මිරිජ්ජවිල උද්භිද උද්‍යානය බලන්න යමුද

2018-04-05 11:39:00       114
feature-top
රටක සුන්දරත්වය සදහා එම රටේ ස්වභාවධර්මයාගෙන් ලැබෙන දායකත්වය මෙතකැයි කියා විස්තර කල නොහැකියි. ස්වභාවික සුන්දරත්වය අතින් ලොව ඉහළම තලයක වැජඹෙන රටක් ලෙස අපගේ රට හඳුන්වා දෙන්නට පුළුවන්. එලෙස අප රටේ සුන්දරත්වය තවතවත් වැඩිදියුණු කරන්නා වූ අංගයක් ලෙස අප රටේ දකින්නට ලැබෙන උද්භිද  උද්‍යාන හඳුන්වා දෙන්නට පුළුවන්. ඒවා අපේ රටට සම්පත් වෙනවා මෙන්ම අනාගත පරපුරට දායාද කරන උරුමයක් ද වෙනවා. අපේ රටේ ප්‍රධානතම උද්භිත උද්‍යාන පහක් දකින්නට ලැබෙන අතර මෑත කාලීනව නිර්මාණය වූ උද්භිත උද්‍යානයක් ලෙස “මිරිජ්ජවිල උද්භිත උද්‍යානය” හඳුන්වා දෙන්න පුළුවන්.

මිරිජ්ජවල උද්භිද උද්‍යානයේ වැදගත්කම
මිරිජ්ජවිල උද්භිත උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ඉදි වූ ප්‍රථම වියලි කලාපීය උද්භිද උද්‍යානය වෙනවා. එය නිදහස ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් විසින් ඉදි කළ ප්‍රථම උද්භිද  උද්‍යානය ලෙසද හදුනා ගන්නට පුළුවන් වෙනවා. මෙරට භූමියෙන් වැඩි වපසරියක පැතිරී තිබෙන වියලි හා ශුෂ්ක දේශගුණික කලාපයේ පරිසර පද්ධතිය තුල ශාක ප්‍රජාව සංරක්ෂණයට හා අධ්‍යාපනය ලබා දීමත් මෙය නිර්මාණය කිරීමේදී අරමුණු කර තිබෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වැනී ප්‍රදේශ වල සිටින ජනතාවට ශාක හා පරිසර පද්ධති පිළිබඳ දැනුවත් කිරීම ද මෙහි අරමුණු ලෙස හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එසේම වියලි කලාපය තුල ඌන භාවිත ශාක විශේෂ හඳුනා ගැනීම, එම ශාක විශේෂ ජනතාව අතර ප්‍රචලිත කිරිම, වියලි කලාපිය පරිසරය සඳහා අලංකරණය නව තාක්ෂණික ක්‍රම හා සුදුසු ශාක විශේෂ සොයා ගැනීම හා ඒවා වියලි කලාපය තුල ප්‍රවර්ධනය කිම, වියලි කලාපය තුල වාණිජ මල් වගාවට සුදුසු තාක්ෂණික ක්‍රම හා මල් විශේෂ හඳුනා ගැනීම, ඒ සඳහා ජනතාව සංවිධානය කිරීම මෙන්ම එම මල් වගාව අපනයන කර්මාන්තයක් දක්වා ප්‍රවර්ධනය කිරිම අදී කරුණු රැසක් අරමුණු කරගන්නා අතරම දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමද මෙය නිර්මාණය කිරීමේ අරමුණු ලෙස හඳුනා ගන්නට පුළුවන් වෙනවා.

පිහිටීම
මෙම උද්‍යානය මුහුදේ සිට කිලෝමීටර පහක් පමණ ගොඩබිමට වන්නට පිහිටා තිබෙනවා. එය දකුණු දෙසින් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයටත් නැගෙනහිර දෙසින් මිරිජ්ජවිල සුරියවැව මාර්ගයටත් යාබදව පිහිටා තිබෙනවා. මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2006 වසරෙදී වන අතර ඉදිකිරීම් අරඹන විට එම භුමිය අක්කර 300 කින් පමණ සමන්විත වුනා. ඒ වන විට මිනිස් ක්‍රියාකාරකම් හා වෙනත් භෞතිකමය හේතු සාධක නිසා මෙම භුමිය තර්ජනයකට ලක්ව තිබුණු අතර එම බාධක ජයගෙන මෙම භුමිය සුන්දර උද්‍යානයක් බවට සකස් කර තිබේ. එහිදී මෙහි ඉදි කිරිම සදහා එකල රජය විසින් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති අතර වසර 10 කින් මෙහි කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් එය ආරම්භ කර තිබේ. ඒ අනුව 2013 වසරේ මෙරටදී පැවතී පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමිව 2013 වසරේ නොවැම්බර් මාසයේ 14 වන දින මෙම උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.

ජාතික හා ජාත්‍යන්තර වැදගත්කම
ඒ අනුව වසර 130 කට පසුව මෙරට ඉදි වූ 4 වන උද්භිත උද්‍යානය ලෙසත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් ඇති උද්‍යානයක් ලෙසත් මෙම උද්‍යානය හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එම උද්භිත උද්‍යානය තුල දී ඔබට මිශ්‍ර වන උද්‍යානයක්,ඖශධීය ශාක උද්‍යානයක්, පොදු රාජ්‍ය මංඩලීය ශාක කවයක්, උද්‍යාන සිසු උයනක්, විධිමත් වන උද්‍යානයක්, සමනල උයනක්, වාණිජ මල් උයනක්, මානව උද්භිත උද්‍යානයක්, කාන්තාර ආකෘතියක්, ස්වභාවික පදුරු උයනක්, මලිත්තන්ගස් වැවක්, වැල් එකතුවක් මෙන්ම මාවත් ශාක උයනක් ආදී වශයෙන් විශාල පරාසයක විහිදුනු ශාක එකතුවක් දැක ගැනීමට හැකියාව ලබෙනවා. 

මේ ආකාරයට අපට මිරිජ්ජවිල ජාතික උද්‍යානය පිළිබඳව තොරතුරු හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එසේම මීට අමතරව තවත් ප්‍රධාන ජාතික උද්භිත උද්‍යාන හතරක් හදුනා ගන්නට පුළුවන් වෙනවා. ඒවා සමග සසඳා බැලීමෙන් අපට මම මිරිජ්ජවිල ජාතික උද්‍යානයේ ඇති විශේෂත්වය හඳුනා ගන්නටද පුළුවන් වෙනවා.

ලංකාවේ උද්භිද උද්‍යාන
අප රටෙහි පිහිටා ඇති උද්භිත උද්‍යාන අතරින් ප්‍රධානතම උද්‍යානය ලෙස සැලකෙන්නේ “පේරාදෙණිය උද්භිද උද්‍යානයයි” මෙම උද්‍යානය මහනුවර පේරාදෙණිය නගරයේ පිහිටා ඇති මෙම උද්‍යානය “ රාජකීය උද්භිද උද්‍යානය” යන නමින්ද හදුන්වනු ලැබේ. මෙම උද්‍යානය අක්කර 147 කින් පමණ සමන්විත වන අතර එහි ඉතිහාසය වසර 1371 තරම් ඈත අතීතයකට දිව යයි. මෙම උද්භිත උද්‍යානය ප්‍රසිද්ධියක් උසුලන්නේ ඕකිඩ් විශේෂයන් සදහා වන අතර මෙහිදී ශාක විශේෂ 4000 කට අධික ප්‍රමාණයක් දැකගනිමටද පුළුවන් වෙනවා. මෙම උද්භිත උද්‍යානයේ භුමිය කොටස් 29 කට බෙදා වෙන්කර තිබෙන අතර ඒ අතර ප්‍රධාන වශයෙන් සිසු උයන, ඖෂධ උයන, ගාඩ්නර් සිහිවටනය, ජපන් උයන, ඕකිඩ් උයන, මෙන්ම පුෂ්ප උයන ආදී උයන අයත් වෙනවා. 

ලංකාවේ පිහිටා ඇති උද්භිත උද්‍යාන අතරින් විශාලත්වයෙන් දෙවැනි උද්‍යානය වන්නේ “හග්ගල උද්භිත උද්‍යානයයි”. මෙය අක්කර 500ක වපසරියකින් යුතු වන අතර මෙහි ඉතිහාසය රාම රාවණා යුගය දක්වා දිව යයි. නමුත් මෙම උද්‍යානයේ සංචාරකයන්ට නැරඹීම සදහා වෙන්ව ඇත්තේ අක්කර 68ක පමණ කොටසක් වෙනවා. අතීතයේදී සින්කොනා ශාකය වගා කිරීමට භාවිත කල මෙම භුමිය පසුව සංවර්ධනය කර උද්භිත උද්‍යානයක් බවට පත් කර තිබෙනවා. මල් වත්තක් යනුවෙන් අප හැඳින්වුවද ලංකාවේ කඳුකර ප්‍රදේශයේ පවතින වටිනා සහ ආවේනික හා වෙනත් ශාක සංරක්ෂණ උද්‍යානයක් ලෙසද මෙය හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. මේ වන විට මෙම උද්‍යානයේ දේශීය මෙන්ම විදෙශීය ශාක පැළෑටි විශේෂ 10 000 කට අධික ප්‍රමාණයක් පවතිනවා.එසේම එංගලන්තයෙන් හා ඇමරිකාවෙන් ගෙන්වා වගා කරන ලද රෝස විශේෂ 200 කට අධික ප්‍රමාණයක්ද මෙහිදී දැකගැනීමට හැකි වෙනවා. එසේම මෙහිදී බල්බ උයන, මධම පොකුණ, ශ්‍රී ලංකා පොකුණ, පහල මල් යාය, රෝස මල් උයන, පලතුරු උයන, විදුරු ගෘහය, ඉහල පුෂ්ප උයන, මීවන උයන, මෙන්ම ගිරි උයන ආදී උයන් මෙන්ම පොකුණු මෙහිදී නැරඹීමට හැකියාව ලැබෙනවා. 

හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයද ලංකාවේ දැකිය හැකි ප්‍රධාන උද්භිත උද්‍යාන අතරින් එකක් ලෙස හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එය දකුණු ආසියාවේ රබර් වගාවේ මූලාරම්භක ස්ථානයද වෙනවා. එහිදී එවකට රාජකීය උද්‍යානයේ අධ්‍යක්ෂක වරයා වූ ජි.එච්.කේ.ක්වෙයිට්ස් මහතාගේ අධීක්ෂණය මත මෙහි රබර් පැල රෝපණය කර සිදු කළ  අධ්‍යනයන්ගේ ප්‍රතිපලයක් ලෙස මෙරට අනෙක් ප්‍රදේශ වල ද රබර් වගාව ව්‍යාප්ත කරන ලදී.  ගම්පහ නගරයට තරමක් නුදුරින් පිහිටි මෙම උද්‍යානය “ගම්පහ මල් වත්ත” යන නමින්ද හඳුන්වන අතර එය කොළඹ නගරයට ආසන්නයේම පිහිටි උද්‍යානයක් ලෙසද හඳුන්වා දිය හැකි වෙනවා. මෙය මුලදී අක්කර 36 කින් සමන්විත වූ අතර මෑතකදී සිදු කළ නව සංවර්ධන කටයුතු වලින් පසුව එයට අලුතින් අක්කර 7ක් ද එක් වී තිබෙනවා.1876 දී හදුන්වා දුන් රබර් ශාක වලින් කිහිපයක්ද, එම කාලවකවානුවේදී වාර්තාගත අස්වැන්නක් ලැබූ අංක 1 නම් දැරූ රබර් ශාකයේ මුල පද්ධතියක්ද මෙහි සංරක්ෂණය කර තිබෙනවා. එසේම උද්‍යානය ආරම්භ කළ කාලයේ පටන් පැවතෙන නොඉඳුල් වනාන්තර කොටසක්ද, අලංකාර මල් පාත්ති, පුෂ්ප උයනක්, සිසු උයනක්, බොන්සායි එකතුවක්, පැල ගෘහයක්, එළිමහන් උදවදිය එකතුවක්, පලතුරු උයනක්, තාල වර්ගයේ ශාක එකතුවක්, මෙන්ම අත්තනගලු ඔයාට මායිම්ව පිහිටුවා ඇති බෝට්ටු සේවයක්ද මෙහිදී දැකගැනීමට හැකියාව ලැබෙනවා.

සීතාවක තෙත් කලාපිය උද්භිත උද්යානය ද තවත් ප්‍රධාන උද්‍යානයක් ලෙස හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එය අවිස්සාවේල්ල, පුවක්පිටිය, ඉලුක්ඕවිට, මෙන්ම තුම්මෝදර යන ගම්මාන වලට අයත්වන මෙම උද්‍යානය කොළඹට ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙය අක්කර 106 කින් පමණ සමන්විත වන අතර මෙම භූමියද කොටස් කිහිපයකට බෙදා වෙන් කර තිබෙනවා. ඒ අතර තේ වගා කර තිබෙන කොටසක්, නැරඹුම් මධ්‍යස්ථානයක්, මීවන වනයක්, රුක් උයනක්, තර්ජනයට ලක්ව ඇති ශාක එකතුවක්, තාල වර්ගයට අයත් ශාක එකතුවක්, ඖෂධ උයනක්, රෝස උයනක්, මල් වගා අංශයක්, තෘණ පිටියක් මෙන්ම වැව් 3ක් ද දැක ගැනීමට පුළුවන් වෙනවා.


(under the courtesy of roar.media web)

More News »