දෙනියායෙන් සිංහරාජයේ දියඇලි බලන්න

2018-04-06 01:32:00       370
feature-top
බෙහෝ දෙනෙක් සිංහරාජ වනාන්තරයට යන්නේ රත්නපුර කලවාන හරහා කුඩවට ගිහින්. නමුත් සිංහරාජයේ අලංකාරය වඩාත් හොඳින් විඳගැනීමට නම් එතරම් සංචාරකයන් නොඑන දෙනියාය පැත්තෙන් යා යුතු බව අපගේ හැඟීම යි. දැන් අධිවේගී මාර්ගය හරහා පහසුවෙන් දෙනියායට ළඟා වෙන්නත් පුලුවන්නේ. කොළඹ  සිට අධිවේගී මාර්ගයෙන් විත් ඉමදූව හරහා දෙනියායට කි. මී. 196ක් දුර යි.  මේ සඳහා පැය තුනහමාරක් පමණ ගත වෙනවා. දෙනියාය සිට මෙදේරිපිටිය හරහා පිටදෙනියට යාමට තවත් පැය බාගයක් විතර යාවි. මේ ගමනේ දී වනාන්තරයට අමතරව ඔබ දැකගත යුතු තැන් කිහිපයක්ම තිබෙනවා.

මේ ගමනේ දී මිහිදුමින් බර වූ ගොංගල ඇතුළු කඳු හිස්, තැනින් තැන ගලා බස්නා දියඇලි, කඳු බෑවුම් වසාගත් තේ වතු ඔබට දක්නට ලැබෙනවා. දෙනියායෙන් හැරුණු පසු ඔබ ගමන් ගන්නේ ගිං ගංගා නිම්නය ඔස්සේ. එතරම් පළල නොවූ තරුණ ගිං ගඟ පිරිසිදු ජලයෙන් යුක්තව ගලා බසින දසුනත් අපූරු යි.

ඓතිහාසික ගැටබරු දේවාලය

දෙනියාය මාර්ගයේ මොරවක කොටපොළට නුදුරින් කඳු ගැටයක් මත පිහිටා ඇති මේ දේවාලය දකුණු ප්‍රදේශයේ ජනතාව අතර ඉතා ප්‍රකට පුද බිමක්. ගැටබරු කන්ද පිහිටා තිබෙන්නේ රක්වාන හෙල්වලටත් සිංහරාජ කඳු වළල්ලටත් මොරවක් කන්ද කඳු වළල්ලටත් මැදිව යි.

එහි බාරහාර වීමට විශාල පිරිසක් දිනපතා ඇදී එනවා. මෙම දේවාලය රජ්ජුරුබණ්ඩාර දෙවිඳුන් වෙනුවෙන් ඉදි කර තිබෙනවා. සොරුන්ට සහ සතුරන්ට දඬුවම් දීම සඳහාත් පිහිටාරක්ෂාව ලබා දීමටත් ප්‍රසිද්ධියක් උසුලන මෙම දේවාලය සහ ලෙන් විහාරය වළගම්බා රජු විසින් කරන්නට ඇතැයි සැලකෙනවා.

හත්මාලේ ඇල්ල

දෙනියාය අවට හත්මාලේ ඇල්ල, කොටපොළ ඇල්ල, අටුපොළ ඇල්ල හා ඒදඩු ඇල්ල පිහිටා තිබෙනවා.  මේ අතරින් අලංකාරම දියඇල්ල වන්නේ හත්මාලේ ඇල්ලයි. මේ ඇල්ල නිර්මාණය වන්නේ අඩි 3900ක් උස දෙනියායේ ගොංගල කන්දෙන් උපත ලබනා ගිං ගඟෙන්. දෙණියායේ සිට පල්ලේගම මාර්ගයේ දියඇල්ලට දුර කි. මී .12යි.  මහාමාර්ගයෙන් හැරී තවත් අතුරු මාර්ගයක කි. මී 2ක් පමණ ගමන් කළ යුතුයි.  සරුසාර තේ යාය මැදින් පහළට බැස ගිය විට හත්මාලේ ඇල්ල පාමුලට යන්නට පුළුවන්. කළුගල් මළු සතකින් සැදුණු මහල් සතකින් යුතු වූ හෙයින් ඊට සත් මාලේ ඇල්ල යැයි කියනවා. උසින් මීටර් 45 ක් සහ පළලින් මීටර් 10 ක් වන හත්මාලේ ඇල්ල ලංකාවේ දිය ඇලි අතර උසින් 68 වැනි තැන ගන්නවා.

මෙදේරිපිටියෙන් පිටදෙනියට

ඔබ පිටදෙනියෙන් සිංහරාජයට ඇතුළු වෙනවා නම් මුලින්ම යා යුත්තේ මෙදේරිපිටිය හන්දියට. හන්දිය කිව්වාට එතැනින් දෙනියායේ සිට එන තාර පාර ඉවරයි. කඩ දෙකක් විතර තියනවා. දෙනියායේ සිට මෙදේරිපිටිය බස් රථයකුත් ගමන් කරනවා. මෙතැන වාහන නතර කරලා පිටදෙනියට පයින් ගමන් කළ යුතුයි. මේ ගම්මානවල සුන්දරත්වයත් ඔබට දැක ගැනීමට ලැබෙනවා.

ඈතින් දියදාව කන්ද මෙතැනට දිස් වෙනවා. සිංහරාජයේ කඳු හිස් මේ දර්ශනය අලංකාර කරනවා. කෙත් යායන් හා තේ වගා අතරින් ඇදී යන ගොඩැලි සහිත මාර්ගයක කිලෝ මීටර් එකහමාරක් පමණ ගමන් කර වන මැද පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත් කවුන්ටරයට  පැමිණීමට පුලුවන්.

ඔබට තිබෙන කාලය අනුව වනයේ ගමන් කරන දුර ප්‍රමාණය එහෙම තීරණය කළ යුතුයි. දෙනියායට යන ලංකාගම වැසියන් ගමන් කරන්නේ ද මේ පාරේ. බඩුමලුත් ඔසවාගෙන පයින් යන ලංකාගම වැසියන් ද සමහරවිට ඔබ සමඟ සිනාවේවි. වනාන්තරය ගැන තොරතුරු ලබා ගැනීමට තොරතුරු මධ්‍යස්ථානයකුත් ගිංගඟ ඉවුරේ ඉදි කර තිබෙනවා.

නවාතැන්

වනිගසේකර ශාලාව, වන නිවහන සහ ගිං ගඟ වන නිවහන යන නවාතැන් ස්ථාන වනාන්තරය තුළ පිහිටා තිබෙනවා. මේවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කර ගත යුතුයි. මෙයට අමතරව වනාන්තරයට ළඟා වීමට පහසු දුරකින් පුද්ගලික නිවාඩු නිකේතන කිහිපයක් ද පිහිටුවා තිබෙනවා.

වනයේ චාරිකා
පතන් ඇල්ලට සහ කැකුණ ඇල්ලට වගේම බ්‍රාහ්මණ ඇල්ලට සහ තට්ටු ඇල්ලටත් සිංහ ගලටත් මෙහි සිට ඔබට ගමන් කළ හැකි යි. මේ සෑම ගමනක දීම වනයේ සුන්දරත්වය කදිමට රස විඳින්නට ඔබට ඉඩ ලැබෙනවා. කුඩව ප්‍රදේශයේ මෙන් මෙහි වනය 1970 දශකයේ දැව සඳහා හෙළි පෙහෙළි කර නැහැ. ඒ නිසා නොඉඳුල් වනාන්තර ප්‍රමාණය වැඩි යි. ගිං ගඟ හරහා මෑතක දී ඉදි කළ පාලමෙන් එගොඩ වී  අඩි පාරක ගමන් කළ යුතුයි.  මේ සඳහා පුහුණුව ලත් මාර්ගෝපදේශකයෙකුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ලබා ගත හැකියි.

ජෛව විවිධත්වය

සිංහරාජ වර්ෂා වනාන්තරය හෙක්ටයාර් 11185 ක විශාලත්වයකින් යුක්ත ය. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල එය පැතිර තිබෙනවා. පිටදෙනියෙන් වනයට යන විට ඔබ එහි පිවිසෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්.

ආවේණික ශාක විශේෂ 192 ක්, ජාතික මට්ටමින් වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ 30 ක් සහ ගෝලීයව වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ 116 ක් ඇතුළු කාෂ්ඨීය ශාක විශේෂ 337 ක් සිංහරාජ වනාන්තරය තුළින් හමු වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම වනාන්තරයකින් වාර්තා වී තිබෙන ඉහළම කාෂ්ඨීය ශාක විශේෂ සංඛ්‍යාව යි.

ඉතා සෙමින් සංචරණය කරන ගොළුබෙල්ලාගේ සිට ප්‍රතාපවත් දිවියා දක්වා වූ පුළුල් පරාසයක් තුළ ව්‍යාප්තව පවත්නා සත්ව විශේෂ රැසකට සිංහරාජ වනාන්තරය වාසස්ථාන සපයනවා. සිංහරාජ වනාන්තරයෙන් සත්ව කුල 140 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා.

මත්ස්‍ය විශේෂ 19, උභය ජිවීන් විශේෂ 33 ක්, උරග විශේෂ 71 ක්, පක්ෂීන් විශේෂ 147 ක් සහ ක්ෂීරපායීන් විශේෂ 44 ක් වාර්තා වී තිබෙනවා.  දේශීය පක්ෂි විශේෂ අතුරින් 60% ක් පමණ මෙන්ම, මෑතක දී සොයා ගත් Otus Thilohoffmanni නම් බකමූණු විශේෂය ද ඇතුළුව ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 ම මෙම වනාන්තරයෙන් වාර්තා වෙනවා. අවට වනාන්තරයේ ජෛව විවිධත්වය නරඹමින් ඉදිරියට යන ඔබට හමු වන පළමු දිය ඇල්ල කැකුණ ඇල්ල යි.

කැකුණ ඇල්ල

ප්‍රවේශපත් කවුන්ටරයේ සිට කි. මී. 2.5ක් දුරින් වන මැද මෙය පිහිටා තිබෙනවා. ඇල්ල නිර්මාණය වන්නේ ආරණුව දොළෙන්. මෙය එතරම් උස නැතත් එය පිහිටි වටපිටාව නම් ඉතා සුන්දර යි. දිය ඇල්ල පිහිටි ආරනුව දොළ අපට ආවේණික මත්ස්‍ය විශේෂ කිහිපයකටම වාසස්ථාන සපයනවා. ජලය ඉතා පැහැදිලි නිසා මෙම මසුන් ඔබට පහසුවෙන් නැරඹීමට පුලුවන්.

පතන්ඔය ඇල්ල
කැකුණ ඇල්ලත් බලාගෙන ඉදිරියට යන ඔබට මේ දිය ඇල්ල දැකගැනීමට ලැබෙනවා. පතන්ඔය ඇල්ල නිර්මාණය වන්නේද ගිං ගඟේ ශාඛාවක් වන ආරනුව දොළෙන්. මෙයට ප්‍රවේශපත් කවුන්ටරයේ සිට කි. මී. 4ක් දුරයි. මෙහි සිට ලංකාගමට ඇත්තේ කෙටි දුරක්. ඔබට අවශ්‍ය නම් ලංකාගමට ගොස් ඒ අවට දිය ඇලි නැරඹීමටත් පුලුවන්. ලංකාගම දූලි ඇල්ල සහ බ්‍රාහ්මණ ඇල්ල ඒ අතර ප්‍රධානත්වය ගන්නවා. ඒ වගේම සමහර සංචාරකයන් ලංකාගම වනගත ගම්මානය අවට ජන ජීවිතය දැක ගැනීමටත් උනන්දු වෙනවා.


(under the courtesy of roar.media web)
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »