බොහෝ දෙනෙක් නොදත් සොදුරු පාරාදීසය ඇල්ල කපොල්ල

2018-05-08 11:30:00       616
feature-top
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නොදත් සොබා සොදුරු බවින් අනූන ස්ථාන රැසක් තිබෙනවා. ඒවා අතරින් ඇල්ල කපොල්ලට හිමි වන්නේ මුල් තැනක්. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී ස්ථාන පිළිබඳව බොහෝ දෙනෙක් දැන සිටියත් ඒ ඉසව්වේම ඇති ඇල්ල කපොල්ලේ ආශ්චර්යවත් දර්ශනය ගැන බොහෝ දෙනෙකු තවමත් දැනුවත් නැහැ. නමුත් අතීතයේ වතු වගාවේ යෙදුණු යුරෝපීයයන් මේ ඇල්ල කපොල්ලේ අසිරිය සිත් සේ විඳගත් බවට සාක්ෂි ‍තිබෙනවා. එනිසාම අදත් ඇල්ල විදේශීය සංචාරකයන්ගේ පාරාදීසයක්.

උඩරට දුම්රිය මාර්ගයේ හීල් ඔය සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර ඇති කිතල් ඇල්ල ප්‍රදේශයට මේ ආශ්චර්යමත් දර්ශනය දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙහි චමත්කාරය වඩාත් සිත් සේ විඳ ගැනීමට නම් ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස මීටර් 500 ක් පමණ ආපසු පැමිණ එතනදී හමුවන කළු පාලම අද්දරින් ඇල්ල ගල කන්ද තරණය කළ යුතුයි. අඩි 500 ක පමණ උසක් මෙසේ තරණය කළ විට රාවණා ඇල්ල ගලා බසින ඇල්ලේ ගලේ සිට සිරිලක් දිවයිනේ දකුණු පළාතේ විශාල ප්‍රදේශයක් සිත් සේ දැක බලා ගත හැකියි. ඌව පළාතේ සිට දකුණු පළාත දැක ගත හැකි කදිම ඉසව්වක් ලෙස මේ ඇල්ල කපොල්ල හැඳින්වෙනවා. නමුත් මිහිදුමින් යුතු කාලයට ඒ කිසිවක් නෙත නොගැටුණත් හාත් පස ඇති සොබා සෞන්දර්යෙන් ඔබේ සිත් සතන් වසඟ වනවාට සැක නැහැ.

පුංචි ශ්‍රී පාදය නමින් හැඳින්වෙන කඳුගැටයක් මේ ආසන්නයේ තිබෙනවා. එය පිහිටා ඇත්තේ ඇල්ල බල්ලකෙටුව හරහා නමුණුකුල මාර්ගය ආසන්නයේයි.

මේ කඳු පන්තිය මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමණ උසින් යුතු බවයි පැවසෙන්නේ.

පැහැදිළි අහස සහිත දිනවලදී මේ ඇල්ල කපොල්ලේ සිට දකුණු ලකේ තිස්සමහාරාමය දාගැබ පවා දිස්වන බවට ප්‍රදේශ වාසීන් පවසනවා. ඒ කෙසේ හෝ මේ අසිරිමත් දසුන් සිත්සේ නෙතට හසුකර ගැනීමට නම් දුර දක්නයක් භාවිතා කළ යුතු වෙනවා.‍

මෙම ඇල්ල නගරයෙන් ශීඝ්‍රාකාර බෑවුමක් ඔස්සේ පහතට වැටෙන මාර්ගය පහළ ඌවේ ප්‍රධාන නගරයක් වන වැල්ලවාය දක්වා විහිද යනවා. ඇල්ල නගරයෙන් විහිදෙන අනෙක් මාර්ගය නමුණුකුල පස්සර ඔස්සේ බදුල්ල දක්වා විහිදයන අතර ඇල්ල ප්‍රදේශයේ සොබා සොඳුරුබව රසවිඳින ඔබට නවාතැන් පහසුව පිළිබඳව නම් කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැහැ. ඊට හේතුව මෙම ඇල්ල ප්‍රදේශය විදෙස් සංචාරකයන්ගේ සිත් වසඟ කරවන සොබාදහමේ පාරාදීසයක් වීමයි. මෙහි විවිධ මිල ගණන් යටතේ නවාතැන් පොළවල් රැසක් තිබෙනවා.

මෙම සුන්දර ගමනාන්තය සඳහා අගනුවර සිට වාහනයකින් පැමිණෙනවා නම් රත්නපුර බලන්ගොඩ හරහා කුඹල්වල හන්දිය ඔස්සේ මෙහි ළඟාවීමට පුළුවන්. මේ ඇල්ල ප්‍රදේශය සහ රාවණා රජු අතර ඇති ජනප්‍රවාද ශීඝ්‍රයෙන් අභාවයට යමින් පවතින අතර ඒවා පිළිබඳව අධ්‍යයනය කරන්නවුන්ට වුවද මේ ඇල්ල ප්‍රදේශය කදිම ගමනාන්තයක් බව කිව යුතුයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පිරිසිදු වාතාශ්‍රය සහිත ප්‍රදේශ අතරින් මෙම ඇල්ල ප්‍රදේශය මුල් තැනක් ගන්නා බවත් මෑතක දී සිදුකරනු ලැබූ පාරිසරික අධ්‍යනයකින් සනාථ වී තිබෙනවා.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »