අභියෝග මැදින් සොබාදමේ රස පහස විදගත හැකි නමුනුකුල

2018-07-26 11:46:00       383
feature-top
අභියෝග ජය ගැනීමට කැමති තරුණ පිරිස් කඳු නැඟීම කෙරෙහි විශේෂ ඇල්මක් දක්වනවා. එවැන්වුන් සඳහා ඉතා සුදුසු සොබාදහමේ පාරාදීසයක් හදුන්වාදීමටයි අද අපගේ සූදානම.

ශ්‍රී ලංකාවේ කඳුවැටි අතරින් දොළොස්වෙනි තැනට ගැනෙන නමුනුකුල කදු වැටිය මුදුන් නවයක් ඇති නිසා ඒ නම ලබා ඇති බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. ශ්‍රි ලංකාවේ ඌව පලාතට හා බදුල්ල දිස්ත්‍රිකයට අයත් මෙම කදුවැටියේ එක් අන්තයත් මොනරාගල දිස්ත්‍රික්කයටත් සම්බන්ධ වෙනවා.

ශ්‍රී ලංකාවේ කදුවැටි අතරින් සොබාදමේ අපුර්වත්වය සිත් සේ විදගත හැකි නමුනුකුල පරිසර ලෝලීන්ගේත් සොබාදම පිළිබඳ අධ්‍යයනය කරන්නවුන්ගේ නොමඳ අවධානයට ලක්වන ඉසව්වක්. එනිසාම මේ සාර්ථක ගීත රචනා සඳහාද කදිම පසුබිමක් නිර්මාණය කළ සොබාදමේ රජ දහනක් සේ නමුනුකුල සැලකිය හැකියි.

තුමුළ නමුනුකුල ගිරි හිස සහ මිහිදුම් සළු තිර පැළදී නමුනුකුල ආදී අතිශය රසවත් ගීත ප්‍රබන්ධයට මුල් වූ මෙම සුන්දර කඳුකර ප්‍රදේශය ශිත සහ සම ශිත උෂ්ණගුණයෙන් යුත් පාරිසරික පද්ධතියක් සේ සැලකිය හැකියි.

බදුල්ල පස්සර මාර්ගය ඔස්සේ මෙම කඳු ප්‍රදේශයට පහසුවෙන් පිවිසිය හැකි අතර ඇල්ල ප්‍රදේශයෙන් මීට ඇතුල්වීමෙන් සොබාදමේ චමත්කාරය වඩාත් හොදින් අත්විද ගත හැකි බවයි කිව යුත්තේ. කඳුවැටියේ පහළ කොටස වතු ජනාවාස සඳහා වෙන්කර ඇති අතර කඳුවැටියේ ඉහළ කොටස ස්වභාවික වන රක්ෂිතයක් ලෙස ආරක්ෂා කරනවා.

ඇතැම් කාල වලදී දැඩි ශීත කාලගුණයකින් යුතු මෙය වරෙක ඝණ මිහිදුමකින් සහ තවත් වරක තද සුළං වලින් පිරී ගත් ඉසව්වක්. දෙවනගල දිය ඇල්ල සහ නිශ්චිත උසක් කිව නොහැකි යැයි බොහෝ දෙනෙකු පවසන නලිනි ඇල්ල නම් අප්‍රකට දිය ඇල්ලක් මෙම ප්‍රදේශයේ දැක ගත හැකියි.  ඊට අමතරව කඳුකර තෙත් කලාපීය වටිනා ශාක බහුලත්වයෙන් යුතු මෙය ශ්‍රි ලංකාවට අවේණික සත්ව විශේෂ ඇතුළු ජෛවමය සම්පත් වලින් පොහොසත් ඉසව්වකි.

නමුනුකුල කදුමුදුනට හාත්පස පරිසරයේ වර්ග කිලෝමීටර් සිය ගණනක් දැකගත හැකි අතර පහළ ඌව ප්‍රදේශයේ නිම්න තලාවත් හොදින් දැක ගත හැකි වනවා.

නමුත් දැඩි මිදුමක් පවතින අවස්ථාවලදී හාත්පස දර්ශනය පවා තමන් ළඟ සමීපයේ සිටින අයෙකු පවා දැක ගත නොහැකි බවයි කිව යුත්තේ. මෙම චාරිකාව සඳහා යාමේදී තමන්ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ සෑහිමකට පසුවිය හැකි මට්ටමක ඔබ පසුවිය යුතු අතර ගමන සඳහා ජලය සහ කෙටි කෑම වර්ග රැගෙන යාම අනිවාර්යයෙන් කළ යුතුයි.

ඇතැම් විට කූඩාරම් පහසුකම් සපයා ගත හැකි නම් කන්ද මුදුනේ කදවුරු රාත්‍රියක් ගත කිරිමේ හැකියාවක් ඔබ සතුව ඇති අතර එහිදී එය වන සංරක්ෂණ දෙපාර්තමේනතුව මගින් පාලනය වන රක්ෂිතයක් බව දැන කටයුතු කිරීම වැදගත්.

එමෙන්ම මෙම කඳුමුදුනට ගමන් කිරීමේ දී අවදානම් සහිත ස්ථාන කිහිපයක් පසු කර ගමන් කළ යුතු අතර පසුගිය කාලයේ එහිදී අනතුරට පත් සරසවි සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා  රෝහල් ගත කළ පුවතද අප අමතක කළයුතු නැහැ.

කෙසේ හෝ තමන්ගේ ආරක්ෂාව සහ එම සොදුරු ස්වභාවික පරිසරයේ සුරක්ෂිතාව පිළිබඳ ඇල්මකින්, උනන්දුවකින් සහ කැපවීමකින් නමුනුකුල තරණය කරන ඔබට සොබාදහමේ සොදුරු බව මනාව ආශ්වාදනය කර නිරුපද්‍රිතව ඒ චාරිකාව නිමා කිරීමට හැකි වනු ඇති.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »