මිහින්තලේ ගිහින් දැකගත යුතුම තැන්

2018-06-04 10:40:00       296
feature-top
පෙසොන් පෝයට මිහින්තලේ යන හුඟ දෙනෙක් මිහින්තලා කන්දේ පිහිටි මහාසෑය, අම්බස්තල පර්වතය, මිහිඳු ගුහාව, සේල චෛත්‍යය දැකබලාගෙන වන්දනාව නිම කරනවා. නමුත් මිහින්තලේ කන්දේ සිට පයින් යන දුරක දැකබලා ගත යුතු ඓතිහාසික මෙන්ම සුන්දර ස්ථාන කිහිපයක්ම තිබෙනවා. ඒවාත් දැකබලාගැනීමෙන් ඔබේ වන්දනාව අංගසම්පූර්ණ කර ගැනීමට ඉඩ ලැබෙනවා. ඒ ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක් තමයි, මේ.

ඉඳිකටුසෑය ආරාමය

මිහින්තලේ හන්දියේ සිට නුවර පාරේ ඉදිරියට කිලෝමීටරයක් ගමන් කරන විට, පාරේ දකුණු පසින් කළුගල් ප්‍රාකාරයකින් වටකළ නටබුන් ආරාම සංකීර්ණයක් හමුවෙනවා. එය ඉඳිකටු සෑය ආරාමය යි. දාගැබ් දෙකක්, කළුගලින් කළ පොකුණක්, හා සංඝාරාම ගොඩනැගිලි මෙහි දී හමුවෙනවා. මෙහි පිහිටි පෙකුණ පසුගිය කාලයේ සංරක්ෂණය කර තිබෙනවා.

ආරාම සංකීර්ණය තුළ පිහිටි දාගැබ ඉඳිකටු සෑය නමින් හඳුන්වනවා. කළුගල් වේදිකාවක් මත ඉදිකළ දාගැබ් මලුවට පිවිසීමට පියගැට පෙළක් තිබෙනවා. චාම් කොරවක් ගල් සහ සඳකඩපහණක් ද එහි පිවිසුමේ දැකගත හැකි යි. වේදිකාවක් මත ඉදිකළ දාගැබ මෙහි ප්‍රධාන ස්මාරකය යි. මෙහි පේසාවළලු ද තනා ඇත්තේ කළුගලින්ම යි. එයට අමතරම සංරක්ෂණය නොකළ සංඝාරාම ඇතුළු ගොඩනැගිලි රැසක නටබුන් මෙහි වන බූටෑවෙන් වැසී පැතිර තිබෙනවා. ආරාමය වටා යන සේ කළුගල් ප්‍රාකාරයක් ද ඉදිකර තිබෙනවා.

කටුසෑය

මහා මාර්ගය අසල පිහිටි මේ දාගැබ මේ ආරාම සංකීර්ණයට අයත් දෙවැනි දාගැබ යි. මෙම දාගැබ 1923 දී සංරක්ෂණය කරන විට තඹ තහඩුවල ලියූ මහායාන බෞද්ධ ග්‍රන්ථවල පාඨ හමුවුණා. ඒවා 8-9 සියවස්වලට අයත්. ඒ අනුව මහාචාර්ය සෙනරත් පරණවිතාන ඒ කාලයේ මිහින්තලේ විසූ මහායාන බැතිමතුන් මේ ආරාමය ගොඩනංවන ලද බවට නිගමනය කළා. ශාරීරික ධාතු වෙනුවට ධර්ම ධාතු නිදන් කිරීමේ සිරිත මහායානිකයන් අතර තිබුණා.

අද වන විට බැතිමතුන් කටුසෑයට බාරහාරවීමට පුරුදු වී සිටිනවා. ඔවුන් පැමිණ එතැනම ලිප් බැඳ, මුරුතැන් බත් උයා, අවට යන අයට දන් දී බාරහාර ඔප්පු කරනවා. පෙම්වතුන්, විශ්ව විද්‍යාල සිසුන්, විවාහ අපේක්ෂකයින්, පවුල් ආරවුල් ඇත්තවුන්, රැකියා අපේක්ෂකයින් ආදී මෙකී නොකී බොහෝදෙනෙකු මහත් වූ විශ්වාසයෙන් මෙහි පැමිණ බාරහාර වෙනවා. පහන් දැල්වීමට සැකසූ යකඩ ආකෘතිවල ගැට ගසන ලද පඩුරු කාසි දහස් ගණනක් මෙතැනට යන එන්නකුට දැකගත හැකි යි. පලතුරු වට්ටි පූජාව, කිරි ඉතිරවීම, පොල් ගැසීම ආදිය මෙහි නිතර සිදුවෙනවා.

නමුත් විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම් නිසා මේ පුණ්‍ය භූමියට සිදුවන විනාශය ගැන සමහරුන්ට හැඟීමක් නොතිබීම කණගාටුවට කරුණක්.

රාජගිරි ලෙන කන්ද

කටුසෑය පසුකරමින් කිලෝමීටර බාගයක් ඉදිරියට පියමං කරන විට ඈත වනගැබ පලාගෙන ඉහළ නගින රාජගිරිලෙන කන්ද දැකගත හැකි යි. එයට යොමු වූ ගුරු පාර මිහින්තලේ අභයභූමිය මැදින් වැටී තිබෙනවා. ගුරුපාරේ මඳ දුරක් යන විට කන්ද මතට පිවිසෙන කළුගල් පියගැට පෙළ ඇස ගැටෙනවා.

මෙම කුඩා කඳුගැටය විශාල පර්වතවලින් පිරිලා. ඒවා ඇසුරු කරගෙන ගල්ලෙන් කිහිපයක් ද කඳු පාමුල පොකුණක් ද දක්නට ලැබෙනවා. කන්ද පාමුලත් පැරණි ලෙන් ආරාම දක්නට ලැබනවා. ලෙන් පූජා කළ බව සඳහන් බ්‍රාහ්මී ලෙන්ලිපි කිහිපයක් ද මෙහි හමුවෙනවා.

කන්දට පිවිසීමට තැනූ පියගැට පෙළ හා ලෙන්වල පැරණි නටබුන් හෙළි කරන්නේ මුලින්ම ඇතිවූ පුරාණ ලෙන් ආරාම පසුව ප්‍රතිමා මන්දිර බවට පත්ව ඇති බව යි. කළුගල් උළුවස්සක් සහිත බිත්තියකින් මෙම ලෙන් විහාරයට පිවිසිය යුතු වෙනවා. එය ඉදිරිපිට කොරවක්ගල් සහ මුරගල් සහිත විහාර පිවිසුම පිහිටා තිබෙනවා. විනාශ වී ගිය සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද මෙහි හමුවෙනවා. නව වැනි සියවසට අයත් සංස්කෘත අක්ෂරයෙන් ලියූ සෙල්ලිපියක් ද මෙහි තිබී හමුවුණා. ඒ නිසා මහායානික බලපෑම මෙම ස්ථානයටත් ලැබෙන්නට ඇති බවට ඉතිහාසඥයන් විශ්වාස කරනවා.

කළුදිය පොකුණ

රාජගිරි ලෙන කන්දට හැරෙන තැනට විරුද්ධ පැත්තට යොමු වූ පුරාවිද්‍යා දැන්වීම් පුවරුව මඟපෙන්වන්නේ කළුදිය පොකුණ ආරාම සංකීර්ණයට යි. ඉතා අලංකාර උද්‍යානයක් වැනි මෙය විශාල පොකුණකින් යුක්ත යි. මෙම ස්ථානය මිහින්තලේ සුන්දරම ආරාමය ලෙස හැඳින්විය හැකි යි.

පිහිටි පරිසරයට හානියක් නොකර ගොඩනැගිලි ආදිය ඉදිකර ඇති සාම්ප්‍රදායික ඉදිකිරීම් තාක්ෂණය සඳහා හොඳම උදාහරණය කළුදිය පොකුණ යි. එහි පඨානඝර, සංඝාවාස ගොඩනැගිලි, ස්ථුප ඇතුළු විවිධ වර්ගයේ ආගමික ගොඩනැගිලි ගලින් නිර්මාණය කර ඇති ආකාරය, පැරණි යුගයේ ශෛලමය තාක්ෂණයේ වර්ධනය අදටත් කියාපාන නිදසුන්.  

කළුදිය පොකුණ පිහිටියේ අඩි 1000ක් පමණ උස මිහින්තලා කඳු වැටියේ එක් බෑවුමක යි. මිහින්තලේ පිහිටි විශාලම පොකුණ වන මෙය කඳු වලින් වට වූ විලක් වැන්න. එය තනා ඇත්තේ ඇත්වෙහෙර කන්දත්, අනායිකුට්ටි කන්දත් අතර පිහිටි මිටියාවතේ වේල්ලක් බැදීමෙන්. මේ කඳුවල සිට ගලා බසින උල්පත්වලින් පොකුණට ජලය සැපයෙනවා. පොකුණෙහි දකුණු හා නිරිතදිග ඉවුරු වලට ස්වාභාවිකව පිහිටි ගල් උපයෝගී කර ගෙන තිබීම නිසා වක්‍ර ස්වාභාවයක් ගන්නවා. පොකුණේ උතුරු  බැම්මේ දිග අඩි 280ක්. නැනෙහිර බැම්ම අඩි 720ක් වන අතර දකුණු දිග බැම්ම අඩි 66ක් ද, බස්නාහිර අඩි 890ක් ද වෙනවා. මෙහි වැඩි ජලය පිට කිරීම සඳහා ගලින් කරන ලද නලයක් ද කැණීම් වල දී හමුවුණා.

කළුදිය පොකුණේ වැඩ විසූ කළුබුද්ධරක්ඛිත හිමියන් කළුතිඹිරි ගස මුල වැඩ සිට කාලකාරාම සූත්‍රය කළුවර පෝය දිනක දේශනා කළ බවත්, සද්ධාතිස්ස රජු මුළු රාත්‍රිය මුළුල්ලේ එම ධර්ම දේශනාවට සවන්දුන් බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කළුදිය පොකුණ අද්දර දැනුදු කළුතිඹිරි ගසක් තිබෙනවා.

ආරාමයට යොමු වූ පෙත්මඟ ගල්පර්වත අතරින් වැටී තිබෙනවා. ආරාමයට ඇතුළුවීමට වාහල්කඩක් වැනි ප්‍රවේශයක් පිහිටා තිබෙනවා. ඒ අසලම උස්බිමක තිබෙන්නේ ආරාමයේ දාගැබ යි. විශාල පොකුණ එයට නුදුරේ සිට ඇදී යනවා. ගල්ලෙන්, ස්නානාගාර, භාවනා ශාලා, පඨානඝර ආදියෙන් යුක්ත මෙය ක්‍රි. ව. 10-11 සියවස්වලට අයත් බවට අනුමාන කෙරෙනවා. සිව්වැනි කාශ්‍යප (898-914) රජු කරවූ හදයුන්හ විහාරය මෙය විය හැකි බව එච්. සී. පී. බෙල් සඳහන් කරනවා. පොකුණ වටා යන සේ කළුගල්වලින් ප්‍රාකාර තනා තිබෙනවා.

පොකුණට බැසීමට අලංකාර පියගැට පෙළක් ඉදිකර තිබෙනවා. හතරවැනි මහින්ද රජුගේ සෙල්ලිපියක පොරොදිනි පොකුණ යනුවෙන් සඳහන් වන්නේ මෙය බව විශ්වාස කෙරෙනවා.
පොකුණය නුදුරින් ගල් පර්වතයක් ඇසුරේ කළුගල් බිත්තිවලින් යුත් ලෙන් කුටිය පුරාණ ලෙනක ස්වරූපය හඳුනාගැනීමට ඉඩ සලසනවා. සක්මන් මළු, මණ්ඩප, වැසිකිළි, ප්‍රාසාද ආදී වශයෙන් භාවනායෝගී භික්ෂූන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම මෙහි තනා තිබෙනවා.

සමහර වන්දනා නඩ මෙහි පැමිණ අපද්‍රව්‍ය තැන තැන දැමීම විශාල පරිසර හානියක්. ඇතැමුන් පැමිණ කළුදිය පොකුණෙන් දිය නා මත්පැන් පානය කර විනෝද වී පොලිතින් ආදී අපද්‍රව්‍ය ඒ ඒ තැන්වලම දමා යාමට පෙළඹීම කනගාටුදායක කරුණක්.

වසම්මලේ චිත්‍ර

මිහින්තලා හන්දියේ සිට ඇති යාපනය පාරේ කි. මි. 2ක් පමණ ගමන් කරන විට වසම්මලේ චිත්‍ර ලෙනට මඟ පෙන්වන පුරාවිද්‍යා නාම පුවරුව හමුවෙනවා. එතැනින් හැරී වනයේ අඩිපාරක් ඔස්සේ කි. මී. තුන්කාලක ගමන් කළ විට චිත්‍ර පිහිටි කඳුවැටියට පිවිහිය හැකි යි. එහි විවෘත ලෙනක පැරණි චිත්‍රයක කොටසක් පිහිටා තිබෙනවා. චිත්‍රයේ විශාල කොටසක් කාලයාගේ ඇවෑමෙන් විනාශ වෙලා. මේ ලෙන  පුරාවිද්‍යා රක්ෂිතයක්. පණ්ඩුකාභය කුමරුන් මෙහි ද සැඟවී සිටි ස්ථානයක් ලෙස ජනප්‍රවාදයක සඳහන් වෙනවා. මේ කන්ද මත පණ්ඩුකාභය සැඟවී සිටි බව පැවසෙන දොරමඩලාව ගම්මානය කදිමට දිස්වෙනවා. එමෙන්ම මිහින්තලා කන්දත් ඉතා අපූරුවට දැකගත හැකියි.

වන සතුන් දඩයම් කිරිමට බදින ලද තුවක්කු තැනින්තැන තිබිය හැකි නිසාත්, නිසි ගමන් මාර්ගයක් නැති නිසාත් මේ වෙතට ගමන් කරන්නේ නම් ගම්වැසියකුගේ සහයෝගය ලබාගත යුතු වෙනවා.


(under the courtesy of roar.media web)

More News »