හන්තානේ ආදර කන්ද නගිමු ද?

2018-04-09 12:03:00       766
feature-top
‘හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්’, ‘හන්තාන අඩවියේ මැඳුරු කවුලු සුදු සඳලු තලා පිස..’, හන්තානට පායන සඳ …. ඒ හන්තාන ගැන සඳහන් ගීත කිහිපයක්. අපේ ගීත රචකයන් අතර ඉතා ජනප්‍රිය තේමාවක් වූ මහනුවර හන්තාන, කඳු තරණය කරන ගවේෂකයන්ගේ ද ජනප්‍රියම ගමනාන්තයක්. සමහරු කඳු මුදුනට පිවිස එහි කූඩාරම් ගසා තවාතැන් ගෙන කඳු ගවේෂණය කරනවා.

නිතර මිහිදුමින් බරව තිබෙන මේ කන්ද සරසවි සිසුන් අතර ජනප්‍රිය වී ඇත්තේ ‘ආදර කන්ද’ නමින්. පේරාදෙනිය සරසවිය ඉදිකර ඇත්තේ හන්තාන කඳු බෑවුමේ. අනෙක් සරසවිවල සිසුන් ද තම වාර්ෂික චාරිකාවල දී පළමු වසරේ චාරිකාව හන්තාන තරණයට යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ට පේරාදෙනියේ සහෝදර  සිසුන්ගෙන් මඟපෙන්වීම ද ලැබෙනවා.

මේ විනෝද චාරිකාවලදී අලුත් පෙම්වතුන් බිහිවීම ද සිදු වෙනවා. ඒ වගේම පේරාදෙනියේ පෙම්වතුන් හන්තාන තරණයටත් ඉමහත් ලැදිකමක් දක්වනවා. ඉතින් හන්තානට ‘ආදර කන්ද’ යන යෙදුම අපූරුවට ගැලපෙනවා නේද?

සරසවි භූමිය හරහා හන්තාන නගින සරසවි සිසුන්ට උපකුලපති කාර්යාලයෙන් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා. ඒ කඳු තරණයට ගොස් සිසුන් අමාරුවේ වැටීම වළක්වා ගැනීමටයි. ඒ අනුව පෙ. ව. 9.00ට පෙර කන්ද නැගීම ඇරඹිය යුතු අතර සවස 3.00ට පෙර ආපසු පැමිණීම ඇරඹිය යුතුයි. එමෙන්ම කඳු තරණයට යන විට ජල බෝතල්, වැස්සෙන් බේරීමට කුඩ. ආහාර ආදිය රැගෙන යායුතු බවත් එහි සඳහන්


හන්තානේ පිහිටීම

හන්තාන කඳුවැටිය මහනුවර නගරයේ සිට ගලහ නගරය දක්‌වා පැතිර තිබෙනවා. මෙම කඳුවැටිය  ගඟවට, පාතහේවාහැට, උඩපළාත සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත්. මහවැලි ගඟේ ඉතාමත් වැදගත් ජලපෝෂක ප්‍රදේශයක්‌ ලෙස හන්තාන කඳුවැටියේ බටහිර බෑවුම් ක්‍රියාකරනවා. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1240 ක්‌ (අඩි 3720) පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකි න් වෙන් වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්නවලින්. කඳු 7 කින් සමන්විත හන්තාන කඳු වැටියේ උසම මුදුන ඌරා කන්දයි. කන්ද උඩට නැග ඊට පසු එහි එකිනෙක මුදුන්වලට ළඟාවීම දුෂ්කර නමුත් එය ඉතා සුන්දර ඇත්දැකීමක්. කඳු මුදුනට මහනුවර නගරයේ අපූරු දසුනක් ද දැකගත හැකියි. මහවැලි නදිය මහනුවර පැදකුණු කරමින් ගලායන ආකරයත් රමණීය අයුරින් පේනවා.  මධ්‍ය කඳුකරයේ නකල්ස් ඇතුළු කඳුත් අරණායක ප්‍රදේශයේ දොළොස්බාගේ කඳු ඇතුළු සබරගමු කඳුකරයත් මෙහි සිට අපූරුවට දැක බලාගත හැකි ය.

සරසවිය

පේරාදෙනිය සරසවිය ඉදිකළේ 1946 දී හන්තාන වතුයායේ පහළ බෑවුමේ යි. හන්තානෙන් ඉඩම් අක්කර 1080 ක් සරසවියට අයත්. කඳු මුදුන අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 500 ක පයිනස් වගාවක් ද පිහිටා තිබෙනවා. නොඉඳුල් වනයක් නොවුණත් වනාන්තර ප්‍රදේශ රාශියක් කඳු මුදුන් අවට දක්නට ලැබනවා. ඉංගී‍්‍රසින් එකල මේ කන්ද හඳුන්වා ඇත්තේ ‘මට්න් බට්න්’ (මත්තන පතන) යනුවෙන්.

යන්නේ කොහොමද?

හන්තාන අවදානමකින් තොරව පහසුවෙන් ගවේෂණය කළ හැකි කඳු වැටියක්.  පේරාදෙණිය ගලහ පාර ඔස්සේ ගොස් විශ්ව විද්‍යාලය අසලින් මෙන් ම මහනුවර රෝහල අසලින් ඇති උඩවෙල – 4 කණුව දක්වා දිවෙන මාර්ගයෙන් ද හන්තාන අඩවියට පිවිසිය හැකි ය.

උඩවෙල මාර්ගයේ යන්නේ නම් උඩවෙල හෝ 4 කණුව බස් රථයෙන් ගොස් හන්තාන වතුයාය අසලින් බැස කන්ද තරණය කළ හැකිය. ඈතින් කඳු මුදුනේ දිස්වන දුරකථන සංඥා කුලුණ අසලට ගොස් තවත් ඉදිරියට ගමන් කිරීමෙන් කඳු මුදුන්වලට යා හැකිය.  පේරාදෙනිය සරසවිය ළඟින් පටන් ගන්නවා නම් හන්තාන උඩ පේරාදෙනිය පාර දිගේ ගියහම Upper Hanthana Lodge එක හමු වෙනවා. එතනින් තියෙන අඩිපාර දිගේ  කඳු මුදුන්වලට ළඟාවිය හැකියි.  මේ මාර්ග දෙකට අමතරව මහකන්ද සරසවිගම ප්‍රදේශය හරහා වැටී ඇති පාර ඔස්‌සේත්, දෙල්තොට ප්‍රදේශය ඔස්‌සේත් හන්තාන තරණය කළ හැකිය. කන්දට යන මාර්ගය අවට පයිනස් වන වගා සහ තැන තැන ඇති වන වදුලු දැකගත හැකි ය. මෙහි විශාල පෙදෙසක පැතිර ඇත්තේ මානා සහ ඉලුක් තණ තලාවක්.

හන්තානේ විනාශය ඇරඹේ

රාජධානි සමයේ දී මෙය ආරක්ෂිත වනයක් ලෙස සැලකුණු බව ජෝන් ඩේවි සඳහන් කරනවා. එකල ජනතාවට අවසර ලැබී ඇත්තේ මින් දර සහ වේවැල් ආදිය ගෙනයාමට පමණයි. මේ නිසා එකල මෙම වනය වන සතුන්ගෙන් ගහණ ඝන වනයක් වශයෙන් පැවතුණා.

1815 දී ඉංගී‍්‍රසින්ට උඩරට යටත් වූ පසුව නගරය අවට වනබිම්වල විනාශය ආරම්භ වුණා. පළමුව කෝපි සහ පසුව තේ වගාව සඳහාත් ගොඩනැගිලි සහ යුද කඳවුරු ඉදිකිරීමටත් හන්තාන කන්ද එළි කළා.  එකල ආරම්භ වූ තේ වතු අදටත් මෙහි බොහෝ දුරට පැතිර තිබෙනවා. තවත් සමහරක් ප්‍රදේශ කෝපි සහ තේ වගාවෙන් පසුව මුඩුබිම් බවට පත්ව ඇති අයුරු ඔබට දැක ගැනීමට ලැබෙනවා.

පරිසර ආරක්ෂාව

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව හන්තාන පරිසර ආරක්‍ෂක ප්‍රදේශයක්‌ ලෙසට නම් කර තිබෙනවා. අඩි 3000 න් ඉහළ සීමාව සම්පූර්ණයෙන්ම වන ආවරණයක්‌ බවට පත්කරන්න සැලම් කර තිබෙනවා. ඒ යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනවශ්‍ය ක්‍රියාකාරකම් තහනම් කර තිබුණත් මෙහි පරිසරය දිනෙන් දින වැනසෙන බව තමයි අපට නම් පෙනෙන්නේ. ජනාවාස පැතිරීම සහ හෝටල් ඉදි කිරීමත් එයට බලපාලා. වසරේ පෙබරවාරි, මාර්තු යන කාල සීමාවල දී සිදු වන ගිනි ගැනීම්, එනම් වියළි කාලය පැමිණීමත් සමඟ අවට පදිංචිකරුවන් විසින් වල් ඌරන් හා හාවුන් දඩයම් කිරීමේ අරමුණින් සිදුකරනු ලබන කැලෑ ගිනි තැබීම් නිසාත් පරිසරය වැනසෙනවා.

සත්ව විවිධත්වය
හන්තාන කඳුවැටියේ පක්‍ෂී විශේෂ 120 ක් පමණ වාර්තා වෙනවා. හඳුන් දිවියා, හාවා, මීමින්නා, මුගටියා, හෝතඹුවා. වල්ඌරා, නරියා, ඉත්තෑවා, ලේනා, රිලවා වැනි ක්‍ෂීරපායි සත්ත්ව විශේෂ කීපයක්‌ පමණක්‌ දක්‌නට ලැබෙනවා. ඒ වගේම කොටියා ද මේ කන්දෙන් වාර්තා වන සත්වයෙක්.

හන්තාන විහාරයත් වන්දනා කරමු

හන්තාන කන්දේ සුන්දරත්වය විඳි ඔබට මහනුවර පිහිටි විහාරස්ථාන අතරින් ඉහළම උසකින් පිහිටා ඇති හන්තාන විහාරයට යාමත් අපූරු අත්දැකීමක් වේවි. උඩුවෙල මාර්ගයේ යන්නේ නම් මහනුවර නගරයේ සිට විහාරයට දුර කි. මී.10 ක්.

මුලින්ම මෙම විහාරය ආරම්භ කර ඇත්තේ ‘හන්තාන ආරණ්‍යය’ නමින්, වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විවේකීව වැඩ සිටීමට පි‍්‍රය කළ ස්ථානයක් වශයෙන් මෙම ආරණ්‍ය සඳහන් වෙනවා.

1778 වර්ෂයේ ඇසළ පෝදා සරණංකර හිමියන් දන් වළඳා හන්තාන ආරණ්‍යය වෙත ගමන් කර වස් කාලය ගතකිරීමේ අදහසින් වැඩිය ද උන් වහන්සේට අසනීප ස්වභාවයක් ඇති වුණා. යළිත් ලැගුම් ගෙට වඩින අතර අපවත් වුනු බව සඳහන් වෙනවා. අද මෙම විහාරය ප්‍රතිමා මන්දිරය, දාගැබ ඇතුළු විහාරාංගවලින් සමන්විතයි. සංඝාවාසයත් මහනුවර යුගයට අයත් ගොඩනැගිල්ලක්.

සැලකිළිමත් වෙන්න
හන්තාන තරණය කරන ඔබ ඒ සඳහා උදෑසන 8.00ට පෙර පිටත් විය හැකි නම් වැඩි  ප්‍රදේශයක ඇවිදීමට ඉඩ ලැබෙනවා. ඒ වගේම එක්වරම දේශගුණය වෙනස් වීමට ඉඩ ඇති නිසා 3.30ට පමණ ආපසු ගමන ආරම්භ කළ යුතුයි. රෑ බෝවීම නිසා මාර්ගය වැරදී අතරමං වූ සිසුන් ගැනත් පසුගිය කාලයේ වාර්තා වුණා.


(under the courtesy of roar.media web)

More News »