විස්මයත් සුන්දරත්වයත් එකතැන වවු­ල්පනේ

2018-07-23 12:36:00       372
feature-top
දියදම් දිනිතිය විසින් කාලාන්තරයක් තිස්සේ ලොව පුරා කරන ලද සුවිශේෂී වූ අපූර්වතම නිමැවුම් අතර, බහුල වශයෙන් කතාබහට ලක් නොවන නමුදු, ඉතා වැදගත් නිමැයුමක් ලෙස ‘භූගත හිරිගල් ගුහා‘ හැඳින්විය හැකි ය. මේවා ලෝකයේ බොහෝ රටවල් පිහිටා ඇත. ඇතැම් ඒවා අති විශාල ය. මේවා වෙරළ ආශ්‍රිතව ද පිහිටා තිබේ. අපේ කුඩා දිවයින තුළ ද මෙබඳු වූ භූගත හිරිගල් ගුහාවක් පිහිටා ඇති අතර, එය සබරගමු පළාතට අයත්ව තිබීම විශේෂත්වයකි. මෙයට හේතුව සබරගමු පළාත ස්වාභාවික ගල් ගුහා පිළිබඳ වෙසෙස් ප්‍රසිද්ධියක් උසුලන බැවිනි.

හිරිගල් ගුහා යනු වසර මිලියන ගණනාවකට ඉහතදී, එක්කෝ ජනාවාස හෝ සොහොන් බිම් හෝ යම් යම් ආගම්වලට අයත්ව තිබූ ස්ථාන බව අදාළ පිරික්සුම්වලදී හඳුනාගෙන ඇත.මේවා මේ ආකාරයෙන් පිහිටීමට හේතුවී ඇත්තේ, කාලගුණික විපර්යාස නිසා බවට ද නිගමනය වී ඇත. මේ ගුහාවලින් සමහර ඒවා දැන් ප්‍රදර්ශන කුටි බවට ද පත් වෙමින් තිබේ. ඇතැම් හිරිගල් ගුහා තුළ කෘත්‍රීම ආලෝක විධි , උමං ඉනිමං, වේදිකා ඇතුළු වෙනත් නැරැඹුම් ආධාරක සවි කර තිබේ.

වාතයේ තිබෙන ‘කාබන්ඩයොක්සයිඩ්‘ කොටස් වැසි ජලය මඟින් උකහාගෙන, ‘ කාබනික් ඇසිඩ්‘ නම් වූ ඉතා දුබල රසායනික ද්‍රාවණයක් නිපදවා ගන්නා අතර, හුණුගල් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ඒවා කාලාන්තරයක් තිස්සේ ටික ටික දියවී, ගුහා බවට පත්වන බව පැවසේ.ඇතැම් සුවිශාල හිරිගල් පර්වතයක් අඩි 30 ක් දිග, අඩි 13 ක් පළල, අඩි 55 ක් උස වන අතර, බරින් ටොන් ගණනක් බව ද කියැවේ.

ලෝකයේ ඉතා ප්‍රසිද්ධ භූගත හිරිගල් ගුහා අතර අමෙරිකාවේ ‘මවුන්ඩ්‘ ගුහාව, ලෙබනනයේ ‘ජෙයිටෝ ග්‍රොටෝ‘ ගුහාව, ජපානයේ‘හීඩා“ ගුහාව, ඔස්ට්‍රේලියාවේ ‘ජෙනෝලන්‘ ගුහාව ,ස්පාඤ්ඤයේ ‘හිරිගල් ගුහාව සහ භූගත දිය ඇල්ල‘ ,නිව් මැක්සිකෝවේ ‘කාල්ස්බැඩ් ‘ ගුහාව, මැක්සිකෝවේ ‘ ලේක් පූල්‘ ගුහාව කොසෝවෝ හි ‘මාබල්‘ ගුහාව සහ ප්‍රංශයේ ‘ ගොල්ප්‍රි බර්ගර් ‘ ගුහාවප්‍රධාන තැනක් ගනී. ඇතැම් හිරිගල් ගුහාවක වයස වසර මිලියන 80 ක් තරම් වේ.

අපේ මවුබිම ද ලෝ දන මන පිනවන අන්දමේ චමත්කාරය දනවන අපූරු භූගත හිරිගල් ගුහාවකට හිමිකම් කියයි. එය සබරගමු පළාතඋරුම කරගත් තවත් දෙස් විදෙස් ජන ආකර්ෂණයකි.රත්නපුර දිස්ත්‍රික්කයේ-කොලොන්න ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ , කඹුරුගමුව ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි මේ ඉපැරැණි ගුහාව, රමණීය පරිසරයකට නෑකම් කියයි. පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මහා මාර්ගයේ, පල්ලෙබැද්ද - බුළුතොට මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ වාහනයකින් ගමන් කර, එතැන් සිට තවත් කිලෝ මීටරයක පමණ දුරක් තරමක් දුෂ්කර පා ගමනකින් ගමන් කිරීමෙන් පසු මේ ගුහාව වෙත ළඟාවිය හැකි ය. මෙය පිහිටියේ වලපනේ ගම්මානයේ ය.

“වවුල්පනේ භූගත හිරිගල් ගුහාව“ යනුවෙන් පසිඳු මේ ලෙනට එම නම ලැබී ඇත්තේ, ඈත අතීතයේ සිට ම මෙය කිරි වවුල් පාරාදීසයක්ව පවතින නිසාවෙනි. ප්‍රධාන උමං දොර තුළින් ලෙන තුළට පිවිසෙන විට, මුලින් ම දැනෙනුයේ ඉසිලිය නොහැකි ‘වවුල් ගඳකි‘. දස ලක්ෂ සංඛ්‍යාත කිරි වවුලන්ගේ ප්‍රධානතම නිවහන වන ලෙන, නිරතුරුවම අන්ධකාරයෙහි නිමග්නව පවතී. උන්ගේ නොකන්කළු හඬ එක ම කන්කරච්චලයක් වැන්න.මෙහි දිග මීටර් 52 ක් පමණ වේ. මේ ලෙන වඩා හොඳින් බලාකියා ගැනීමට, විදුලි පන්දමක් ඇවැසි ය. එමෙන් ම, නිතිපතා පොද වැස්සක් මෙන් පතිත වන වවුල් බෙටිවලින් බේරීම සඳහා, කුඩයක් වැනි කිසියම් ආවරණයක් ද අවශ්‍ය වේ. එපමණක් ද නොව, වවුල් පැටවුන්ගේ මසට වහවැටී සිටින යම් යම් විසකුරු සර්පයන් ද මෙහි ගැවසෙන බව කල්පනාවට ගත යුතුව ඇත.

ගුහාව තුළ වයිවාරන්න හැඩතල ගත් හුණුගලින් සුසැදි රූප ඇත. ඒවා වෙත කිසියම් ආලෝකයක් එල්ල කළවිට, ඒ එළිය ආපසු පරාවර්තනය වීමේදී මැවෙන රූ රාටා චමත්කාර ජනකය. ගුහාව තුළට පිටතින් ඇල්ලක් ගලා බසී.මෙය ‘වවුල්පනේ ඇල්ල‘ යන නමින් ද පසිඳු ය. ඇල්ල නිසා ගුහාව තුළ කුඩා විලක් ද නිර්මාණයවී තිබේ.එතැන සිට ඉදිරිය දෙස බැලූ විට, ගුහාවේ අනෙක් පැත්තේ මුව දොර දිස්වේ.මෙහි දවසින් දවස ලියලා වැඩෙන හිරිගල් වළක් ද ඇත.

1960 වසරේදී ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ කණ්ඩායම් දෙකක් මඟින් සාමූහිකව කරන ලද පිරික්සුමකදී, මෙය වසර බිලියන 500 ක් තරම් ඉපැරැණි බව සොයාගෙන ඇත. හිරිගල් ගුහා තුළ දක්නට ඇත්තේ අමුතුම චමත්කාරයකි. ගල් සීලිමෙන් පහළට එල්ලෙන තියුණු තුඩ සහිත වීදුරු බඳු උල් කුට්ටි,පොළොවෙන් මතු වූ යෝධ ගස් කඳන් බඳු කැටයම් සහිත හිරිගල් කුට්ටි, ගුහාව තුළ ගුහා, මල් හැඩතල, සත්ව, කුරුළු, මත්ස්‍ය ආදී හැඩතල සහිත වර්ණ ගල් ගෙඩි, යනාදී විවිධ හැඟුම් දනවන සුළු ය. මෙවැනි ස්ථාන විද්‍යාව මෙන් ම, කලාව හදාරන්නවුන්ට ද තම දැනුම පෝෂණය කර ගැනීමට අපූරු තෝතැන්නක් වැන්න.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »