මඩකඩ අරණේ සිරිය විඳින්න

2018-07-16 11:41:00       368
feature-top
සසල සිතක් නිමේශකින් නිසල කැරෙන, සමනොල හිම අරණට පිවිසියාක් බඳු සිසිලසක් සිතට ද, සදාහරිත වනාංගනාවකගේ සොඳුරු ප්‍රහර්ශයක් නෙතට ද කැඳවන්නා වූ, වන අරණක පිහිටි සොඳුරු ඉසව්වක් ලෙස, ඉංගිරිය නගරයේ සිට කිලෝ මීටර හතරක් පමණ ඔබ්බෙන් පිහිටි නාච්චිමලේ ‘මඩකඩ ආරණ්‍ය හැදින්විය හැකි ය.රත්නපුර-පානදුර පාරේ ඉංගිරිය නගරයෙන් වමට හැරී, පාදුක්ක පාර ඔස්සේ කීණගහවිල මාර්ගයේ ගමන් කිරීමෙන් මේ සදාහරිත වන අරණට පිවිසිය හැකි ය.

අවිස්සාවේල්ල-රත්නපුර පාරේ ගැටහැත්ත නගරයෙන් දකුණට හැරී, මාරඹේ ‘ගේට්ටුකඩේ‘ ඔස්සේ කිලෝ මීටර 20 ක් පමණ ගමන් කර, මඬල හන්දිය ඔස්සේ ද, ඇහැලියගොඩ - දම්මුල්ල මාර්ගය ඔස්සේ ද මෙහි ළඟාවිය හැකි ය.

මේ වන අරණට පහළින්, එයට සමාන්තරව ලැසි ගමනින් පහළට ගලා බසින සිසිල් දිය දහරක්වූ ‘නාච්චිමලේ දොළ‘ ඒ පෙදෙසට ආභරණයක් වැන්න. මේ දොළට ‘මහදොළ‘ යනුවෙන් ද වැහැරේ.මෙය නාච්චිමලේ කරා දේශිය මෙන් ම, විදේශිය සංචාරක නඩ දෛනිකව ම ආකර්ෂණය කර ගන්නා කාන්දමක් බඳු යයි සඳහන් කිරීම, අතිශයෝක්තියක් නොවේ. පළමුව මහදොළෙන් දිය නාපිරිසුදු වී, ආරණ්‍ය දැකබලා, වැඳපුදා ගැනීමට දිනපතා පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාවේ ද අඩුවක් නොමැත.

දිය නෑමෙන් පසු ආරණ්‍ය කරා යාමට ප්‍රථම, මඟ දෙපස තබාගෙන වැඩිපුරම කාන්තා පක්ෂය අලෙවි කරන උණු උණු මඤ්ඤොක්කා මුලක් මිලදී ගෙන, බැදුම් සමඟ ‘කොටාබෑමට‘ ද බොහෝ නඩ පෙලඹෙන සෙයකි.

මඩකඩ ආරණ්‍ය සේනාසනය පිහිටි දැවැන්ත රක්ෂිතය, ස්වභාවික වැහි වනාන්තරයක් වැන්න. ජෛව විවිධත්වය මෙහි ඉතා හොඳින් විද්‍යමාන වෙයි. එමෙන් ම, මෙහි මෙරටට ආවේණික ශාඛ වර්ග ද,දුර්ලභ ඔසු පැළ වර්ග ද, ඉතා අගනා විවිධ වෘක්ෂ ලතා ද දැකිය හැකි ය. රිලා, වඳුරන්, දඬු ලේනුන් , දුලබ සමනලුන් මෙන් ම, දෙස්-විදෙස් විහඟුන් ද, විසකුරු සපුන් හා දොළ පහරවල මිරිදිය මසුන් ද , ඕලු මුවන් සහ කබල්ලෑ-හෝතඹු-මුගටි ආදී සතුන් ද මෙහි නිදහසේ වෙසෙති.

මේ වන අරණේ විවිධ සමනල වර්ග 56 ක් වෙසෙන අතර, එයින් 17 ක් මෙරටට ආවේණික ය.කුරුලු වර්ග 90 ක් අතරින් 11 ක් ද, දිය-ගොඩ දෙකෙහිම වෙසෙන සත්ව වර්ග 9 කින් 3 ක් ද ශ්‍රී ලංකාවට ආවේණික වූවෝ ය.

ආරණ්‍ය කරා පිවිසෙන පඩිපෙළ සහිත මඟ දෙපස, බොදු බැතිය සහ සොබා දහම ආරක්ෂා කර ගැනීමට දිරි දෙන වැකි කපා, කොන්ක්‍රිට් කණුවල එල්ලූ ලී කදන් පෙති ද,කොන්ක්‍රිට් වැටවල්,බුදුකුටි,කුඩා පොකුණු,ආවාස ගෙවල් සහ දාන ශාලා ද නෙත ගැටේ.

මේ සියල්ල අපූරු කලා ආරකට නිමවා තිබීම විශේෂයකි. බුදු කුටියට පිවිසෙන කෙනකුට සැනෙකින් ම දැනෙන චිත්ත ඒකාග්‍රතාව, භාවනාවට සිත පොලඹවන සුළු ය.

1948 වසරේදී මේ ආරණ්‍ය සෙනසුණ පිහිටුවන ලද්දේ, රන්වල සද්ධාතිස්ස නම්වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ විසිනි.

එවකට මෙහි සියයකට අධික භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිට ඇත.මෙහි ශාඛා දෙකක් රන්වල සහ සල්ගල පිහිටුවා තිබේ. මේ චිත්තාකර්ෂණිය පුද බිම, සෑම බෞද්ධයකු විසින් ම එක් වරක් හෝ දැකබලා, වැඳපුදා ගතයුතු කදිම පින් බිමකි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »