සාලිය අශෝකමාලා රහසේ ජීවත් වූ ප්‍රදේශයක් සොයාගෙන මව්බිම ගිය ගමන

2018-12-06 11:23:00       206
feature-top
දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සැඩොල් කුලයේ තරුණියක් වූ අශෝකමාලා සමඟ පෙමින් වෙළී සිටි නිසා සාලිය කුමරුට රජ කිරුළ පවා අහිමි වූ බව ජනප්‍රවාදයේ කියැවෙයි. එයට අමතර සාලිය කුමරුගේ තොරතුරු වංස කතාවලද සඳහන් වේ.

තරුණ කුමරු විටෙක අනුරාධපුර ඉසුරුමුණිය විහාරයේ සිල් සමාදන් වීමෙන්ද තවත් අවස්ථාවල මිහිඳු ලෙනට පැමිණ සීලය ආවර්ජනය කරමින් කල්ගත කරමින් ද සිටි බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.
මේ අන්දමින් කල්ගත කරන යොවුන් සාලිය කුමරුට තමන්ගේ ආත්මීය සහකාරිය වූ අශෝක මාලා හමුවූයේ උයන් කෙළියට යන අතර වාරේය. උයනේ ගසකට නැඟ හෝපලු මල් නෙළමින් සිටි අශෝකමාලා දැක ඇය කෙරෙහි ආලය ඇති කරගත් සාලිය කුමරු ඇයගෙන් තොරතුරු විමසා ඇත.

ඇය සාලි නම් වඩු ගමෙහි ප්‍රධානියාගේ දියණිය බවත් තවත් තැනෙක සැඩොල් කුලයේ උපන්නියක් බවත් සඳහන් වෙයි. සද්ධර්මාලංකාරය දක්වන්නේ ඇය හෙල්ලෝලි නම් ග්‍රාමයේ අධිපති චණ්ඩාලයාගේ දියණිය බවයි. ඇයගේ නම 'දේවී' වූ බවත් හෝපලු ගසක් මුලදී දුටු නිසා සාලිය කුමරු විසින් ඇයට අශෝකමාලා යැයි නම් තැබූ බව වැඩිදුරටත් සඳහන් වේ. පළමු හමුවීමෙන් පසුව කුමරුන් විසින් ස්වකීය මාලිගයට අශෝකමාලාව ගෙන යනු ලැබූ බව සීහළ වත්ථුව සහ සද්ධර්මාලංකාරයේ සඳහන් වෙයි.

සාලිය හා අශෝකමාලා අනුරාධපුරයේ සිට සැඟවී අවුත් ගල්ගමුවට නුදුරු ගල්කිරියාකන්දට අයත් නිකවැව කන්දේ සැඟවී ජීවත්වූ බවද ජනප්‍රවාදයේ එයි. තවත් සමහරු පවසන්නේ සාලිය කුමරුට යුවරජ තනතුරක් ලැබුණ නිසා ගල්කිරියාව ප්‍රදේශයට පැමිණ වාරි කර්මාන්තය ආදිය කරමින් ආශෝකමාලා සමඟ ජීවත්වූ බවයි.

සාලිය - අශෝක මාලා යුවළගේ දිවියේ අවසන් කාලය පිළිබඳව තොරතුරු ජනප්‍රවාදවලින් හමුවෙයි. ඒ අනුව අනුරාධපුර අගනුවරෙන් පිට ප්‍රදේශ කිහිපයක වාසය කළ සාලිය - අශෝක මාලා යුවළ බොහෝ පින්කම් කළ බවද කියැවේ.

ඔවුන් දෙපළ වන්නි හත්පත්තුවේ නිකවැව කන්දේ ලෙන් විහාරයක් ඉදිකර ඇත. ඒ කාල සීමාවේදී ඔවුන් එහි වාසය කළ බව කියැවෙන මන්දිරයක නටබුන් ගල්කිරියා කන්දේ කොටසක දර්ශනීය බිමක පිහිටා ඇති එම ස්ථානය අද හඳුන්වන්නේ "සාලිය ආරණ්‍ය සේනාසනය" නමිනි.

"මව්බිම" පාඨකයන් වෙනුවෙන් අප සොයාගෙන යන්නේ සාලිය - අශෝකමාලා ජීවත්වූ භූමියයි. කුරුණෑගල සිට මොරගොල්ලාගම දක්වා ඇති මාර්ගයේ ගොස් සාලියගම හන්දියෙන් ඇති ඇහැටුවැව මාර්ගයෙන්ද එසේ නොමැතිනම් කුරුණෑගල සිට ගල්ගමුවට ගොස් එතැන සිට සාලියගම දක්වා ඇති මාර්ගයෙන්ද එම ස්ථානයට යා හැකිය. අද එම ස්ථානයේ අධිපති ධුරය දරන්නේ ශ්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක විතාරණගම සුමේධ නාහිමියන් වහන්සේය.

ගල්දෙබුක්කු අතරින් වැටී ඇති මාර්ගයකින් කන්දට යනවිට ඒ දෙපස ඇත්තේ භාවනානු යෝගීිව වැඩ සිටින භික්ෂුන් වහන්සේ සඳහා ඉදිකර ඇති කුටියි.

ප්‍රථමයෙන්ම කඳු මුඳුනට නඟින කෙනකුට දැකගත හැකි වන්නේ සාලිය - අශෝකමාලා වාසය කළ ගල් ලෙනයි. එහි මුදුනේ කොටා ඇති ඉපැරැණි අක්ෂරද අද දකින්නට ඇත. මෙම ලෙන තරමක් විශාලයි. එහි තුළ ඇත්තේ සිසිල් බවක්. එම ලෙන තුළ අද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ සහ අවට ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා බුදු මැඳුරක් නිර්මාණය කර තිබේ. ගල්ලෙන් අතුරින් කඳුමුඳුනට ළං වෙද්දී අපට හමුවන්නේ අෑත මහ මාර්ගයට මුතු ඇටයක් මෙන් පෙනෙන්නට තිබුණු චෛත්‍යයයි. චෛත්‍යය ආසන්නයේ බෝධීන් වහන්සේ රෝපණය කර ඇති ආකාරය දක්නට ඇත. චෛත්‍යයට පහළින් දැක ගත හැක්කේ විශාල ගල්තලාවේ පහළ සිට කොටා ඇති ඉපැරැණි ගල් පඩි පෙළකි. එයට පහළින් ශ්‍රී ලංකාවේ සිතියමේ හැඩයට ස්වභාවිකව පිහිටා ඇති පොකුණයි. මේ පොකුණ සාලිය - අශෝකමාලා ස්නානය කළ පොකුණ වශයෙන් ප්‍රදේශවාසීන් පිළිගෙන තිබේ. පොකුණට බැසීම සඳහා ගල් තලාවේම සකස් කොට ඇති ගල් පඩි කිහිපයක් ඇත. එය සාලිය කුමාරු ඉදිකර ඇති බවට විශ්වාසයක් පවතී. අද එම පොකුණේ ජලය පිරී පවතින නිසා ගල්පඩි දැක බලා ගැනීමට අපට අවස්ථාවක් නැත. අද ආරණ්‍යවාසී සංඝයා වහන්සේ පැන් පහසුව සඳහා මේ පොකුණ භාවිතයට ගනිති.

එයට නුදුරින් ඇත්තේ සාලිය - අශෝකමාලා උයනයි. මෙය "අරලිය උයන" ලෙසද හඳුන්වයි. එහි දිය නොසිඳෙන පොකුණක්ද දක්නට ඇත. එය අරලිය පොකුණ වශයෙන් හඳුන්වයි. එහි ඇති අරලිය ගස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලයි. අද වනවිට එම ගස්වලින් වැඩි ප්‍රමාණය කඩා වැටී දිරාපත්වී ඇත. සාලිය ආරණ්‍ය සේනාසනයේ විශේෂිත ස්ථානයක් වන්නේ ඉර හඳ නොපෙනෙන පොකුණයි. විශාල ගල්ලෙනක් තුළ ඇති මෙම පොකුණේ ජලය ප්‍රයෝජනට නොගන්නා නිසා අපිරිසුදු තත්ත්වයට පත්ව ඇත. මෙයට පෙර සේනාසනයේ අවශ්‍යතාවන් සඳහා ජලය ගෙන ඇත්තේ මේ පොකුණෙනි. ඉරහඳ නොපෙනෙන පොකුණට යන මාර්ගයේ දෙපස පැරැණි ගොඩනැඟිලිවල නටබුන් දක්නට ඇත. මෙම ආරණ්‍ය සේනාසනය පුරාම නා, මොර, වීර, පලු වැනි වටිනා ගස් දකින්නට ඇති අතර මෙම කඳුමුදුනේ අනුරාධපුරය දක්වාම වැටී ඇති උමඟක් ඇති බව ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ පවසති. එය අද වනවිට වල් වැහී තිබේ.

කඳු මුදුනට ගිය පසු දකින්නට ඇති දර්ශනය ඉතාමත් චමත්කාරය. අෑතින් නිකවැව කන්ද, කහලු කන්ද, යාපහුව කන්ද, ‍ෙදාලුකන්ද ඇතුළු කඳුයායවල් දර්ශනය වෙයි.
එදා සාලිය - අශෝකමාලාවට සෙවණ දුන් වන අරණ අද බවුන් වඩන භික්ෂුන් වහන්සේලා වැඩ සිටින පින් බිමකි.

පුදබිමේ අයිතිය තවම ලැබිලා නැති බව ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ වගකිවයුතු අයට පෙන්වා දෙති. දුටුගැමුණු රජුගේ යුද සේනාවේ සිටි ඵුස්සදේව සෙනෙවියා මෙම ස්ථානයේ පැවිදිව රහත්බවට පත්වුණ පුවත්ද ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. දුටුගැමුණු රජුන් පූජා කළ ඉඩම් පිළිබඳව සන්නස් ඇත. ඒ සන්නස අද සොයාගැනීමට අපහසුවී තිබෙන බව සාලිය ආරණ්‍ය සේනාසනාධිපති විතාරණගම සුමේධ ස්වාමීන් වහන්සේ පැවැසූහ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම භුමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතියි කියලා සම්පූර්ණයෙන්ම මායිම් ගල් දමා තිබේ. ඉඩම් පූජා කළ සන්නස සොයා ගැනීමට උදවු කරන ලෙස සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටියහ. මෙම පින්බිම බැතිමතුන්ගේ සිත් සතන් පහන් කරන පුදබිමකි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »