විසිතුරු කුරුලු පාරාදීසය : කුමන ජාතික වනෝද්‍යානය

2018-04-18 11:26:00       216
feature-top
කොළඹ නගරයෙන් කිලෝ මීටර් හාරසියයක් පමණ ඈතින් ශ්‍රී ලංකාවේ ගිනිකොන දිගට වන්නට අම්පාර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානය 2006 වසරේ සැප්තැම්බර් මාසය තෙක් ම හඳුන්වන ලද්දේ නැගෙනහිර යාල ජාතික වනෝද්‍යානය ලෙස යි. එහි දක්නට ලැබෙන පක්ෂි විවිධත්වය නිසා දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රසිද්ධ වී ඇති කුමන ජාතික වනෝද්‍යානයේ දී දක්නට ලැබෙන වඩාත් ආකර්ෂණීය ම පක්ෂි විශේෂ ලෙස සංක්‍රමණික දියසැවුලන් (waterfowl) සහ දිය කුරුල්ලන් (wading birds) හඳුන්වා දෙන්න පුළුවන්.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් 1985 වසරේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකරන ලද කුමන ජාතික වනෝද්‍යානය යළි මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 2003 වසරේ මාර්තු මාසයේ දී යි. එසේ ම 2004 දී ඇති වූ සුනාමි තත්ත්වයට ද කුමන ජාතික වනෝද්‍යානය ගොදුරු වුණා.

පිහිටීම, පිවිසීම සහ අනෙකුත් භෞතික ලක්ෂණ
දකුණු දෙසින් කුඹුක්කන් ඔයට ද නැගෙනහිරට වන්නට මහ සයුරට ද මායිම් වී ඇති කුමන ජාතික වනෝද්‍යානයට පිවිසීමේ දොරටුව පිහිටා ඇත්තේ පානම යි. හෙක්ටයාර 35,664 ක භූමි ප්‍රමණයකින් යුතු වනෝද්‍යානය තුළ දෙස් විදෙස් පක්ෂීන්ගේ දිවි පැවැත්ම සඳහා නොමඳ දායකත්වයක් සපයන අඩි හතකට නොවැඩි ගැඹුරකින් යුතු කලපු 20 ක් පමණ දක්නට ලැබෙනවා.

කුමන ජාතික වනෝද්‍යානයේ මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 200 ක් පමණ ‘කුමන විල්ලු’ යනුවෙන් හඳුන්වනු ලබන කඩොලාන වගුරකින් නිර්මාණය වී ඇති අතර එය වරින් වර මුහුදු ජලයෙන් යට වීම සාමාන්‍ය සිදුවීමක්. මැයි සහ ජූනි මාසවල දී බොහෝමයක් ජලජ පක්ෂීන් කූඩු තැනීම සඳහා යොදා ගන්නේ මෙම කඩොලාන වගුර යි. කුමන ජාතික වනෝද්‍යානය මධ්‍යයේ දක්නට ලැබෙන වගුරු බිම් බොහෝමයක් වතුරට ඔරොත්තු දෙන තෘණ විශේෂයන්ගෙන් ආවරණය වී පවතින අතර ඊට යටින් නොයෙක් ආකාරයේ ජලජ පැළෑටි රාශියකින් යුක්ත වෙනවා.

එසේ ම කුමන ජාතික වනෝද්‍යානය තුළ දක්නට ලැබෙන ස්වභාවික දිය තටාක අතරින් කුඩාවිල වැව, තුම්මුල්ල වැව සහ කොටළිඳ වැව සංක්‍රමණික පක්ෂීන් වැඩි වශයෙන් ප්‍රිය කරන දිය තටාක ලෙස හඳුනා ගත හැකි යි.

වෙරළබඩ කලාපයේ පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට  අඩි 300 ක පමණ උසකින් පිහිටා ඇති අතර එහි වාර්ෂික උෂ්ණත්වය 27˚C ක් පමණ වෙනවා. වාර්තා වන අන්දමට මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1,300 ක්.

පක්ෂි විවිධත්වය
කුමන ජාතික වනෝද්‍යානයේ දී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් මෙන් ම නේවාසික සහ සංක්‍රමණික පක්ෂි විශේෂ 430 ක් පමණ හඳුනා ගැනීමට හැකි අතර පක්ෂීන් නරඹන්නෙකුට මේ අතරින් පක්ෂි විශේෂ 200 ක් පමණ ඉතාමත් පහසුවෙන් දැක බලා ගැනීමට හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන බොහෝමයක දී විවිධ ආකාරයේ පක්ෂි විශේෂ දැක බලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව තිබුණ ද ඒ අතරින් වඩාත් වැදගත් සහ ජනප්‍රිය ම කුරුලු අභය භූමිය ලෙස කුමන ජාතික වනෝද්‍යානය හැඳින්වීමට හැකි යි.

අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ දී පක්ෂි විශේෂ 225 කට පමණ අයත් පක්ෂීන් දස දහස් ගණනක් කුමන වගුරු බිම් කරා ඇදෙන අතර ඒ අතරින් වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙන පක්ෂි විශේෂ අතරට පෙලිකන් කුරුල්ලන්, නොයෙක් වර්ණැති කොකුන්, ස්පූන්බිල් පක්ෂීන්, සුදු පැහැ අයිබිස් කුරුල්ලන්, කුඩා රාජාලින් සහ කොමරන්ට් පක්ෂීන් අයත් වෙනවා. එසේ ම කුමන වගුර ආශ්‍රිත ව අතිශය දුර්ලභ පක්ෂියෙකු ලෙස සැලකෙන කළු පැහැ ගෙලක් සහිත කොකුන් දැක ගැනීමට ලැබී ඇති අවස්ථා ද නැතුවා ම නොවෙයි. විශාල රංචු වශයෙන් කුමන ජාතික වනෝද්‍යානයට සංක්‍රමණය වන මෙම පක්ෂීන් එහි දී ම අභිජනනය කර අගෝස්තු මාසය අවසානයේ දී නැවතත් මව් රටවල් බලා ගමන් ආරම්භ කරනවා.

සිවුපාවුන්, උරගයින් සහ අනෙකුත් සත්ත්ව විශේෂ
කුමන ජාතික වනෝද්‍යානය නොයෙක් ආකාරයේ පක්ෂි විශේෂයන්ට හැරුණු විට තර්ජනයට ලක් වී ඇති ගල් කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා සහ බටු කැස්බෑවා වැනි කැස්බෑ විශේෂයන් මෙන් ම දෙස් විදෙස් කිඹුල් විශේෂ වැනි තෙත්බිම් ජීව විශේෂ ගණනාවකටම නිවාසස්ථාන සපයනවා.

එසේ ම යාල වනෝද්‍යානයේ ආසන්නයේ පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානයේ දී අලි ඇතුන්, කොටියන්, වල් ඌරන්, නරියන්, යුරෝපීය දිය බල්ලන් මෙන් ම තර්ජනයට ලක් ව ඇති හඳුන් දිවියන් (fishing cat) වැනි සිවුපාවුන් ද දැක බලා ගැනීමට හැකි යි.

සංස්කෘතික වටිනාකම සහ සංරක්ෂිත තත්ත්වය
වර්තමානයේ දී කුමන ජාතික වනෝද්‍යානය පිහිටා ඇති ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා දිව යන ඉතිහාසයක් ඇති ශිෂ්ටාචාරයක් පැවතුණු බවට සාක්ෂි පවතිනවා. වනෝද්‍යානය අවට ප්‍රදේශවලින් ක්‍රිස්තු පූර්ව පළමු වැනි සහ දෙවැනි සියවස්වලට අයත් ශිලා ලේඛන සහ ගුහා සිතුවම් සොයා ගෙන ඇති අතර අතීතයේ දී කතරගම දේවාලය වෙත යන සාම්ප්‍රදායික මාර්ගය වැටී ඇත්තේ ද වනෝද්‍යානය මධ්‍යයෙන්.

මෑත කාලීන ව කුමන ජාතික වනෝද්‍යානය වෙත පැමිණෙන පක්ෂි විශේෂඥයින්ගේ සහ නරඹන්නන්ගේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබෙන එයට බොහෝ විට හේතු වන්නට ඇත්තේ වනෝද්‍යානය ආශ්‍රිත ව දක්නට ලැබෙන වී වගාවන් සහ කලපු ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තය යි. එසේ ම පක්ෂි ගහනයේ ද සැලකිය යුතු අඩු වීමක් පවතින අතර තව දුරටත් පක්ෂීන්ගේ ස්වභාවික ජීවන රටාව කෙරෙහි බලපෑම් එල්ල කරමින් කිරින්ද සිට පානම දක්වා තැනීමට සූදානම් වන වෙරළබඩ මාර්ගය කෙරෙහි පරිසරවේදීන්ගේ දැඩි විරෝධතාවය එල්ල වී තිබෙනවා.


(under the courtesy of roar.media web)

More News »