හෙට දින ලොවට අහිමි වන 'රත්මිල්ල' අතරින් මාදු ගඟේ සවාරියක්

2018-11-07 02:30:00       118
feature-top
සොබාදහමේ අසිරිය විඳ ගැනීමට කැමති පරිසර ලෝලීන්ගේ විශේෂ අවධානයක් හිමි කර ගන්නා ස්ථාන ලෙස තෙත් බිම් හඳුන්වන්නට පුළුවන්. අප රට තුළ දැනට තෙත් බිම් වශයෙන් හඳුනාගත් ප්‍රදේශ 36,900ක් පමණ තිබෙනවා. ඒ අතරින් ප්‍රධානතම තෙත් බිම් තුන වනුයේ ආන්විලුන්දාව, බූන්දල සහ මාදු ගඟ අවට තෙත් බිමයි. ඊට හේතුව 1971 පෙබරවාරි 02 දා ඉරානයේ පැවැති අන්තර්ජාතික තෙත් බිම් සම්මුතිය යටතේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තෙත් බිම් වශයෙන් මෙම තෙත් බිම් තුන ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් කොට තිබිමයි.
අද අපගේ මේ සූදානම ඒ අතුරින් වැඩිපුරම සංචාරක ආකර්ශනය දිනාගත් මාදු ගඟේ තෙත්බිම් කලාපය ඔබට හඳුන්වා දීමටයි.


ශ්‍රී ලංකාවේ දකුණු පළාතට සහ බලපිටිය, කරන්දෙණිය යන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසවලට අයත් මාදුගඟ බොහෝ දෙනකුට පහසුවෙන් ළඟා විය හැකි ඉසව්වක පිහිටා තිබිම විශේෂත්වයක්. ඒ2 දරන කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බලපිටියට නොදුරින් පිහිටි මෙම තෙත්බිම ශ්‍රී ලංකාවේ තුන්වන රැම්සා තෙත්බිම වශයෙන් නම් කොට ඇත්තේ 2004 පෙබරවාරි 25 දායි. ඊට පසු එහි ආරක්ෂාව තකා 2006 ජූලි මස 14 දා සිට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියක් ලෙස ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එමෙන්ම එහි සමුද්‍රාශ්‍රිත කොටස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද අධීක්ෂණය කෙරෙනවා.
මාදු ගඟ කියන්නේ කරන්දෙණිය ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පදනම් කොට මුහුදට ගලා බසින ගංගාවක්. බොරලැස්ස ඇල, හීන් ඇල, මාගල ඇල, ‍ලේනගල ඇල, උණගස්වල ඇල, සීනිගොඩ ඇල යන ජල මූලාශ්‍ර වලින් මාදු ගඟ ‍පෝෂණය කෙරෙනවා. මේ ඔයට මාදු ගඟ යන නම ලැබි ඇත්තේ එය 'මාදූව' නම් වන තරමක් විශාල දූපතක් මැදිකොට ගලා බසින නිසයි. මාදූවේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 39ක් හෙවත් අක්කර 96 බවයි පැවසෙන්නේ. ඊට අමතරව අතීතයේ මෙම මාදු ගඟ මැදි කරගත් දූපත් 64ක් තිබූ බව පැවසෙනවා. නමුත් අද වනවිට එහි දැකිය හැක්කේ දූපත් දහසයක ප්‍රමාණයක් බවයි පැවසෙන්නේ. ඊට හේතුව ගඟ ඔස්සේ ගලා එන රොන්මඩ තැන්පත් වීම නිසා එක ළඟ පිහිටි දූපත් එකි'නෙක යාවීම, ඉවුර අද්දර පිහිටි දූපත් ගොඩබිම හා සම්බන්ධවීම සේම පාංශු ඛාදනය නිසා කුඩා දූපත් කැඩී යාම බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.


ඒ කෙසේ හෝ මාදු ගඟ ආශ්‍රිත මුළු තෙත් බිම් ප්‍රමාණය හෙක්ටයාර් 915ක් හෙවත් අක්කර 2261 බව පැවසෙනවා. ඉන් වැඩි කොටස එනම් හෙක්ටයාර් 770ක හෙවත් අක්කර 1902ක ප්‍රමාණය ජල තලයක් ලෙසද හෙක්ටයාර් 145ක් හෙවත් අක්කර 358 දූපත් සහ ගොඩබිම් වශයෙන්ද දක්නට පුළුවන්. මෙම දූපත් අතුරින් කොත්දූව නම් දූපතේ බෞද්ධ විහාරයක් පිහිටා තිබිමද විශේෂත්වයක්. මෙහි දූපත් කිහිපයක ජනතාව ජීවත් වනු දකින්න පුලුවන්  
සාමාන්‍යයෙන් ගඟක් කී විට නිරතුරුවම ජලය ගලා බසිනා බවක් දැකිය හැකිමුත් මේ මාදු ගඟේ ජලතලය බොහෝ විට නිසසලව තිබෙනු දැකිය හැකියි. ඒ හේතුව නිසා එය කලපුවක ලක්ෂණ ද පෙන්නුම් කරන බවද පරිසර වේදීන් පවසනවා. මාදු ගඟේ මිරිදියට වඩදිය බලපෑම නිසා කරදිය ද යම් ප්‍රමාණයකින් එක්වීමෙන්  එහි ලවණතාවය වරින්වර ඉහළ පහළ යනු දක්නට පුළුවන්. එනිසාම එම තෙත්බිම තුළින් මිරිදිය සේම කිවුල් දිය වෙසෙන මත්ස්‍ය විශේෂ පනහක් පමණ වාර්තා වන බවයි පැවසෙන්නේ.


ඊට අමතරව ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි ක්ෂීරපායී සහ උරග විශේෂ විසි අටක්, උභය ජීවී විශේෂ දහතුනක් පක්ෂී
විශේෂ සියයක් ආදී වශයෙන් ඉතා අගනා වනජීවී සම්පතක්ද මෙම තෙත් බිම සතුව පැවැතීම විශේෂත්වයක්. මේ අතරින් දැනට ලෝකයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති රත්මිල්ල (Lumnitzera littoria) ශාකය ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇත්තේ මෙම තෙත් බිම් පද්ධතිය තුළින් පමණක් වීම අදත් බොහෝ දෙනකු නොදත් රහසක්. එමෙන්ම මෙම ශාකය ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක බෝකිරීමට නොහැකි බවද ප්‍රදේශයේ ගැමියන් අප හා කියා සිටියා. මල් පිපෙන කාලයට මුළු ගසම දීප්තිමත් රතු පැහැයෙන් බැබලවූ මෙම රත්්මිල්ල ශාකය අද මෙම පාරිසරික කලාපයෙන් ශීඝ්‍රයෙන් වඳවන බව ඔවුන් කියා සිටියේ පසුගිය කාලයේ විසිතුරු ශාක වගා කරුවන් ඉවක් බවක් නොමැතිව මේවා එම පරිසර පද්ධතියෙන් ඉවත් කර ගැනීම ද ඊට හේතුවක් බව දක්වමින්. ඒ කෙසේ හෝ ඉහත සඳහන් ශාක වලට කිනම් හෝ බලපෑමක් කිරීම වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ සිර දඬුවම් සහ දඩ මුදල් හිමි කෙරෙන වරදක් බව බොහෝ දෙනෙක් තවමත් නොදන්නා බව පැහැදිලියි.  මෙම අගනා තෙත්බිම් පාරිසරික පද්ධතිය තුළ බෝට්ටු මගින් සංචාරය කිරීමේ පහසුව ලබාදෙන පුද්ගලයන් සහ ආයතන රැසක් ඒ අවට දී ඔබට හමුවේවි. නමුත් ඔබ ගෙවන මුදලට සරිලන නියමිත ප්‍රමිතියෙන් යුතු බෝට්ටු සංචාරයක් ලබා ගැනීමේ පූර්ණ වගකීම ද මෙහි දී ඔබ සතු වන බව අවසන් වශයෙන් කිව යුතුයි.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »