ඇඳුම් මාරු කරගෙනම යායුතු අපූරු චාරිකාවක්

2018-04-25 10:56:00       400
feature-top
ලක්බිමේ සුන්දරත්වය සිත්සේ දැකගත හැකි ස්ථාන බොහොමයකි. ඒ අතරින් බැලූ බැල්මටම අසුන්දර අත්දැකීමක් සේ හැඟී යතත් පසුව එහි චමත්කාරය මනැසින් ආශ්වාදනය කළ හැකි සොබාදම් චාරිකාවන් අතලොස්සක්ද අපේ රටේ ඇත. සබරගමු පළාතේ පිහිටි වවුල්පන හුණු ගල් ගුහාව ඉන් ප්‍රධාන තැනක් ගනී.

ශ්‍රී ලංකාව සතු විශිෂ්ටතම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණුගල් ගුහාව මෙරටට ආවේණික වූ වවුල් වර්ග 7ක්ද ඇතුලත් වවුලන් ලක්‍ෂ 10ක ගේ පමණ නිත්‍ය වාසස්ථානයකි. මෙම ස්වාභාවික ගුහාව තුළින් හල්විනි ඔයට එක්වන දිය පහරක් ගලා බසින අතර ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල සොබාදහමේ කදිම නිමැවුමකි.

සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති මෙම සොබාදම් උරුමය වෙතට ගමන් කළ හැකි මාර්ග දෙකකි. රත්නපුර – ඇඹිලිපිටියේ මාර්ගයේ පල්ලේබැද්ද තුංතොට හංදියෙන් හැරී බුළුතොට මාර්ගයේ කිලෝ මීටර් 10ක් පමණ යාමෙන් මෙයට ළං විය හැක.  එමෙන්ම සූරියකන්ද – කොලොන්න මාර්ගයේ බුළුතොට හංදියෙන් හැරී පල්ලේබැද්ද දක්වා වැටී ගත් මාර්ගයේ ගමන් කිරීමෙන්ද මෙම ලෙන වෙත ළඟා විය හැකිය. එහි කඹුරාගමුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම හුණුගල් ගුහාව මුහුදු මට්ටමින් අඩි 912 ක් පමණ උස්වන අතර බුලුතොට හෙල්වල ශේෂ කඳු පාමුල පිහිටා තිබේ. මෙම ප්‍රදේශය වසර මිලියන ගණනකට පෙර මුහුදින් යටව තිබෙන්නට ඇතැයි භූවිද්‍යාඥයෝ අනුමාන කරති.
මෙම හුණුගල් ගුහා තුළ මුහුදේ තිබූ හුණු ගල් සහ සිප්පිකටු වල ශේෂයන් තවමත් දක්නට තිබීම එම අනුමානයට හේතුවෙයි. නමුදු ගුහාව තුළ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වවුලන්ගේ වසුරු තට්ටුවලින් ගුහාවේ බිම  වැසී පවතින නිසා ඔබට ගමන්කිරීමට සිදුවනුයේ ලිස්සන සුළු ගල් මතුපිටය. ඇතැම් විට මෙහි දෙපයින් ගමන් කිරීමට අපහසුවන අවස්ථා ද තිබිය හැක. එනිසා ඒ සඳහා සූදානම් ව හිසමත පතිතවන වවුලන්ගේ වසුරු වලින් ආරක්ෂාවීම සඳහා හිස්වැස්මක් පැළැඳ සිටීමත්, ලෙන තුළ කෘමීන්ගේ උවදුරු වලින් ආරක්ෂාවීම පිණිස අත්දිග කමිසයක් සහ දිගු කලිසමක් හැද සිටීම අතිශය  වැදගත්ය.මෙම වවුල්පන ප්‍රධාන ගුහාවේ දිග මීටර් 457 කි. එකිනෙකට සමාන්තරව ඇතුළුවීමේ දොරටු දෙකක් තිබේ. ඒවායේ පළල මීටර් 7.8 ක් සහ  මීටර් 5.6 කි. ඇතුළුවීමේ දොරටු වල උස මීටර් 7.5 සහ මීටර් 4.5 කි. 
මෙම වවුල්පන ගුහාවේ අභ්‍යන්තරය ඉතාමත් අඳුරුය.

මෙහි කැරපොතු, කටුසු, හූණු හා මැඩි සහ කෘමි විශේෂ රාශියක් දැකිය හැක.
ඔබ මෙම ගුහාව තුළට ගමන් කරන්නේ නම් හොඳ ආලෝක  දහරාවක් ලබා ගැනීමේ උපකරණයක්ද රැගෙන යා යුතුය. මෙම ගුහාව තුළට පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු එම ගුහාව අඩි 40 – 50ක් පමණ උසට විහිදී යනු පෙනේ. ඒ තුළ විවිධාකාර දිසාවන්ට විහිදී ගිය උප ගුහා ගණනාවක් ද දැකිය හැකිය. වසර මිලියනගණනක සිට  හුණුගල් වලින් සකස් වී ඇතිඅපූර්වතම නිර්මාණයක් වන මෙම ගුහාව තුළ හිරිලඹ හා හිරිටැඹ දැකගත හැකිය. ඇතැම් විට මෙම හිරිලඹ හිස මත කඩා වැටෙතැයි ඔබ තුළ බියක් ද ජනිත විය හැක.
මෙම හුණුගල් ගුහාව තුළ උප ගුහා 12ක් පමණ තිබේ. මෙහි පිවිසුම් දොරටුව තුළින් මෙම ගුහාව තුළට වවුල්පන දොළ ගලා බසී. ගුහාව තුළට ඇතුල් වන එම දොල උමං මඟ ඔස්සේ මීටර් 500ක් පමණ ගලා ගොස් ගුහාවේ පිටවීමේ දොරටුව තුළින් මතු වේ.
මෙම ගුහාව තුළදී ඔබ විදුලි පන්දම දල්වන සෑම දිසාවකම ඇත්තේ දහස් ගණනින් වවුලන්ය. ආලෝකය ලැබීමත් සමඟ කලබල වන වවුලන් ගුහාව තුළ පියාපත් හඬ නඟමින් ඉගිළ යති.මේ සියළු අත්දැකීම් පිළිබඳව ඔබ කලින් දැනුවත්ව සිටීම වැදගත්ය. එමෙන්ම මෙම ලෙනට පිවිසෙන දොරටු අද්දර ඔබේ තනිනොතනියට ඔබ හා මෙම චාරිකාවට එක්වීමට ස්වේච්ඡාවෙන් කැප වී සිටින සුනඛ මාර්ගෝපදේශකයන් කිහිප දෙනෙකුද බොහෝ විට දැකගත හැක. එ‍බැවින් මෙම ගමනේදී ඔබට නිති ආරක්ෂාව සලසන එම මාර්ගෝපදේශකයන් සඳහා 'සුළු සංග්‍රහයක්' කිරීමද ඔබේ යුතුකමක් හා වගකීමකි.
ඉතා අලංකාර හා විස්මිත ස්වාභාවික නිර්මාණයක් සේම ජෛව විවිධත්වය අතින් සුවිශිෂ්ට උරුමයක් වූ මෙම පරිසර පද්ධතිය හෙට පරපුර සඳහා ද ආරක්ෂා කර දීම ඔබ අප සැමගේ වගකීමකි. එමෙන්ම මෙම සංචාරය සඳහා සහභාගි වීමේදී ඒ සඳහා සුදුසු අතිරේක ඇඳුමක් ගෙන යාමටත් වවුල්පන ගුහාවෙන් පිටතට පැමිණ නා පිරිසිදු වීම සඳහා සබන් තුවා ආදියත් රැගෙනයාම අතිශයින් වැදගත් බව විශේෂයෙන් සටහන් කළ යුතුය.

ලෙන ආසන්නයේ පිහිටි යෝධයා කැපූ වළ නමැති ස්ථානයේ දී ඔබට සිසිල් පැනින් නෑමේ පහසුව උදා කෙරෙනු ඇත.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »