කවුරුත් දන්නැති වැඩිපුර එන්නැති දියළුම මුදුනේ පූනාගල ඔය

2018-10-01 03:33:00       537
feature-top
පසුගිය සති අන්තය ගෙවී ගියේ සුන්දර දියළුම ඇල්ල මුදුනේ. රාත්‍රී කඳවුරු අත්දැකීමකුත් එක්ක. තනියම නෙමේ විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ක.

කවුරුත් දියළුම දිය ඇල්ල ගැන අසා ඇති, දැක ඇති. එහෙත් මිටර් 171ක් උස ඇල්ල මුදුනේ සිට සුන්දරත්වය නරඹා ඇති පිරිස නම් බොහොම අඩු ය.

බෙරගල - වැල්ලවාය මාර්ගයේ බෙරගල හන්දියේ සිට කි.මී. 24ක් ගමන් කළ විට දියළුම ඇල්ල අපට දැක ගත හැකිය. මාර්ගය වැටී ඇත්තේ දිය ඇල්ල ආසන්නයෙන්ම ය. ජල කඳ පෝෂිතව ඇති දිනවලට ඇල්ලෙන් ඇදහැලෙන පින්නෙන් මේ මහමග වැසී යයි.

වැල්ලවාය සිට පැමිණෙන්නේ නම් බෙරගල දෙසට කී. මී. 12 ක් පැමිණෙන විට දියළුම කොමළිය හමුවෙයි.

අප රටේ දිය ඇලි අතර උසින් තුන්වැනි ස්ථානය හිමිකරගන්නා දියළුම ඇල්ල හට ගන්නේ පූනාගල ඔයෙනි. පූනාගල ඔය යනු කිරිඳි ඔයේ ශාඛාවකි. බෙරගල කොස්ලන්ද නිම්නය හරහා ගලා එන පූනා ඔය එක්වරම මිටර් 171ක් පහළට කඩා හැලෙන්නේ සුන්දර දියළුම ඇල්ල නිර්මාණය කරමිනි.

මෙදා අපි දියළුම පාමුලට යන විට දැක ගන්නට ලැබුණේ අඩු ජල කඳකින් යුතු දියළුම කොමළියයි. දැඩි පැවුම දියළුමටද දැනී ඇති සේය. ජල කඳ අඩු වුවද මනාලියක් සිය වේල් පට මුදා හරින්නාක් මෙන් පහළට සුදෝ සුදු පෙන පිඩු නංවමින් ඇදහැළෙන අයුරුනම් අයස්කාන්තම ය.

එහෙත් අපේ අරමුණ පහළ සිට ඇල්ලේ සුන්දරත්වය විඳිම නොව වෙනකකි. දිය ඇල්ල මුදුනේ සිට ජල පහර ගලාගෙන විත් ප්‍රපාතය අබියස ඇති ගල් දෙබුක්කාවෙන් පහළට පනින අයුරු නැරඹීමය. ඒ අපූර්ව වූ අත්දැකීම අපි ලබාගතිමූ.

දැන් අපේ සූදානම ඇල්ල මුදුනට යාමයි. එයට මාර්ග දෙකකි. මාර්ග දෙකම දුෂ්කරය. එක මාවතක් ඇත්තේ බොරලන්දේ සිට ය. කොස්ලන්ද - පූනාගල මාර්ගයේ මකල්දෙණිය හංදිය අසලින් දියළුම ඇල්ලේ මුදුනට යන එක් මාවතක් වැටී ඇත. මකල්දෙණිය හන්දිය තෙක් වාහනයකින් පැමිණිය හැකිය.

අනෙක් මාවත වැටී ඇත්තේ දියළුම ඇල්ල පසුකොට වැල්ලවාය දෙසට කිලෝමිටර් 2ක් පමණ පැමිණෙන විට හමුවන දියළුම වතු යාය මැදිනි. මේ මාරගයේ ද වතු යායේ කර්මාන්ත ශාලාව තෙක් වාහනයකින් පැමිණිය හැකිය. අප තෝරාගත්තේ මේ මාර්ගයයි.

මේ ස්ථානයට අප ළඟාවන විට පස්වරු 3ට ආසන්න වී තිබිණි. විසි දෙනකුගෙන් යුතු කණ්ඩායමකට රාත්‍රී නවාතැන් ගන්නට අවැසි කූඩාරම් හා කඳවුරු ආම්පන්න මෙන්ම රාත්‍රී ආහාරය හා උදේ ආහාරයට අවැසි කළමනා ද ඉවුම්පිහුම් උපකරනද අප සතු විය. එයිට අමතරව ඇල්ල උඩ භූමිය ගැන හොදින් දන්නා ඉවුම් පිහුම් කටයුතුවලට ද මනා පරිචයක් ඇති දියළුම වතු යායේ සේවය කරන පළපුරුදු තිදෙනකුගේ ද සේවය ලබාගන්නට අපේ ගමන් සගයන් කටයුතු යොදා තිබිණි. එය අපට මහත් අස්වැසිල්ලක් ම විය. සියලු දෙන අතර සමසේ බර බෙදාහදාගත් අපි කඳු නැග්මට සුදුසු ආකාරයේ පිටේ එල්ලාගන යන ගමන් මලු තුළ ඒවා එකලස් කරගතිමූ.

පෙර සූදානම නිසා මේ කටයුතු ක්ෂණිකව කරගන්නට අපේ කණ්ඩායමට අපහසුවක් නොවීය.

ඉෂානි කියන්නේ තමන්ගේ ජීවිතෙන් වැඩිම කාලයක් යුරෝපයේ හැදුණු වැඩුණු සිංහල කෙල්ලක්. සොබා දහමට පරිසරයට ඇය හරිම ආදරෙයි ළෙන්ගතුයි. එත් ඇය උපතින්ම හුඟක් තරබාරුයි. කොටින්ම කිව්වොත් මිටර් සියක්වත් ඇය පයින් යන්නේ ම නැති තරම්. ඒත් අපේ පරිසර චාරිකා කණ්ඩායමට ඇය එක් වූ දවසේ පටන් ඇය අපේ හැම චාරිකාවකටම එක්වන්නේ හරිම උනන්දුවකින්. මෙවර චාරිකාව සූදානම්කරන කොට ම අපේ කණ්ඩායම ඇමතුව ඇය කියා සිටියේ...

“මචෝ උඹලා එක්ක මට ඔය කන්ද නඟින්න පුළුවන් වෙයිද බං....“

“උඹට පුළුවන්.. හිත හයිය කරගෙන යමං.. මම එක්ක යනවා.. “

එහෙම කිව්වේ අපේ කණ්ඩායමේ මූලිකයා වූ අභියා.

“හරි එහෙනම් මම එනවා....“ ඉෂානි මහත් අධිෂ්ඨානයකින් යුතුව පැවසීය.

ඒත් අපට තිබ්බෙ විචිකිච්ඡාවක්. එනිසාම ඇය ගමන් බරින් නිදහස් කොට ඇගේ බර ද අනිත් සාමාජික සාමාජිකාවන් අතර කල් තියාම අපි බෙදා ගතිමු. අපේ අනුමානය නිවැරදිය. මීටර් සීයයක් විතර නඟිද්දි ඇය කියූ කථාවක් අප සිත් තුළ තාමත් රැව් පිළිරැව් දෙයි.

“මම මේක කොහොමහරි නගිනවා“ ඒ වචනෙන් ඇය දුන්නේ අපට මානසික ශක්තියක්.. මීටර් විසි පහෙන් පහට නැවති නැවති ඇය මහන්සියෙන් ගිය ගමන අපටද තාම පුදුමයකි. ඇගේ සෙමින් ගමන අන්‍යයන්ගේ ගමනට බාධාවක් නොවන්නටත් අපි තිදෙනෙක් ඇය සමග රැදෙමින් අන් පිරිස ගම්වැස්සන් හා පළපුරුදු අපේ ගමන් සගයෙකු සමග උඩ දියළුමට පිටත් කරන්නට අපි තීරණය කෙරුවෙමු.

අපේ අන් සගයන් පැය දෙක හමාරකින් නිමා කළ කඳු තරණය ඉෂානී නිමා කෙරුවේ පැය පහකට ආසන්න කාලයක දී ය. කාලය කෙතෙක් ගියද එය අපට මහත්ම සතුටක් ගෙන දෙන්නේ විය. කලින් ගිය සගයන් කූඩාරම් අටවා අවැසි කටයුතු කර තිබිණි. දැන් කාටත් සතුටුය.

ඒ වගේම අපූරු චිත්ත ශක්තියකින් යුතු ගමනේ අවසන් ප්‍රතිඵලය, ඇය දියළුම මුදුනේ අපූරු රාත්‍රියක් ගත කර වෙනස් අත් දැකීමක් තම ජීවිතයට එකතු කර ගැනීමයි.

දියළුම වතු යායෙ වතු නිවාස මැදින් වැටී ඇති පටු මාවත ඔස්සේ අපි ඉදිරියට ඇදුණෙමු. එන්න එන්නම කන්ද තිව්ර වන්නට විය. වතු සීමාව පසුවනවාත් එක්කම අප පිළිපන්නේ මහ වන පෙත මැදටය.

අපේ නඩයේ කෙළිකවටකම් හැරෙන්නට ඇසෙන්නේ මහා ගුප්ත හඩ ය. ගස් සිසාරා හමායන සුළං අපේ සවනත බියකරු හඩ මවා පායි. එහෙත් ඒ ගුප්තබව තුළ වූ චමත් කාරය මනරම්ය. සිත නිවන සුලුය. පැයක් එක හමාරක් මේ දුෂ්කර මගේ ගමන් කරන අපට ඇතින් හෝ ගා නැඟෙන ජල කඳ වැටෙන හඬ හතර අතින්ම ඇහෙන්ට විය.

නැඟීමට ඇත්තේ උපරිම නැග්මකි. මාවත පටුය. බෝල හැඩැති තිරිවාණා මිශ්‍ර ගල් පිරි මාවතේ ඉහළට ඇවිද යාම හරිම අපහසුය. පොඩ්ඩක් ලෙස්සුවහොත් නවතින්නේ ප්‍රපාතයේ ය. සීරු මාරුවට පිට මත එල්ලෙන බර දරන් යන මේ ගමන අභියෝගයකි. ඉහළට තබන පියවරක් පාසා තම හිතට දැනෙන්නේ අභියෝග ජයගත්තා යන අභිමානවත් සිතුවිල්ලකි.

කඳු තරණය අවසන හාත්පස පෙනෙන මනරම් භූමි දසුනකි. අංශක එකසිය අසුවක රේඛාවක විහිදෙන මේ තැනි තලා භුමියේ ඇත කෙළවර දැවැන්ත නැනිතලා ගල් තලාවකි. අපේ රාත්‍රී කඳවුර ඉදිකරන්නට තෝරාගන තිබ්බෙ මේ තැනිතලා ගල් තලාවයි.

ගල් තලාව අයිනෙන් ගලායන පිරිසුදු දිය දහරකි. වන පෙත සිසාරා එන මේ සිතල දිය දහර අබියස අපි කූඩාරම් අටවා ගතිමු. එහි එක් කෙළවරක ස්වාභාවික ජල තටාගයකි. අඩි 12ක් තරම් උස දිය ඇල්ලකි. තඩාගයේ උපරිම ගැඹුර කරවටක් තරම්ය. පතුළ පෙනෙන නිල් කැටයක් වැනි ජලයෙන් පිරුණු කුඩා තනි තනි පොකුණුය. මේ සියල්ලම අපේ හිත සුව පිණිසම විය. අපි සිත් සේ නෑවෙමු ජල ක්‍රීඩා කෙරුවෙමු. දැනට අප මේ සිටින්නේ උඩ දියළුම කොටසේ එක් අන්තයක ය. දියළුම නිර්මාණය වන්නේ අප සිටින තැන සිට තවත් මිටර් 500ක් පමණ පහළිනි. ඒ අතර මැද උඩ දියළුම ඇල්ල පිහිටා ඇත. මේ සුන්දර තැන් නැරඹීම පසුදින උදේ වරුවට තබා ගත් අපි. හැන්දැ අඳුරත් රැහැයි හඬත් සමග ගිනිමැළය වටා එක් වුණෙමු. පසෙකින් බාබකියු පිළිස්සෙයි. සියුම් කටගැස්මක මිහිර සමග ස්‍යෙම්‍ය ගිත ගයමින් හද එලියේ විනෝදයෙන් කාලය ගෙවා දැම්මෙමු. ඒ අතර අපේ රාත්‍රී අහර වෙනුවෙන් රසවත් රොටි හා කට්ට සම්බල පිළියෙල වෙමින් තිබිණි.

අප කඳවුරු භූමිය සේ තෝරාගත් ගල් තලාවට මදක් පහළට වන්නට උඩ දියළුම ඇල්ල පිහිටා ඇත. එතැනට යන ගමනත් තරමක් අසීරුය. ප්‍රපාතයක් අද්දරින් වැටී ඇති පටු මාර්ගයේ සීරු මාරුවට ගමන් කිරීමෙන් උඩ දියළුම ඇල්ල වෙතට යා හැකිය. අඩි 80ක් තරම් උස අයස්කාන්ත දිය ඇල්ලකි උඩ දියළුම ඇල්ල. එය දැකගන්නට නම් ඇල්ල ආසන්නයටම පැමිණිය යුතු වෙයි. ඇල්ල පාමුළ මනරම් ස්වාභාවික ජල තඩාගයකි. නොගැඹුරුය. එහෙත් වතුර වැඩි කාලයට මේ ස්ථානය අනතුරු සහිත බව සිහි තබාගත යුතු ය. තරමක ආනතියක් සහිත ගල් තලාව ඔස්සේ අපි හිමිහිට උඩ දියළුම ඇල්ල මුදුනටද ගොඩවුයෙමු. මෙය ඉතා ආරක්ෂාකාරීවත් පරිස්සම් සහගතවත් කළ යුතු කටයුත්තකි.

උඩ දියළුමෙන් ඇදහැලෙන ජල කඳ මීටර් සියයක පමණ දුරක් නිසොල්මනේ ගලා ගොස් මෙතෙක් පූනාගල ඔය ලෙස පැමිණි ජල කඳ එක හැල්මේ මිටර්171ක් පහළට පනින්නේ දියළුම ලෙසින් නාම කරණය වෙමිණි.

මේ ජල කඳ වැටෙන දෙබුක්කාව අසලට පැමිණෙන අපට හාත්පස පෙනෙයි. පත්තෑයකු මෙන් පහළින් වැල්ලවාය මාර්ගය දිස්වේ. කුහුඹුවන් මෙන් පහළ සිටින ජනයා පෙනෙයි. ලංකාවේ පිහිටි තවත් අපූරුතම සොබාදහමේ විස්කමක් මෙසේ නැරඹූ අපි ඉර මුදුන් වෙන්නට පෙර යළිත් පහළට පැමිණියෙමු.

අමතක නොකරන්න ගෙන ගිය සැම දේම ආපසු රැගෙන එන්න. පරිසරය සුරකින්න.

විශේෂ ස්තුතිය ට්‍රැවල් විත් දිලිනි හි, දිලිනි පබසරණිට හා අභිත එදිරිසිංහට. 


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »