50 Views  
නමට පමණක්‌ වනෝද්‍යානයක්‌ ඒත් තාම කාට කාටත් පාරාදීසයක්‌


ලංකාවේ වැඩිම ඇත් ගහණයක්‌ සිටින කලාවැව
ජාතික වනෝද්‍යානයේ වත්මන් කතාව

පමාවී වැටුණු මහ වැසි වලින් කාලාන්තරයක්‌ තිස්‌සේ ඉඩෝරයට හසුවී වියළී පීඩාවට පත් රජරට වනාන්තර නව පණක්‌ ලද්දා සේය. ගහකොළ සාඩම්බරයෙන් ඉල්පී හුස්‌ම ගන්නට පටන්ගෙන ඇත. එපමණක්‌ද... වනයේ ගහකොළ සේම සතා සීපාවාද ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටිති. වැසි වතුරෙන් සංතෘප්ත වූ රජරට මහ පොළව සතුටින් ඉපිලෙමින් නව ජීවනයකට උදව් වෙන්නට බලා සිටින අයුරු පෙනෙයි.

මේ ප්‍රීතියෙන් පරිසරයම උදම් වී නැවුම් බවකින් බබළන දිනයක හවස්‌ යාමයේ අපේ කණ්‌ඩායම ඩිෆෙන්ඩර් රථයකට නැගී, රජරට වාපි සංස්‌කෘතියේ මහානර්ඝ නිමැවුමක්‌ වූ "කලාවැවේ" වෑ බැම්ම මතින් වේගයෙන් විජිතපුරය දෙසට ගමන් කළේ එක්‌තරා දෙගිඩියාවකින් යුතුවය...

අපේ ඉලක්‌කය වූයේ කලාවැව ජාතික වනෝද්‍යානය හැඩකරන සිය ගණනක්‌ අලි ඇතුන් සිටින රංචුවක්‌ දෙකක්‌ නැරඹීමට හා ඡායාරූප ගත කරන්නට කලාවැවේ පෝෂක ප්‍රදේශයේ වැව් පිටිවෙත යැමටය. ඒ ගමනට හරස්‌ වන කාරණා දෙකක්‌ තිබිණි. එකක්‌ හැන්දැ අඳුර හා මුසුවෙමින් වැහි අඳුර ප්‍රදේශයේ ආලෝක තත්ත්වය ඉතා වේගයෙන් නරක අතට හරවමින් තිබීමයි. දෙවැන්න කොයි වෙලේ කඩා පාත්වේදොa කියා නොපෙනෙන වර්ෂාවයි.

අලි බලන්නට හොඳම යාමය පැහැබර හවස්‌ යාමයයි. එහෙත් පසුගිය 26 වන බදාදාවේ හවස්‌ යාමය ඒ සඳහා අපට ඒ තරම් සුභ වූයේ නැත.

මා මිත්‍ර ලසන්ත මහගෙදරට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය කලාවැව ජාතික වනෝද්‍යානයට ඇතුල් කළේ ඊට තිබෙන ප්‍රධාන පිවිසුම් දෙකින් එකක්‌ වන විජිතපුර ධීවර ගම්මාන පිවිසුමෙනි. පිවිසුන තැන සිට අප යා යුතුව තිබුණේ වැව් පිටි මතිනි. පසුගිය මාස හතර පහක කාලය තුළ රජරටට බලපැවැත්වූ පෑවිල්ලෙන් වැවේ දිය බොහෝසේ අඩුවී කලාවැවේ සාඩම්බර වැව් පිටි හරි ලස්‌සනට මතුව තිබීම නිසා අපට ඒ මැදින් වැවේ ඉහත්තෑවේ පෝෂක ප්‍රදේශයට ගමන් කිරීම හරි පහසු විය. එහෙත් ගමන ලෙහෙසි නොවූයේ පෙරදින දෙකෙහි වැටුණු මහ වැසි වලින් වැව්පිටි පෙගී පිපී ඕනෑම වෙලාවක මඩ වන්නට සූදානමින් තිබූ නිසාය. ඒ නිසා ලසන්තට එය මැදින් වේගයෙන් රිය පදවාගෙන යාමේදී වඩාත් කල්පනාකාරී විය යුතුව තිබිණි..

කලා වැවේ තාවුල්ලේ අලි ඇතුන් සිටින පිටිවලට යැමට දොරටුවේ සිට බොහෝ දුරක්‌ යායුතුව තිබිණි. ඒ යන ගමනේදී මනස්‌කාන්ත වැව්පිටි බලමින් අප අවට නිරීක්‍ෂණය කළේ මී හරකෙකුට, වන සතෙකුට වැඩි යමක්‌ ඒ තුළ නොතිබේය යන විශ්වාසයෙනි. එහෙත් එය ඇතුලේ දුටු සමහර දසුන් නිසා අපි මවිතයට පත්වී අප සමඟ ගිය වනජීවී දෙපාර්තමේන්තුවේ මඟපෙන්වන චානක සඳරුවන්ගෙන් ප්‍රශ්න කළේ ඇත්තටම මෙය ජාතික වනෝද්‍යානයක්‌මද කියාය... ඊට හේතුව නිතර නිතර වැව්පිටි මැදින් ත්‍රීවිලර් ගමන් කරනු දැකීමයි. තවත් වැව් පිටියක කාන්තාවෝ ක්‍රිකට්‌ ගසමින් සිටිති. අලි ඇතුන් සිටින බවට ඉඟි පළකරන අලි වසුරු පවා ඇති හුදෙකලා පිටිවල ත්‍රී විලර් නවත්වාගෙන මත්පැන් බෝතල් තබාගෙන කමින් බොමින් ආතල් ගන්නා සමහර කණ්‌ඩායම් කිහිපයක්‌ අපි නිරීක්‍ෂණය කළෙමු.. මේවා ජාතික වනෝද්‍යානයක්‌ තුළ නොවිය යුතු දේවල් වුවත් දිනපතාම කලාවැව වනෝද්‍යානයේ නම් වෙමින් පැවතිනි. ඒ ගැන සාක්‍ෂි තිබිණි.

"තවම මේ විජිතපුර පැත්තෙන් වැටවල් ගහල මායිම් සලකුණු කරලා, ගේට්‌ටු දාලා පාරවල් හදල දීල නෑ මහත්තයා. ඒ තවම පාක්‌ එක පටන්ගෙන අවුරුද්දයි. ඒක නිසාම මේ ගම්වල අය හවසට ඇවිත් විනෝද වෙනවා. මේවා නීති විරෝධීයි. නමුත් වැටවල් ගහල මුරකාවල් යොදල ක්‍රමවේද හදල නැති නිසා මේ සමහර ක්‍රියාකාරකම් වලක්‌වන්න බැරිවෙලා තියෙනවා. හැබැයි ඉදිරියේදී ඒවා නිවැරදි වේවි..."

චානක සඳරුවන් වැනි මඟපෙන්වන්නන්ගෙන් එබඳු ඉහළ ගණයේ ප්‍රශ්නවලට උත්තර සෙවීම ඵල රහිත බව වටහා ගත් අපි ඒ ගැන කතා බහ අමතක කළෙමු..

සැබැවින්ම කලාවැව ජාතික වනෝද්‍යානය වනෝද්‍යානයක්‌ බවට පත්වුණේ මේ නොබෝදාය. එහිද හරි ලස්‌සන කතාවක්‌ තිබේ.

ලංකාවේ වියළි කලාපයේ වනදහන් වල සිටින අලි ඇතුන් සාමාන්‍යයෙන් ගැනෙන්නේ සංචාරක සත්ව විශේෂයක්‌ ලෙසටය. ආහාර පානාදිය තම මව් කැලයේ ඇති තාක්‌ කල් ඔවුන් එම වනාන්තරයේ රැඳී සිටිති. ආහාර පාන නියං කාලවලදී අඩු වෙමින් පවතින විට එම අවශ්‍යතා ඉටුකර ගන්නට අලි ඇතුන් කරන්නේ කැලයකින් කැලයකට සංචාරය කිරීමයි. රජරට වැව් බැඳි රාජ්‍යයේ අවට කැලෑවල වෙසෙන අලි ඇතුන් නියං කාල වලදී කෑම හා බීම පිණිස රංචු පිටින් ඒකරාශිවී සිටින තැන් කීපයක්‌ තිබේ. පොළොන්නරුවේ මින්නේරිය, කවුඩුල්ල ආදී වනෝද්‍යානද ගැනෙන්නේ එබඳු සුප්‍රකට නවාතැන් පළවල් ලෙසය.

මේ අතර රිටිගල, නාච්චදූව, තිරප්පනේ, කැකිරාව, හබරණ උතුර, ගල්ගමුව, ඔයාමඩුව, අනුරාධපුර දකුණ ආදී ප්‍රදේශවල කැලෑවල වෙසෙන අලි ඇතුන් සිය නියං සමය ආරම්භ වන මැයි, ජූලි මාසවලදී ආහාර සොයා පැමිණෙන්නට පුරුදුව සිටියේ කලාවැව හා බළලුවැව කේන්ද්‍රකරගත් කිසිදිනක දිය නොසිඳෙන පරිසර පද්ධතිය වෙතටය. එහි ප්‍රමාණාත්මකව දෙතුන් සියයක්‌ පමණ වන විශාල අලි රංචුවක්‌ ඒකරාශී වුවත් කවුඩුල්ල හෝ මින්නේරිය තරමට ප්‍රසිද්ධ වූයේ නම් නැත.

කලාවැව හා බළලු වැව යනු වෙන වෙනම වැව් දෙකක්‌ වූවත් වැව් බැම්මෙන් හා ජලාශයෙන් එක වැවක්‌ බවට පත් විසල් වාරි සංස්‌කෘතියකි. මේ දෙක මැදිකරගෙන සරුසාර කැලෑ මණ්‌ඩියක්‌ පිහිටි අතර අතීතයේ පටන් එය හඳුන්වනු ලැබුවේ කහල්ල පල්ලෙකැලේ අභය භූමිය කියාය. දළ සහිත ඇතුන්ද ප්‍රමුඛ අලි 400 ක්‌ පමණ වාර්ෂිකව ඒකරාශි වන මේ වැව් කට්‌ටුව ප්‍රමුඛ පරිසර පද්ධතියේ තිබෙන ජෛවීය වැදගත්කම හදුනාගෙන රජය විසින් එය අක්‌කර 6380 ක්‌ පමණ වපසරියක්‌ ඇති කලාවැව ජාතික වනෝද්‍යානය කියා වෙනම වනෝද්‍යානයක්‌ බවට පත්කළේ 2015 ඔක්‌තෝබර් 17 වැනිදාය. එහෙත් ඊට අදාළ බීට්‌ටු කාර්යාල, මුරකරුවන්, සේවකයන්, වාහන, මංමාවත්, ටිකට්‌ කාර්යාල, වැටවල්, මායිම්, කරන්ට්‌ වැටවල් නිර්මාණය වූයේ ඉතා හෙමිහිටය. මේ නිසා මේ වනෝද්‍යානය පිටස්‌තරයන්ගේ කඩා වැදීම් හා ක්‍රියාකාරකම් වලට තෝතැන්නක්‌ වී ඇති බව කනගාටුවෙන් වුව කිවයුතුව තිබේ.

ලංකාවේ මින්නේරියේ හෝ කවුඩුල්ලේ වත් දක්‌නට නොලැබෙන අන්දමේ අලංකාර තණපිටි බලමින් ඒවායේ ඡායාරූප ගනිමින් පැය භාගයක්‌ පමණ ගමන් කළ අපි අලි සිටින ඉසව්වට සේන්දු වුණෙමු. දළ ඇතුන් හතර පස්‌ දෙනෙක්‌ සහිත අලි රංචු දෙකක්‌ අපට හමුවිය. මේ අලි ඇතුන් කවුඩුල්ලේදී හෝ මින්නේරියේදී අපට හමුවන අලි ඇතුන් තරම් වාහනවලට පුරුදු නැති බව අපි වටහා ගත්තේ අප දුටු වහාම වන සතුන් ඉතා වේගයෙන් වැව්පිටිය තරණය කර කැලෑවට ආසන්න වීම නිසාය. අපට අලි සුරතල් දැකගන්නට ලැබුණේ ඒ වැව් පිටියත් කැලෑවත් අතර අතරමැදි බිම් ප්‍රදේශයේදීය. එයද මනරම් දසුනකි.

වනජීවී කාර්යාලයෙන් ලබාදුන් අපේ නෛතික මඟපෙන්වන්නා චානක සඳරුවන් වුව ඇත්තටම අපේ සැබෑ මඟපෙන්වන්නා වූයේ පරිසර ගවේශක ලසන්ත මුණවීරය. ලසන්ත අපි එන්නට පෙර සති අන්තයේ පැමිණ යහපත් ආලෝක තත්ත්වයේදී රූපගත කළ ඡායාරූප රැසක්‌ අප සතුව තිබේ. එතරම් සාර්ථක ඡායාරූප මේ වැහි අඳුර හා සැඳෑ අඳුර තුළ ගත හැකි නොවූවත් අපට ප්‍රමාණවත් ඡායාරූප ප්‍රමාණයක්‌ යළි ලබා ගන්නට ලසන්තලා දෙදෙනා සමත්ව සිටියහ.

"ඇත්තටම මෙතන තමයි ලංකාවේ දක්‌නට ලැබෙන අලි ඇතුන් ඉන්න වනෝද්‍යාන වලින් වැඩිම ඇතුන් ඝනත්වයක්‌ සහිත වනෝද්‍යානය. මම ගිය වතාවේ ඇතුන් 7 දෙනෙකුගේ ෆොටෝ ගත්තා" ලසන්ත මුණවීර කීවේය.

"ඇත්තම කියනවා නම් සර් මේ කාලේ අපි හඳුනාගත් විදියට අලි ඇතුන් 400 ක්‌ පමණ ඉන්නවා. හුඟක්‌ම ඉන්නේ සංචාරක අලි ඇතුන්. මේ සර් කියපු කතාව හරි. මේ 400 ඇතුළත විශාල දළ තියන ඇත්තු 12 ක්‌ අපි හඳුනාගෙන තියෙනවා. දළ සහිත පැටවනුත් එක්‌ක ගත්තාම ඔක්‌කොම ඇත්තු 20 ක්‌ විතර මේ පුංචි භූමි ප්‍රදේශයේ ඉඳීම තමයි මෙතන තියන විශේෂත්වය... " චානක විස්‌තර කළේය.

මේක අපි එකතු වන හබ් එකක්‌. අලි ඇතුන් අභිජනන කටයුතු කරන අභිජනන මධ්‍යස්‌ථානයක්‌ හැටියට ගන්නත් පුළුවන්. විවිධ තැන්වල සිට එන විවිධ ශක්‌තීන් හා විවිධ ගුණාත්මයන්ගෙන් යුක්‌ත අලි ඇත්තු මෙහිදී එකතු වෙලා වර්ගයා බෝ කරනවා. ඒකත් විශේෂත්වයක්‌.." ලසන්ත නැවත කීවේය.

"මේ ඔක්‌කොම බලාගන්න පුළුවන් වෙන්නේ වතුර අඩු කාලවලදී විතරයි. ජුනි, ජූලි වන විට පෑවිල්ලට වැවේ වතුර අඩුවෙනවා. ඊට පස්‌සේ මේ වැව් පිටි මතුවෙනවා. හතර වටින්ම සංචාරක අලි ඇවිත් මෙහේ කාලය ගත කරනවා. ඒ අලි ආපහු ගම්බිම් වලට යන්නේ ඔක්‌තෝබර් අන්තිම වැස්‌ස පටන් අරන් මේ වැව් පිරිල වැව් පිටි යටවෙන්න පටන් ගත්තාමයි. දැන් සර්ල ඇවිත් ඉන්නේ වැස්‌ස පටන් ගන්න කොටයි. සමහරවිට අදයි හෙටයි වැස්‌සොත් මේ වැව් පිටිවලට ආයෙත් අපට මේ වසරේ එන්න ලැබෙන එකක්‌ නෑ..." චානකගේ එම විස්‌තරයත් අසාගෙන අපි ආපසු එන්නට ගමන් ආරම්භ කළේ අලි රංචුද දෙක තුනක්‌ බලාගෙනය. සංඛ්‍යාත්මකව ගත් කළ අලි ඇතුන් 60 ක 70 වක අලි රංචු අපි මේ මොහොතකින් දැක බලාගත්තේ දළ ඇතුන්ද 4 දෙනෙකු සමගයි. හතර වටින් අඳුර රජයන්නට වූ කල අපි නැවත ඩිෆෙන්ඩරය වෙත ගොඩවූයේ වැස්‌සට පෙර යළි අඳුර තරණය කර වනාන්තරයෙන් පිටවන්නට සිතාගෙනය.

කෙසේ වෙතත් පැය කිහිපයක්‌ ඇතුළත ඒ අපි ගියේ සොඳුරු ගමනක්‌ බව නිසැකය. මමත් ලසන්ත මහගෙදරත් ලසන්ත මුණවීරත් ඔහුගේ පරිසර හිතකාමී රූබර බිරිඳත් වෛද්‍ය ප්‍රසාද් සහෘදයාත් මගේ තවත් පත්තර මිතුරකුත්, මේ ඉක්‌මන් ගමන නිසා මහත් ආශ්වාදයක්‌ විඳිබව නම් නොරහසකි.

ලසන්ත මුණවීර කැලේ අලි බලන්නට යනවිට අත් පොතක්‌ සේ භාවිතා කළේ අපේ රටේ අලි ඇතුන් පිළිබඳ හසල දැනුමක්‌ හා අත්දැකීම් සමුදායක්‌ ඇති ප්‍රවීණ පරිසරවේදියකු වූ වෛද්‍ය නන්දන අතපත්තුගේ "අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය" නම් පුස්‌තකයයි. ඔහු කලාවැව පරිශ්‍රයේ අලි ඇතුන් ගැනද මහා පරිචයක්‌ ඇති විද්වතෙකු නිසා වැඩිදුර විද්‍යාත්මක තොරතුරු කතා කිරීමට මා ඔහු අමතන්නට කල්පනා කළෙමි. හොඳ මහත්තයකු වන ඔහු තමන් දන්නා දේ අප අතර බෙදා හදා දෙන්නට කැමැත්ත පළ කළේය.

"ඇත්තම කියනවා නම් අලි ඇතුන් අතර වැඩිම ඇතුන්ගේ ඝනත්වයක්‌ තියන ස්‌ථානය හැටියට කලාවැව මමත් පිළිගන්නවා. පුංචි ඉඩක ඔය වගේ විශාල ඇත් ඝනත්වයක්‌ ඇති තැනක්‌ තවත් නැහැ. තියෙන්නේ කරුවලගස්‌වැව විතරයි මම දන්නා විදිහට. හැබැයි මම ඔයාලගේ එක අදහසක්‌ ප්‍රතික්‍ෂේප කරනවා. ඒ තමයි මෙතන අලි ඇතුන්ගේ අභිජනන මධ්‍යස්‌ථානයක්‌ කියන මතය. ඇත්තටම මේක සංචාරක අලින්ගේ නවාතැන් මධ්‍යස්‌ථානයක්‌ විතරයි. අලි ඇතුන්ට ලිංගිකව එක්‌වීමට සපුරාලිය යුතු සාධක වගයක්‌ තියෙනවා. තැනක විශේෂයක්‌ නෑ. ඇතින්න හෝ කෙනෙර තම ශරීරයෙන් ඊට සූදානම් වන කාල 4 ක්‌ වසරකට තියෙනවා. මද සරුබවට පත්වන කාලය තියෙනවනේ. ඒ කාලෙට ඕන තැනක මේ එකතුවීම විය හැකියි. ඒකට විශේෂ ස්‌ථාන ඕන නැහැ. ඕනම තැනක ඒදේ විය හැකියි. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි එවන් අලි ඇතුන් විශාල ප්‍රමාණයක්‌ මාස කීපයක්‌ රැඳිලා ඉන්න විවෘත වැව් පිටි තිබීම. ඒ දිහා පිට ඉඳන් නිරීක්‍ෂණය කරන සමහර පරිසර නිරීක්‍ෂකයෝ හිතනවා මේක අභිජනන මධ්‍යස්‌ථානයක්‌ කියලා. ඒ මොකද සතුන්ගේ ඉරියව් දකින්න ලැබෙන නිසා. එහෙම තැන් තවත් ගණනාවක්‌ ලංකාවේ තියෙනවා.

මෙතනදි වෙන්නේ අලි ඇතුන් හොඳින් විනෝද වෙලා කාලබීලා තවත් ප්‍රදේශයකට යාම සඳහා නවාතැන්පළක්‌ විදියට පාවිච්චි වීම විතරයි. අර දේවලුත් වෙනව ඇති. ඒවා ගැන අපි වෙනම විද්‍යාත්මකව කථා කළ යුතුයි. මෙතැන ඉන්න අලි ඇතුන් ගමන් කරන්නේ රැස්‌වෙහෙර පැත්තටයි."

වෛද්‍ය නන්දන අතපත්තු එසේ ඉදිරිපත් කළ අදහස්‌ වලින් සමහර තොරතුරු රසවත් ලිපි මාලාවකට පාදක කර ගන්නට මම කල්පනා කළෙමි. එම ලිපි ඉදිරියේදී මේ සමඟ පළවනු ඇත.

කලාවැව ජාතික වනෝද්‍යානයට අපි ගියේ දඹුලු අනුරාධපුර පාරේ මඩාටුගම හන්දියෙන් වමට හැරෙමිනි. එම පාරේ කිලෝමීටර් 5 ක්‌ ගොස්‌ පුබ්බෙගමුව හන්දියෙන් දකුණට හැරී තවදුරටක්‌ ගිය විට අපට කලාවැව ජාතික උද්‍යානයේ ගලකිරියාගම බීට්‌ටු කාර්යාලය මුණ ගැසෙයි. අපි අවසර ලබාගත යුත්තේ එතැනිනි.

සුන්දර වනෝද්‍යානයක්‌ වූවද කලාවැව ජාතික උද්‍යානයේ අඩුපාඩු බොහෝය. හරි හැටි මිනිස්‌ බලයක්‌ නැත. සම්පත් නැත. ගම හා වනෝද්‍යානය පැහැදිලිව වෙන් කරන්නට ක්‍රමවේද සකසා නැත. ආදායම් එකතු කරන්නට ක්‍රමවේද නැත. මේ කිසිවක්‌ නැතිවූ කල සංචාරකයෝ සඳහා පහසුකම් කෙසේ සලසන්නද? අනිත් අතට වනෝද්‍යානයේ ආරක්‍ෂාව හා චිර පැවැත්ම ගැන කෙසේනම් විශ්වාස කරන්නද?

divaina.lk


o