සිංහල ගම්මානය වීම නිසා පමණක් නෙවෙයි. ඔවුන් යුද්ධය සමයේ මුහුණදී ඇත්තේ භයානක අත්දැකීම් රැසකට. එල්ටීටීඊ සංවිධානයෙන් වරින්වර එල්ලවූ ප්‍රහාර නිසා ගම අත්හැර ගොස් තාවකාලික නිවාසවල පදිංචි වෙන්නට සිදුවූ අවස්ථා කිහිපයක්ම ඇති බව ඔවුන් කියනවා. ඒ සිදුවීම් නිසා ඔවුන්ට අවිආයුධ භාවිතය සහ හදිසි අවස්ථාවලට මුහුණදීම පිළිබඳ පුහුණුවක්ද යුධ හමුදාව විසින් ලබාදී තියෙනවා.

අප සමඟ කතාකළ සුනිමල් වැනි තරුණයන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ වෙඩි ප්‍රහාරවලට පවා ලක්ව තිබෙනවා. 1985 දී එල්ටීටීඊ සංවිධානය විසින් එල්ලකළ ප්‍රකට කෝකිලායි ප්‍රහාරයේදීත් ගම්වාසීන් පහරකා තියෙනවා.

කෝකිලායි ගම්මානයේ නිවාස සියල්ලම පාහේ ටකරම්වලින් ඉදිකළ පුංචි නිවාස. ගම්මානයේ කෙළවරෙහි ඇති නිවාස කිහිපයක් පමණක් ස්ථීර නිවාස ලෙස ඉදිකර තියෙනවා. ගම්වාසීන් පවසන අන්දමට ඒ ටකරම් සුනාමි ආධාර ලෙස අනුරාධපුර රදගුරු හිමියන්ගෙන් ලැබුණු ඒවා. ඒවාත් මේ වෙද්දී දිරායමින් තිබෙන බව ඔවුන් කියනවා.

දිළිඳුකම කෝකිලායි ගම්වාසීන් මුහුණදෙන ප්‍රධාන අභියෝගයයි. ධීවර කටයුතුවලදීත් ඔවුනට මුහුණදෙන ගැටලු බොහෝයි. මේ පිළිබඳව බීබීසී වෙබ් අඩවිය, රාවය පුවත්පත වාර්තා කර තියෙනවා. ඔවුන්ගේ ධීවර කටයුතු සඳහා ඉල්ලාසිටින පහසුකම් සැපයුවහොත් සහ පරිසර හිතකාමී සංචාරකයන්ගේ අවධානය කෝකිලායි වෙත යොමුවුවහොත් කෝකිලායි ගම්වාසීන්ගේ ජීවිතවලට යහපත් කාලයක් උදාවෙන්නට ඉඩ තියෙනවා.


(under the courtesy of roar.media web)

More News »