අසිරිමත් එළියක් විහිදුවන දිවාගුහාවට යමු

2018-05-04 10:36:00       673
feature-top
සමන් දෙවිඳුන්ගේ ඇරයුමෙන් සිරිපතුල පිහිටවීම සඳහා වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිරිපා හිමයේ දිවාගුහාව නම් ස්ථානයක දිවා විහරණය කළ පුවත අපගේ වංශකතාවල සඳහන් වෙනවා. නමුත් ඒ දිවාගුහාව පිහිටි ස්ථානය පිළිබඳ නිවැරදි නිශ්චයක් මේ දක්වාම නැහැ.

හැටන් නල්ලතන්නි ශ්‍රී පාද මාර්ගයේ සිරිපා හිමයේ සිට නල්ලතන්නිය දෙසට අඩි 500 ක පමණ පහලින් පිහිටා ඇති භගවා ලෙන හෙවත් නිශ්ශංකමල්ල ලෙන මෙම දිවා ගුහාව ලෙස ඇතැමුන් හඳුන්වනවා. ඊට අමතරව බලංගොඩ කල්තොට දක්වා වැටී ගත් මාවත ‍ඔස්සේ තන්ජන් තැන්න අද්දරින් දකුණට ගිය විට හමුවන කූරගල පර්වතයේ ඇති ස්ථානයකුත් මෙම දිවා ගුහාව ලෙස සමහරුන් නම් කොට තිබෙනවා.
 නමුත් අද වන විට දිවාගුහාව යනුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති ස්ථානයටයි අද අප ඔබව මෙසේ කැඳවාගෙන යාමට උත්සාහ කරන්නේ. කුරුවිට, එරත්න මාර්ගය ඔස්සේ කිලෝමීටර් 07 ක් පමණ ගිය විට හමුවන බටතොට හන්දියෙන් වමට හැරී නන්ද එල්ලාවල මාවත ඔස්සේ තවත් කිලෝමීටරයක දුරක් පසුකළ විට බටතොට කණිටු විදුහල දැකිය හැකියි. එම විදුහලේ ක්‍රීඩා පිටිය අද්දරින් වමට හැරෙන මාවත යොමු වී ඇත්තේ දැවැන්ත ගිරි කුලක් වෙතයි. එහි ඇති පුරාණ බටතොට ලෙන් විහාරයේ ඇති සුවිසල් ගල් ලෙන මෙම දිවා ගුහාව ලෙස අතිශයින් ප්‍රසිද්ධ වී තිබෙනවා.
මහනුවර යුගය දක්වාම බෞද්ධ ලෙන් විහාරයක්ව පැවැති මෙය පසු ක‍ලෙක මුළුමනින් වනගත වී තිබුණා. එහි අවසන්  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඇත්තේ 1908 වසරේ බවයි එවකට අපට දැනගැනීමට ලැබුණේ. ඒ අනුව මීට හරියටම වසර 20 කට පෙර අප එහි යනවිට එම ගල්ලෙන මුළුමනින් වල් බිහිවී තිබූ අතර එහි තිබූ මහනුවර යුගයට අයත් සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා යුගල පවා කිසිවෙකු විසින් සාරා දමා තිබුණා. ඒ පිළිබඳව විමසුම් කළ අපට එහි ගම්වැසියෙකු කියා සිටියේ බුද්ධ ප්‍රතිමා වල නේත්‍රා ගමක් වෙත එල්ල වී තිබුණ හොත් ඉන් ගමට වස් වදින බව එවක ජනප්‍රියව තිබූ ජෝතිෂ්‍යය පත්‍රයක පළවී තිබූ බවයි. ඉන් පසුව එම ඛේදනීය වෘත්තාන්තය "බෞද්ධයන්ට බුදුපිළිම වලින් අපලයි - දිවා ගුහාවේ නේත්‍ර යුග්මය කියන කතාව" යන සිරස්තලයෙන් යුතුව 1998 ජනවාරි 04 වෙනිදා ලක්බිම ඉරිදා සංග්‍රහයේ ලිපියක් සම්පාදනය කිරීමට අපට හැකි වුණා.
(ලක්බිම ඉරිදා සංග්‍රහයේ  පළවු ලිපිය සහ  ඡායාරූප - මෙහි දකුණු පස ඇති ඡායාරූපයේ බුද්ධ ප්‍රතිමාවට කර තිබූ හානිය සටහන්ව තිබේ.)

ඉන්පසු එම පුවත දැකීමෙන් මහත් කම්පාවට පත් පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ඒ පිළිබඳව දුරකථනය මගින් අප වෙතින් කරුණු විමසා සිටියා. එම ගල්ලෙනේ සිට රූපවාහිනී ධර්ම දේශනාවක් කිරීමට තමන් වහන්සේ අදහස් කරන බවද ‍සෝමහිමියන් අපට දන්වා සිටියා. ඒ අනුව උන්වහන්සේ ගේ එම ප්‍රකාශය එවක සුමති සමූහ ව්‍යාපාර සභාපතිනි මිලිනා සුමතිපාල මැතිණිය වෙත දැන්වීමෙන් පසුව එම ධර්ම දේශනාවේ සම්පූර්ණ බරපැන දැරීමට එතුමිය ඉදිරිපත් වුණා.

1998 වසරේ එම ගල්ලෙනේ දී පටිගත  කෙරුණු ධර්ම දේශනාව එම වස‍රේ වසරේ දුරුතු පෝදා ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය වීමත් සමඟ එම බටතොට ලෙන් විහාරය කෙරෙහි ජාතික මට්ටමේ අවධානයක් යොමු වුණා. ඊට පසුදා සිටම එම ස්ථානය නැරඹීමට දිනකට සිය දහස් ගණන් ජනතාව පැමිණෙන්නට පටන් ගත්තා. එම වැඩසටහන නිෂ්පාදනය කළේ ස්වාධීන ‍රූපවාහිනියේ විධායක නිශ්පාදක මහසෙන් මොරවක විසින්.කෙසේ හෝ මෙම බටතොට ලෙනේ ප්‍රධාන ගල්ලෙනෙහි ආකෘතිය සහ කැලණි රජ මහා විහාරයේ සෝලියුස් මෙන්දිස් සිත්තරාණන් සිතුවමට නැගූ දිවාගුහා චිත්‍රය අතර විස්මිත සමාන කමක් දකින්නට පුළුවන්. ඔහුගේ මනැසෙහි දිවාගුහාව සම්බන්ධ මෙවන් මනෝ රූපයක්ම මැවුණේ කෙසේ දැයි අපට සිතා ගත නොහැකියි.

කෙසේ හෝ  මේ වන විට මෙය වැඳුම් පිදුම් කළ යුතු  ස්ථාන කිහිපයකින් සමන්විට පින් බර පුදබිමක්.
මෙවර සිරිපා සමයේ මෙම බටතොට ලෙන පුරාණ විහාරයට පිවිසෙන ඔබට ඉතා චමත්කාර ජනක අත්දැකීම් රැසක් ලබන්නට පුළුවන්. මෙම සුවිසල් ගල්ලෙනෙහි එක් ස්වභාවික ආරුක්කුවක් තුළින් සිරිපා කඳුවැටිය ඉතා රමණීය ලෙස දිස්වන අතර ඇතැම් හිමිදිරි යාමයන් හි ශ්‍රී පාදය දෙසින් එන අමුතුම ආලෝක ප්‍රභවයකින් මෙම ගල්ලෙන පිරී යන අයුරු ඔබට දැක ගන්නට පුළුවන්. එය බුදුරැස් විහිදීමක් ලෙස අතීතයේ මෙම ප්‍රදේශයේ ගැමියන් සලකා ඇති බවත් අපට දැනගන්නට ලැබුණා. මේ අතර නිරතුරුවම පාහේ ඒ අවට අහස්තලයේ දේදුණු දැක ගැනීමට හැකිවීමත් එක්තරා විශේෂත්වයක්. ඇතැම් විට එ‍ලෙස එක්වර දේදුණු දෙක තුනක් පායා ‍තිබෙනු උව ඔබට දැක ගත හැකියි.

ඒ කෙසේ හෝ 1908 සිට 1998 දක්වා වසර 90 කාලයක් පාළු අඳුරේ ගිලී තිබූ මේ ඉපැරණි පින් බිම නැවත ආලෝකමත්ව ඇත්තේ බුදු සසුන මෙරට පවතින තාක් කල් යළි අඳුරේ ගිලී නොයන ලෙසයි.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »